Blog



2015 වසරේ හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ "යන්නං චන්දරේ" කාව්‍ය සංග්‍රහය සමඟ මෙවර "මන් ආසම මගේ කවිය " විශේෂාංගයට හඬ අවදි කළේ ටිම්රාන් කීර්ති කවියා ය. ලියන කවි ලෙස ම බොහෝ අව්‍යාජ නිහතමානී කවියෙකු වන ටිම්රාන් නැතහොත් "ටිමා" තම කවි අතුරින් තෝරා ගත්තේ "අපේ පුංචි පංති කාමරය" කාව්‍ය සංකල්පනාව ය. "ඉස්සර වගේ නෙවෙයි දැන් ඉස්කෝලෙ හරිම පිළිවෙළයි. පන්ති කාමරයක් දිහා බලන්නත් ආසයි." - මිතුරු ගුරුවරයෙක් - කොට බිත්තියෙන් වටවුණ දිග් ගැහුණ මතකයන් තෙරපුණ අපේ පුංචි පන්ති කාමරය නිවිතියවල යකඩ ඇති බව හැමදාම ඉගැන්නුව ගඩාගෙඩිවලිනුත් විටමින් ප්‍රෝටීන් පෙන්නුව හාමතේ ඉස්කෝලේ එන අපෙන් 'සමබර ආහාර' පාඩම වැසංගුව සවුක්කිය සර් ගැන ඇල්කොහොල් සුවඳ මතකය ගල් ගෙදර සුමානෙට සද්දෙට වාතයක් ගිය දා සෝමාරි භද්‍රා ඔළුවෙ අත ගහගහ හිනාවුණ අන්තිමේ දී හිනා පෙරහරට ම සුමනයත් එකතු වුණ ඉල ඇඳුණා ගාලගෝට්ටිය දෙපා විහිදන් වාඩිවෙන භද්‍රා යට කලිසම නැති ව ආ දිනෙක ඇගේ හෙලුවැල්ල පෙන්නමින් වාඩුවට හූ තළපු සුමනයා ඈව අඬවපු කෝල කඳුළු ද තැවරුණ අපේ පුංචි පන්ති කාමරය කියවන විට ලිවීමට දුන්න 'රෝමය ගිනි ගනී' වාක්කිය 'සෝමෙ ගිනි ගනී' යැයි වරද්දලා ලිව්ව දා ජම්බෝල සිරිපාල රකුසු මුහුණැති සෝමසිරි සර්ටත් 'බකස්' ගෑවුණ හරි ජාති සිංහල පිරීයඩ් එක සින්දුවෙන් සිංදුවට තාල නොවෙනස් කරන එක හිතැති සංගීත ගුරුතුමී කොහි ඇද්ද? 'ස' ගන්ඩ 'රී' ගන්ඩ 'ග' ගන්ඩ ඉගැන්නුව භද්‍රා, සුමනෙ උඹලා කොහෙ ද? ඒ කොට බිත්ති උස ගිය බවත් ඇත්ත ය කියපන් ජම්බෝල සිරිපාල එතකොට අපට කියලා පන්තියක් තිබුණෙ ම නැද්ද? - යන්නම් චන්දරේ - "අත්දැකීමක් කිව්වම මම විඳින දෙයක් වගේම අහන, දකින දෙයක් හෝ දේවල් වෙන්න පුළුවන්. මේ කවියේ තියෙන්නෙත් අපේ ළමාවියේ, එහෙමත් නැත්නම් මුල්පාසල් අවදියේ හරස්කඩක්. ඒ කාලේ සරල ලස්සන කමකින් හැඩවෙලා තිබුණා. ඒ සැහැල්ලුව ඇතුළේ ලොකු ගැඹුරක් තිබුණ බව දැනුයි තේරෙන්නෙ. කොහොමත් ඒ කාලේ අපිට රේස් තිබුණේ නෑ. අපේ ළමා කාලේ ගෙවුණේ කැලේට, කොළේට. මට විතරක් නෙවෙයි. මගෙ පරම්පරාවේ බොහොමයකට සමීප අත්දැකීම් කලාපයක් ඕක. මේ කවිය