Blog



ඉරි තැළුණු වලා - උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ සෙනඟ රවටමින් වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවී නොරැවටී යන්න යමු කහ ඉරෙන් එතෙර වීලා කහ ඉරෙන් එතෙර වීලා රිය පෙළේ කිරුළ හිමි රජවරුන් අත වනාවී බිම බලන් යන්න යමු කහ ඉරත් රැළි වැටීලා කහ ඉරත් රැළි වැටීලා ගායනය: අමරසිරි පීරිස් පද රචනය: සමන් අතාවුදහෙට්ටි සංගීතය: තිස්සසිරි පෙරේරා පෙම්වතෙකු විසින් තම පෙම්වතියට සමාජය පිළිබඳ පහදා දෙමින්, ඔවුන්ගේ ගමන යා යුත්තේ කෙසේදැයි කෙරෙන විග්‍රහයක් ලෙස රචිත මෙම ගීතයේ පදවැල්වල හිමිකරු සමන් අතාවුදහෙට්ටි මහතා ය. ඉරි තැළුණු වලා - උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ සෙනඟ රවටමින් අප දන්නා පරිදි වලාකුළු මුදු ඇතිරිල්ලක් වන අතර තාර පාර ර‍ළු ය. නමුත් රචකයා මෙහි මෙම කාරණා ද්විත්වය පරස්පර ආකාරයෙන් ලිවීම මගින් නූතන සමාජය පෙර තිබුණාට වඩා හාත්පස වෙනස් එකක් බවත් නූතන සමාජයීය විෂමතාවයත් මනා ලෙස නිරූපණය කර ඇති බව හැඟේ. ඒ විෂම සමාජය තුළින් ඇවිද යමු යැයි ඔහු තම ප්‍රේමවන්තියට කියයි. ඒ ගමන අතරතුර සිව් දෙසින්ම හමුවන මොටෝ රථවල නැගි සෙනඟ එනම් වෙනත් සමාජ තලවල රැවටිලිකාරී මිනිසුන් රවටමින් අපි ඇවිද යමු යැයි ඔහු ඇයට කියයි. වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවී නොරැවටී යන්න යමු කහ ඉරෙන් එතෙර වීලා // ඔවුන් ගමන් කරන්නේ තාර පාර දිගේ පයින් ය. ඒ ඔවුන්ගේ සමාජයීය වපසරිය යි. අවට ඇති මොටෝ රථවල විදුලි ඇස් හිනාවෙන බව ඔහු ඇයට කියයි. එයින් යම් සමාජ විෂමතාවක් රචකයා විසින් රසිකයාට ඒත්තු ගන්වයි. එම සමාජ තලයෙන් ලැබෙන්නා වූ "විදුලි ඇස් හිනාවලට" නොරැවටී, කහ ඉරෙන් එතෙර වී අපි යන්න යමු යැයි ඔහුගේ යෝජනාව යි. සමාජය තුළ ජීවත්වීමේදී රැවටීම්වලට හසු නොවී සමාජ සම්මතය තුළම පිහිටා කටයුතු කරමු යැයි පෙම්වතියට කියාපෑමට ඔහු උත්සාහ කරයි. රිය පෙළේ කිරුළ හිමි රජවරුන් අත වනාවී බිම බලන් යන්න යමු කහ ඉරත් රැළි වැටීලා // රිය පෙළේ කිරුළ හිමි රජවරුන් ලෙස සමාජයේ ඉහළ තානාන්තර දරණ උසස් යැයි පිළිගත් මිනිසුන් නිරූපණය කිරීමට රචකයා උත්සුක වී ඇති බව පෙනේ. තාර පාර දිගේ පයින් ගමන්කරන ඔබට, ඔවුන් අත වැනුවාට ඒ දෙස නොබලා බිම බලාගෙන යමු යැයි ඔහු තම පෙම්වතියට කියයි. එතෙර වීමට තිබෙන කහ ඉරත් රැළි වැටී ඇතිබව ඔහු කියයි. සමාජ සම්මතය, නීතිය වැනි කාරණා කහ ඉර ලෙස සැලකූ විට ඒවා ද වල්වැදී ඇති බව කීමට ඔහු නොපැකිළෙයි. එම නිසාම බිම බලාගෙන අපි අපේ ගමන ආදරෙන් පරිස්සමෙන් යමු යැයි ඔහු තම පෙම්වතියට ඉතා ආදරයෙන් කියයි. ගීතයේ සංගීතමය පැතිකඩ බැලූවිට සාමාන්‍ය ප්‍රේම ගීතයක අපට ඇසීමට හා විඳීමට ලැබෙන ලයාන්විත බව ප්‍රේමණීයබව මෙහි දකින්න නැති තරම් ය. ගීතයේ වචනවලින් ලබාදෙන හැඟීම ම තවත් තීව්‍ර ලෙස සංගීතයෙන් ද ඇසීමට සලස්වා ඇති අයුරු අපූරු ය. රථවාහන පිරුණු මාර්ගයක ඇති කලබලකාරී බව, ප්‍රේමවන්තයා විසින් ප්‍රේමවන්තියට කීමට උත්සාහකරන සමාජ විෂමතාවය වැනි කාරණා මේ ගීතයේ සංගීතය තුළින් ද හොඳින් ඉස්මතුකර පෙන්වා ඇති ආකාරය විශිෂ්ට ය.

NEWS

හඬ මත පැටළුණු අකුරු | 82 වන දිගහැරුම

  • Date: 2022-05-21