Blog



බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී   තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇණි සිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමි   ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි   නෙතින් ගිනිගත් හදින් තැවෙමින් දරා ඉමිහිරි වේදනාවන් පෙමින් සඟවා තබා ගන්නෙමි නොලී ඒ ගීතිකාවන්   ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි   ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි   ගායනය:විදුල රවීශර පද රචනය: සෞම්‍ය සඳරුවන් ලියනගේ සංගීතය: විදුල රවීශර   _ඇතැම් පෙම් කවි හදේ ගැඹුරක රකිමි.... එනමුදු නොලියමි___   ප්‍රේමය හුදෙක් හිමිවීමක් නැතත් දකින හීනයක් පාසාම හිමි නොවන නුඹවම සිඹිමි... කිසිම දිනයෙක අහිමි නොවනා විරහවක හිඳ ජීවිතය නුඹ මතින් විඳිමී... ප්‍රේමය මෙයැයි නුඹ දෑස් මතක තුළින් දකිමින් එහි අරුම විඳගමී... ඉතින් එබැවින් නවතිමී ...   වර්ෂ 2016 ආසන්න කාලයක ලංකාවෙ සම්මානනීය කවියෙක් වන සෞම්‍ය සඳරුවන් ලියනගේ මහතාගේ "නුඹ නො ඒ නම් කියන්න " කාව්‍ය සංග්‍රහයට ඇතුළත් "නො පළ පෙම්කවි" පද්‍ය ඔස්සේ නිර්මාණය උනු විදුල රවීශර පෙරේරා ගායනා කරන ගීතය පිළිබඳව හිතට දැනුනු සිතිවිලි මෙලෙස අකුරු කිරීමට අවසරයි.   ස්වභාවධර්මය හැරුණුකොට මේ ලෝකය පැවැත්ම වෙනුවෙන් වෙහෙසෙන ඇතැම් මිනිසුන් ප්‍රේමණීය හදවත් ඇත්තන් මේ ලෝකය ලස්සන කරනවා.වේදනාවන් එක්ක ජීවිතය පරිණත වීමත් සමඟ වේදනාවන් එක්ක ජීවිතය ජීවත් කෙරුමට ඒ ප්‍රේමණීය මිනිසුන් උත්සාහ දරනවා. ඔවුන් විරහවට වෛර නොකර වේදනාත්මක මතක වලට ආදරය කරමින් ඒ මත්තෙම ජීවත් උනා. පරිණතභාවයකින් යුක්තව ප්‍රේමයේ යම් යම් ප්‍රස්තුත ගොඩනැගූ කථකයාගේ මේ කවි නිර්මාණය ගීතයකට අනුගත වීමේ දී එම ගීතය "කවිය " නමින් හැඳින්විණි.කවිය කියන නමට අනුව ඒ ඔස්සේ චිත්ත රූප මැවෙන ආකාරයට හැඟීම් දැනවිය හැකි ආකාරයට වචන වල ගැබ්ව ඇති ව්‍යංගාර්ථය අසන්නාගෙ හදවතට සමීප කළ හැකි ආකාරයට සංගීතය,තනුව හා ගායනය නවක පරපුරේ දක්ෂ ගායකයෙක් වන විදුල රවිෂාර පෙරේරා විසින් ප්‍රාණවත් කර ඇත. එලෙසම විශේෂයෙන් ම මෙම ගීතයේ රූප රචනය පිළිබඳව කතා කළ යුතුමයි .ආලෝකකරණය ,කැමරාකරණයට වඩාත් උචිත ව පරිසර නිර්මාණය සමඟ කර ඇති මෙම ගීතයේ රූප රචනාව ඉතාමත් සාර්ථක වී ඇත.කතාංගයට ගැළපෙන රංගන ශිල්පීන්ගේ සාර්ථක අභිනය රංගනය හා මුසුකොට ප්‍රේක්ෂකයා ගේ නෙත් , ගීතය වෙතම රඳවා තබා ගත හැකි ආකාරයේ දැවැන්ත රූප රචනාවකින් මෙම ගීතය තවත් සාර්ථක වී ඇති බව කිව යුතු ම යි . ප්‍රේමය රිදුම් දෙන මතකාවර්ජනයකින් ආරම්භ වන මේ ගීතය තුළ ප්‍රේමනීය හදවත් දෙකකට හිමිකම් කියන ප්‍රේමවන්තයන් දෙදෙනෙකු ඔවුන්ට මග හැරෙනවා.