ලියන්න ආසන්න සිදුවීම මට මතක නෑ හරියට ම. අපි හැමෝම දන්න ප්‍රකට විචාරකයෙක් ලක්ශාන් මදුරංග වික්‍රමරත්න. මදුරංග ඉන්නෙ කන්තලේ. එයාගෙ මිදුලෙ ලොකු මයිල ගහක් තියෙනව. ගල් බංකුවක් ගහ යට. අපි ගිරිඋල්ලෙ ඉඳන් කන්තලේට යනවා මදුරංගව මුණ ගැහෙන්න. ඒ ගිය දාක මහ රෑක තමා මේ කවියට පසුබිම හැදෙන්නෙ. ඒකත් ඇල්කොහොල් සුවද මතකයක්. *"කොට බිත්තියෙන් වටවුණ දිග් ගැහුණ මතකයන් තෙරපුණ"* ඒක මහ පුදුම කාලයක්. කිලෝමීටර් දෙකක් ඉස්කෝලෙට දුර. පයින් යන්නෙ. ගස් ගල් පීරගෙන ඉස්කෝලේ ඇරිලා එන්නෙ. ඇඳුම් පුරා කහට පැල්ලම්. රණ්ඩු සරුවල් ඉවරෙකුත් නෑ. මගෝඩි වැඩනම් නිමක් නෑ. මදි නොකියන්න වේවැල් පාරවල් දෙන ගුරුවරු හිටියා. ඒව ඒ වෙලාවට විතරයි. හැබැයි පංති කාමරේ ඇතුලෙ මිහිරක් තිබුණා. අද නූතන ඉගැන්නුම් ක්‍රමවේදවල නැති විනෝදශීලී බවක් එදා තිබුණා. දියුණුම ඉගැන්නුම් විධික්‍රම සහිත රටවල පාදම තියෙන්නෙ ළමා මනසට වෙහෙසකර නොවෙන තැනක. *"* *සවුක්කිය* *සර් ගැන* *ඇල්කොහොල් සුවඳ* *මතකය."* සිරිල් එඬේරමුල්ල වගේ තරමක් අප්‍රකට වටිනා ගුරු භූමිකා මට මේ වෙලාවෙ මතක් වෙනවා. තව දෙයක්, අදට වඩා එදා මන්දගාමිය. ඒකට මූලික හේතුවක් තාක්ෂණය. අද පෙළ පොතක පාඩමකට ඕන ගහක්, කොළයක්, මලක් මේ හැමදේම ස්මාර්ට් ෆෝන් එකකින් තප්පරෙන් හොයාගන්න පුළුවන්. එදා එහෙම නෑ. පංතිකාමරයෙන් එපිට පරිසරයට අපිව අරන් යනවා ගුරුවරයා. හරි සුහද අධ්‍යයනයක් ඒක. ඇල්කොහොල් සුවද සහිත ගුරුවරු ඒ කාලේ ආගන්තුක නෑ. ඒත් එයාල වෙන්න ඕන දේ හරියට කෙරුවා. අපි බොහෝ දෙනෙක් මිශ්‍ර පාසල්වල අධ්‍යාපනය ලබපු අය. මේ මිශ්‍ර බව අවශ්‍යයි. මුහු වීම ඇතුළේ තමයි අපූරුම වර්ණ හැදෙන්නේ. තියෙන දේට වඩා හැදෙන දේ කොහොමත් නැවුම්. මන් කොහොමත් අතීතකාමියෙක්. මන් තාමත් ගමේ ඉස්කෝලෙ ගාවින් විටක් හප හපා යන ගමන් ඒ අතීතෙ අතරමන් වෙනව. කොහොම ලිව්වත් ඒ අතීතෙ ලියාගන්න බෑ. කාටවත්ම හරියටම ලියන්නත් බෑ. ඉස්සරම කියවපු හරි ලස්සන පොතක් මතක් වෙනව. ඒකෙ නම "හැර ගිය දිව මිහිර". අපි කොච්චර කාෂ්ඨක මිනිස්සු වුණත් සමහර මතක ඉස්සරහ හීල්ලෙනවා." ටිම්රාන් තම සංවාදය අවසන් කළේ එසේ කියමිනි. සංවාදය - බුද්ධි ජයනී අයිලප්පෙරුම ************************************************************************************************************* කොට බිත්තියෙන් වටවුණ දිග් ගැහුණ මතකයන් තෙරපුණ අපේ පුංචි පන්ති කාමරය නිවිතිවල යකඩ ඇති බව හැමදාම ඉගැන්නුව ගඩා ගෙඩිවලිනුත් විටමින් ප්‍රෝටීන් පෙන්නුව, හාමතේ ඉස්කෝලෙ එන අපෙන් සමබර ආහාර පාඩම වැසංගුව සවුක්කිය සර් ගැන ඇල්කොහොල් සුවඳ මතකය තිබූ පහසුකම් ප්‍රමාණය කුමක් වුව ද පාසල් කාලය යනු ඕනෑම අයකුගේ ජීවිතේ සුන්දරම කාලය යි. කවියේ ආරම්භයේදි කියැවෙන්නේ එතරම් පහසුකම් නැති කොට බිත්තියකින් යාබද පන්ති කාමරයෙන් වෙන් කෙරුණු, එහෙත් ඉතා දිගු කාලයක් ගත වුණත් තවමත් ඉතිරි වුන මතක සිරවී තෙරපී ඇති පුංචි පන්ති කාමරයක් ගැන ය. පාසලේ සහ එහි සිසුන්ගේ ජීවිතවල අඩුලුහුඬුකම් ද පාසල පිහිටි එම ප්‍රදේශයේ ග්‍රාමීය බව ද ආර්ථික තත්ත්වය ද ඉන් ඉක්බිති පද තුළ අන්තර්ගත ය. හාමතේ පාසල් එන දරුවන්ගෙන් සමබර ආහාර පාඩම සැඟවූ සංවේදී සෞඛ්‍ය ගුරුතුමා ගැන ඇල්කොහොල් සුවඳ මතකයක් ඉතිරි වී ඇත. ගල් ගෙදර සුමනෙට සද්දෙට වාතයක් ගිය දා සෝමාරි භද්‍රා ඔලුවෙ අත ගහගහ හිනාවුණ අන්තිමේ දී හිනා පෙරහැරට ම සුමනයත් එකතු වුණ ඉල ඇදුණු ගාලගෝට්ටිය නගරවල නැතත්, තවමත් ගම්වල ගෙවල්වලට එකිනෙකට වෙනස් මිනිසුන් විසින්ම යොදාගත් නම් ඇත. එවන් යෙදුම් මගින් කවියට ලැබෙන පැහැය බෙහෙවින් සුන්දරය. ඉහත පද කිහිපය පුරාම කියවෙන්නේ පන්ති කාමරය සිදුවූ තුළ විනෝදකාමී සිනහ ඉපැදුණු සිදුවීමක් පිළිබඳව ය. සද්දෙට වාතයක් ගියායින් භද්‍රා සිනාවීම හරහා ඇතැම්විට සුමනේ අපහසුතාවට පත් වුණත් අවසානයේදී සියලු දෙනා සමගියෙන් එකම සොඳුරු ඉසව්වක නතරවන සොඳුරු පාසල් කාලයට කවියා අපව රැගෙන යයි. දෙපා විහිදන් වාඩිවෙන භද්‍රා යට කලිසම නැති ව ආ දිනෙක ඇගේ හෙලුවැල්ල පෙන්නමින් වාඩුවට හූ තළපු සුමනයා ඈව අඬවපු කෝල කඳු‍ළු ද තැවරුණ අපේ පුංචි පන්ති කාමරය පාසල් කාලයේ දී අපිට පළිගැනීම් තිබිණි. ඇත්තටම ඒවා සොඳුරු පළිගැනීම් ය. එදා සුමනෙට හිනාවුණු භද්‍රාගෙන් වාඩුව ගන්නට ඇගේ හෙලුව ට සුමනේ හූ තළා ඇත. ඈ හැඬූ බව සහ කෝල කඳුළු ද සමගින් සිටිය වග මෙහි අපිට කියවිය හැක. භද්‍රා තුළ ඊට වඩා යමක් අපි කියවිය යුතුය. ඇය සෝමාරිය, එදා යට කලිසම ඇයට නැත. මූලික අයිතිවාසිකම්වත් නිසි පරිදි සපුරාගැනීමට නොහැකි තරමේ දරිද්‍රතාවකින් ඈ පෙළෙන බව මෙයින් පෙන්නුම් කරයි. එය ඈ සතුවූවක් විතරක්ම යැයි නම් කිව නොහැක. කියවන විට ලිවීමට දුන්න "රෝමය ගිනි ගනී" වාක්කිය "සෝමෙ ගිනි ගනී" යැයි වරද්දලා ලිව්ව දා ජම්බෝල සිරිපාල රකුසු මුහුණැති සෝමසිරි සර්ටත් "බකස්" ගෑවුණ හරි ජාති ‍සිංහල පීරියඩ් එක ගුරුවරුන්ගේ බාහිර පෙනුමෙන් ඔවුන් ගේ ස්වභාවය මෙවන් විය යුතු යැයි නොසිතන පාසල් සිසුවෙකු නැති තරම්ය. මෙය ගුරුවරයකුට අදාළව නොව සමාජයේ ඕනෑම අයකුට අදාළව සත්‍යයකි . රකුසු මුහුණැති සෝමසිරි සර්ටත් බකස් ගෑවුණු ජම්බෝල සිරිපාල කල සුන්දර අත්වැරැද්ද ඉතා සුන්දර පාසල් කාලයේ මතක වෙත අප සියලුදෙනා රැගෙන යයි. සින්දුවෙන් සින්දුවට තාල නොවෙනස් කරන එක හිතැති සංගීත ගුරුතුමී කොහි ඇද්ද? 'ස' ගන්ඩ 'රී' ගන්ඩ 'ග' ගන්ඩ ඉගැන්නුව එක හිතැති සංගීත ගුරුතුමී සින්දුවෙන් සින්දුවට තාල වෙනස් නොකරයි. මෙහි යටි අරුතක් ඇතැයි මට සිතේ. එනම් ඇය "ගුරුවරු දෙවිවරු ය" යන්නට ජීවමාන සාක්ෂියක් යැයි මට හැඟේ. සියලු ළමයින්ට එකම සේ සලකන, කිසිවෙකුට වෙනසක් නොකරන, ඒ ස රි ග ම ඉගැන්වූ එක හිතැති සංගීත ගුරුතුමී කොහිද කියා දන්නේ මේ කවියේ කියැවෙන පුංචි පන්ති කාමරයේ සිටි දරුවන් ම ය. භද්‍රා සුමනෙ උඹලා කොහෙද? ඒ කොට බිත්ති උසගිය බවත් ඇත්තය දැල් කම්බි වැටක් ඉදි කළ බවත් ඇත්තය කියපන් ජම්බෝල සිරිපාල එතකොට අපට කියලා පන්තියක් තිබුණෙම නැද්ද පාසල භෞතික සංවර්ධනයකට ලක්වී ඇත. කොට බිත්ති උස්කර බැ‍ඳ ඇත. දැල් කම්බිවැට ගසා ඇත. කවියා පාසලින් නික්ම ගොස් ඇත. භද්‍රා සුමනෙ ඔවුන් සියල්ල වෙන්ව ඇත. ජම්බෝල සිරිපාලගෙන් අසන ප්‍රශ්නය ඉතාම සංවේදී ය. ඔහු අසන්නේ එතකොට අපිට කියලා පන්තියක් තිබුණෙම නැද්ද කියා ය. සැබැවින්ම පාසල්වක අපටම කියා පන්ති තිබුණේ නැත. අපි පන්තිවලට එමු; දිනෙක යමු. අප ගිය පසු තව අය එති; යති. දිග් ගැහුණු මතකයන් පමණක් ම ඉතුරු වෙයි. සැබෑම සත්‍යය එය යි.

NEWS

මං ආස ම මගේ කවිය | 20 වන දිගහැරුම | ටිම්රාන් කීර්ති සමඟින්

  • Date: 2022-06-13