Blog



තෙල් මිල අහස උසට නගිනවා. ගෑස් මිල අහස උසට නගිනවා. තෙල් මිල මදිවාට තෙල් පෝලිම් දික් වෙනවා. එක්තරා දූපතක ජනයාගේ ඉවසීමේ සීමාව සාහසික ලෙස පරීක්ෂා කෙරෙමින් පවතිනවා. ගින්දරට, වෙඩි උණ්ඩයට, ප්‍රචණ්ඩකාරීත්වයට ටිකෙන් ටික මග හදනවා. ජනයා ඉවසනවා. ආයෙත් ඉවසනවා. තවත් චුට්ටක් ඉවසනව. ඉවසලා ඉවසලා බැරිම තැනත් ඉවසනවා. එක තැනකදි ඉවසීමේ සීමාව පුපුරලා යනවා. අන්න එතනදි ජනයා පාරට බහිනව. යකා නටනවා. තෙල්, ගෑස්, කෑම බීම වැනි අතිශය මූලික අයිතීන් ඉල්ලා පාරට බැස්ස නිරායුධ මිනිසුන් ත්‍රස්තවාදීන්, අන්තවාදීන් ලෙස හංවඩු ගැසෙනවා. ඒ අවසායෙන් පාලක පන්තිය තමාට හුරු පුරුදු මනුෂ්‍ය ඝාතනවලට ඇඟට පතට නොදැනී යොමු වෙනවා. නිරායුධ වැසියන් මරන්නට "අන්දරේලාට" උපදෙස් දෙනවා.  අන්න එහෙම එක අන්දරේ කෙනෙක් රඹුක්කනදී මේ මෑතක වූ විරෝධතාවයකට සහභාගී වූ තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කරනවා. ඒ අන්දරේ ගැන වගේම ඒ අන්දරේට අණ ලබාදෙන රජුන් ගැනත් රුවන් බන්දුජීව, මීළඟ මීවිත කවි පොතේ පිටුවක ලියනවා.  "වෙල්දෙණි මැදින් යද්දී පොකුණු ගාවින් එද්දී යාන්තම් ඇහුණත් ඇති මැඩියෙකුගෙ හඬක් අන්දරේ නැවතෙයි තිගැස්සී  වත ශෝකයෙන් ඇලලෙයි කවට බස් එක්වනම මැලවෙයි කියන කියනා කවිය පැටලෙයි ඇතැම් දවසට ශෝට් ලිව් දා මාළිගාවෙන් පිටවෙයි  නිදි සුව බින්ද මැඩියා අන්දරේගෙන් මැරුම් කෑ පසු මහරජ සුවෙන් සැතපෙයි  ඒ වුනත් අන්දරේ රෑට හීනෙන් බය වෙයි තියුණු හීයක් ඇමිණූ දුන්නක් අතින් ගත් මැඩියෙක් "බක බක" ගගා හිනැහෙයි අන්දරේ දාඩිය පෙරාගෙන මහ හඬින් කෑ ගසා ඇහැරෙයි" අන්දරේ ගැන මේ කතාව නුඹ අහලා තියනවා. රජුන්ට නිදි සුව විඳීමට නොදී රෑ තිස්සේ කෑ ගසනා මැඬියන් මරා දැමීමට අණ ලැබෙන්නේ අන්දරේට. දුනු ශිල්පයෙහි දක්ෂ අන්දරේ හීවලින් විද මැඬියන් සියල්ල ඝාතනය කරනවා. එදයින් පස්සේ රජුන්ට නින්ද යනවා. අන්දරේගේ නින්දට තිත තැබෙනව. කවියා පෙන්වාදෙන ආකාරයට හීයක් අතින් ගත් මැඬියන් හීනෙන් ප්‍රාදූභූර්ත වෙනව. අන්දරේ බය වෙලා දාඩිය පෙරාගෙන ඇහැරෙනවා. හිතවතුනි, අණ දුන් රජුන් සුවසේ නිදියනවා.  රඹුක්කන වෙඩි තියූ "අන්දරේ" මේ මොහොතේ දාඩිය පෙරාගෙන ඇහැරෙනවා ඇති. තනියම සිර දඬුවම් විඳිනවා ඇති. තුවක්කු අතින් ගත් තරුණයෙක් නිතර නිතර හොල්මන් කරනවා ඇති. නමුත් නුඹත් දන්නා මාත් දන්නා කාරණය නම් මොන දේ උනත් අන්දරේට වෙඩි තියන්න යැයි කියූ පාලකයා මේ මොහොතේත් සුවසේ නිදනවා! අන්දරේ තනියම සිර දඬුවම් විඳිනවා!  හිතවත් අන්දරේ, දැන් සැප ද? 

NEWS

විභව Unframed | Episode 63 | අන්දරේ නැවතෙයි තිගැස්සී...

  • Date: 2022-06-10