එය හුදෙක් ඔවුන් දෙදෙනාගේ වරදකින් නොවුනත් ඔවුනොවුන්ගේ අවධානය ගිලිහී යාමෙන් ඇති වන අර්බුදයක් ,හිත් රිදීමක් ,හිත් බිඳීමක් කරණ කොට ගෙන මේ වෙන් වීම සිදු වෙනවා. ගීතය ආරම්භයේදීම උපේක්ෂා සහගතව ස්මරණය කරන පරිණතභාවය මතක සමග අතීතයට දිව යනවා . කවිය ... ඔව්... කවියත් ආදරයක් වගේ ... ලියවෙමින් පවතින කවියකට කාලයත් සමග අලුත් වචන එකතු වෙනවා.එළිසමය අපූරුවට ගැලපෙනවා.උපමාවන් සමඟ කවිය තව තව ලස්සන වෙනවා.ආදරයත් එහෙමයි .ප්‍රේමාන්විත කවියක් ආදරය පවතින තුරුම ලියවෙනවා. දෙදෙනා අඳුනගන්න ,ආදරය කරන්න,හැඟීම් ප්‍රකාශනය සිදු වෙන්නෙත් කවියක් ලස්සන වෙන විදියටම යි.රිද්මයට ගලායන කවියක් සුන්දර වගේම රිද්මයට අනුව ගලායන ආදරයත් එලෙසින් ම සුන්දරයි.   "බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමන් මෙන් රැදී නොලී කවියක් තිබිය නොහැකිද හදේ අන් රිදුමක් තිබී තියුණු රුදු සැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇනී සිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමී....."   ආදර කවියක් නිමා වුණු පසුවත් ඒ ආදරේ විඳි මතක සියුම් කැපුමන් වගේ අපට නොපෙනුනත් , අපේ ගතට හිතට වේදනා දෙනවා..ලේ ගලනවා.නමුත් කැපුම් විවරය පෙනෙන්නේ නැහැ. විවරය පියවි ඇසට පෙනෙන්නට නැති ලෙස ම සමහර ආදර කතා නිමා වුණු පසුවත් , වේදනාත්මක මතක මෙලෙසට හිත පාරවනවා.ඒ වේදනාවන් තුළ නොලියූ කවියක් නොකියූ ආදරයක් තිබිය නොහැකි ද???? දිනෙක සදාකාලෙට වෙන් වුනත් උනුන් අතර ආදරය රැඳී තිබිය නොහැකිද???? මෙහිදී කවියා යම් ආකාරයට වක්‍රාකාරයෙන් සමාජයෙන් යම් කිසි ප්‍රශ්නයක් විමසනවා ද යන්න හිතුනා. වෙන්ව ගිය ප්‍රේමයක පෙම්වතුන් හෝ දෙදරා ගිය විවාහක විවාහකයින් බොහෝවිට ක්‍රියා කරන්නේ සමාජයට බිය වී සමාජයේ දැක්මට අවැසි ලෙසට යි. ඔවුන් වෙන් වීමෙන් අනතුරුව නැවත එක් වීමට සිතුවත් සමාජය ඊට බාධාවකි . මෙහිදී මේ නොලැබුණු ප්‍රේමයේ වේදනා කවියා නවමු ලෙස අපට දැනෙන ආකාරයට පද ගලපන්නේ අපූරු සිද්ධිය සමඟ .එනම් යම් කිසි ආකාරයේ සැත්කමක් අපි සිදු කරන්නේ දෙයක් අපට එකතු කරන්න, නැත්තම් අපෙන් ඉවත් කරන්න .සැත්කමක් කිරීමෙන් අනතුරුව ඇති වන පැල්ලම අපේ ජීවිත කාලය තුළ ම නොමැකී පවතිනවා . ආදරයේ මතකත් එහෙමයි.පපුව පුරා පැතිරී පවතිනවා.රිද්දනවා.සියුම් විදියට මතකයට නිතර නිතර එනවා.ඒ මතක කවදාවත් මකන්න පුළුවන් වෙයි ද ?කෙලෙස කිකලෙක කොයි තරම් කාලයක් ඒ මතක අපේ හද තුළ පවතිවී කියලා කාටවත් කියන්න පුළුවන් ද ?...බෑ... ඒ මතක සදාකාලිකයි.ඒ මතක එක්ක තියෙන වේදනාවන් සදාකාලික වෙන්න බැරිද ?......... ඒත් ඒ මතක එක්ක මම ජීවිතය ගෙවනවා ... ඉතින් එබැවින් නවතිමී හදින් පිටමං නොකරමි ..   "ඉතින් ගිනිගත් හදින් දැවෙමින් දරා ඉමිහිරි වේදනාවන්  පෙමින් සඟවා තබා ගන්නෙමි නොලී ඒ ගීතිකාවන් සදාකාලික තැවුල් පොදියක රැදී හද පෙලුවත් නිතී ලියා අවසන් කවක් කෙළවර මැකී වියැකී යා නොදී"   ගිනිගන්න හදින් දැවෙන මුත් කවියා මේ ප්‍රේමවන්තයා කියන්නෙ නෑ කවදාවත් මේ දරාගෙන ඉන්න වේදනා අමිහිරියි කියලා .ඔහු මොන තරම් සුන්දර ප්‍රේමණීය මනුස්සයෙක් ද වේදනාවත් ඉමිහිරි ලෙස හිතන්න තරම් .සෞම්‍ය සඳරුවන් ලියනගේ කවියාගෙ කවි රචනා තුළ මිනිසා කියන චරිතය ගොඩක් අවස්ථාවල දී ඉතා සුන්දර ලෙස අරුත් ගන්වනවා.අප විඳින වේදනාව හරිම දුක්බරයි, අමිහිරියි.නමුත් මේ ප්‍රේමවන්තයාගෙ වේදනාත්මක මතක තමා ඔහුගේ මීළඟ තප්පරය තුළ ඔහුගෙ හුස්ම,ඔහුගේ බලාපොරොත්තුව .මේ මොහොතේ ළඟින් තියාගන්න බැරි ළඟට ගන්න කෙලෙසින්වත් නොහැකි වේදනාත්මක මතක නිසා තමා මේ වනතුරුත් ඔහු ජීවත් වෙලා තියෙන්නේ .ඒ වේදනාව තමයි ඔහුගෙ ජීවිතයේ ආලෝකය. අපි හැමෝගෙම ජීවිත කතා තුළ කොතෙකුත් ආදර කතා තියෙනවා .නමුත් මියෙනා තුරු අමතක කල නොහැකි නොලැබුනු ආදරයක් පපුව කොණක හැංඟිලා තියෙනවා .සමාජයට සම්මත නොවුනත් අපේ හැඟීම් එක්ක ඒ මතක රහසේම සැඟවිලා තියෙනවා .සමාජයට පටහැනි නොවන සමහර දේවල් අපේ හැඟීම් එක්ක සම්මත වෙනවා.ඒ වගේම තමා මේ ආදර කතාවත් නොලැබෙනා ආදරේ මතක වලට ඔහුට වෛර කරන්න තිබුනා.නමුත් ඒකපාර්ශ්වික ව ඒ දුක දරාගත්තා . මේ ආදරය තුළ අපට දකින්න පුළුවන් විදියට නම් මේ දෙදෙනාගේ වෙන්වීම සිද්ධ වෙන්නෙ ඔවුන්ට ඔවුන් ආදරය නොමැති නිසා නොවෙයි .ඔවුන්ට ඔවුන් මග ඇරෙන්න යම් යම් සිද්ධි සිදු වෙනවා .ඒ වරද අපට ඕනම අවස්ථාවක වෙන්න පුළුවන් .අපේ කාර්‍යබහුලත්වය නිසා හෝ වෙන යම් ඕනෑම හේතුවක් පාදක වෙන්න පුළුවන් .මේ මොහොතේ දැනෙන විදිය අනුව ආදරය මග හැරෙනවා. දෙදෙනා වටහා නොගැනීම නිසා එක මොහොතක ඇතිවන හිත් රිදුම් සදාකාලික වේදනාවකට හේතුවක් වෙන්න පුළුවනි. අපේ අතින් සිදුවන සුළු අත්වැරැද්දක් නිසා අපට වටිනා දේවල් අපට නැතිවෙලා දුර යන්න අවස්ථා පැමිණෙනවා .සදාකාලික තැවුලක් හිතේ ඇති උනොතින් ඒ හේතුව නැවත වෙනස් කරන්න හෝ ඒ වරද අපට නැවත නිවැරදි කරගන්න ලේසි නැහැ. එක ලෝකෙකදි තම ආදරණීයන් හා හමුවෙන්න , හිමිවන්න නොලැබුනත් ඒ වෙන්වීම වෙන්වීමක් විදියට හදවතට පිළිගන්න අපහසුයි. ලස්සන පදවැල් අමුණපු කවියක අවසානය සටහන් කරන්න කවියෙකුගේ අකමැත්ත කෙලෙස ද එලෙසම ලස්සන ආදර කතාවක අවසානය දකින්න අකමැති ප්‍රේමවන්තයින් ඒ ආදරය වෙනුවෙන්ම ජීවත් වෙනවා.  එක අයෙකු වෙනුවෙන් පබඳින ආදර කවිය සිය ජීවන කවිය කරගත් ආදරයට ආදරය කරන පරිණත මිනිසුන් මේ ලෝකය හැමදාම ලස්සන කරයි.ඒ ආදරය වෙනුවෙන්ම මියයයි.... ---------------------------------------- දරා විඳගමි දැවී මියයමි   ලියා පිටමං නොකරමි ---------------------------------------- එනමුදු නොලියනා පෙම් කතාවක සටහනක් මෙලෙස එකතු කිරීමට ලැබීම පිළිබඳව හිතට මහත් සතුටක් දැනුනා. හදින් පිටමං නොකරන මතකයක තනි වුණු ඔබටත් මේ ගීතය ඔසුවක් වෙනවා නොඅනුමානයි .

NEWS

හඬ මත පැටළුණු අකුරු | 83 වන දිගහැරුම

  • Date: 2022-06-06