Blog



ගන අන්ධකාරය මකා හන්තාන කඳු අතරින් තඹ පැහැ අරුණලු ගලා එයි. උදෑසන පීදෙන රොබරෝසියා මලේ හැඩ බලන්න පැණි කුරුල්ලෝ නොඉවසිල්ලෙන් බලා සිටියි. කිරල කොවුල් නද දසත පැතිරෙයි . මද පින්නෙන් තෙමුණු සීත සුළං මුළු පරිසරයම සිලිල් කරයි. එහෙත් මා දුටුවේ මේසය මත ඔරලෝසුවේ කැරකෙන තත්පර කටුව පමණි. මට ඇසුනේ ඔරලෝසුවේ 'ටික්‌ ටෝක්' හඬ පමණි. මට දැනුණේ දෙපාවල නොඉවසිලිමත් බව පමණි. සෙනසුරාදාට උදේ 7,8 වනතුරු අවදි නොවන මම අද පාන්දර අවදි වී 6.30 වෙනතුරු ඔරලෝසුව දෙස බලසිටියෙමි. ඔරලෝසුවේ 6.30 වැදුණු වහාම දුරකතනයේ "හතට ෆැකල්ටියට සෙට් වෙමු. " කියා තිබු වට්සැප් පණිවුඩය දෙස නැවත බැලූ මම ඉක්මන් ගමනින් සරසවිය වෙත පිය නැඟුවෙමි. මගේ නිවසේ සිට සරසවියට කිලෝමීටර දෙකක්‌ පමණ ඇත. අතරමගදී මග අසල වූ මාර ගසක්‌ රනින් නැහැවුවා සේ දිස් වුයේ ගස වෙලා ගත් රන් පැහැ මල් වැලයි. 'අඩේ ඒක නං මාර ලස්සනයි. ෆොටෝ දෙකක් ගහන් යමු', යයි සිතුණත් අත් ඔරලෝසුව දෙස බැලූ මා "ඔය මල්වලට කිවේ 'ටැබූබියා අවුරියා' කියල නේ හවස යනගමන් බලමු."යි සිතා ගමන ඉක්මන් කෙරුවේ පමා වෙනවාට ම නොවේ. ළඟකදී සිට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් බස් ගාස්තු ඉහළ යාම නිසා මම පයින් ම විශ්වවිද්‍යාලයට යාමට පුරුදු වූවෙමි. "තාම හයයි හතළිහයි. හෙමින් පලයන් කවුරුත් නැතුව ඇති" යි සිතුණත් දෙපාවල තිබූ නොඉවසිලිමත් බව අඩු වුයේ නැත. වෙනදාට නොනවත්වා රථ වාහන දිවෙන මාර්ගය අද පාළුව ගොසින් ය. අඩු වූ මිනිසුන්ගේ අඩුව පිරවීමට මෙන් පාර බල්ලන්, රිලවුන්, කපුටන්ගෙන් පිරී තිබුණි. පාර දෙපස රන්වන් මල්ද , බල්ලන් , කපුටන් ඇද දැමූ කැලිකසල ද ඉහිරී තිබුණි. හයයි පනහ විතර වනවිට, මම සරසවියේ ගේට්ටුව අසලට පැමිණියෙමි. මදක් වටපිට බැලුව ද කිසිවෙක් නොසිටි බැවින්, මම දුරකථනය අතට ගත්තෙමි. "හලෝ වවුලයියා අද යනවා නේ" "හලෝ මල්ලි කියපන් " "උඹලා අද යනවා නේ " "ඕ ඕ යනවා මේ ලෑස්ති වෙන ගමන්. උඹ කොහෙද? " "මන් හොස්ටල් එක ඉස්සරහ" "එල එල අපි එන්නන්" "ආ… එල" නැවත වරක් වටපිට බලූ මම සෙමින් නේවාසිකාගාරය වෙත පිය නැඟුවෙමි. නේවාසිකාගාරයට ඇතුල්වන විටම වම් පසින් සිටින්නේ නේවාසිකාගාර ආරක්ෂකයායි. ඒත් සම‍ඟ ම ඇත්තේ කැරම් බෝර්ඩ් දෙකක් සහ ටේබල් ටෙනිස් මේසයකි. එතනින් ඇතුළු වූ විට හමුවන්නේ නේවාසිකාගාර කැන්ටිමයි. කැන්ටිමේ වම් කොණේ ඇත්තේ කාමරවලට යාමට ඇති දීර්ඝ කොරිඩෝවකි. කොරිඩෝව අවසානයට වම් පසින් හමුවන්නේ නේවාසිකාගාර කාමරයි. "මෝර්නින් වවුලයියා! " "මොර්නින් මල්ලි! මේ සපත්තු දෙක දාගත්තු ගමන් එනවා. කට්ටිය ඇවිල්ලද? " "නෑ තාම. මන් විතරයි. උදේට කෑවද? " "ඕ බන් නූඩ්ල්ස් එකක් හදන් කෑවා. " "ආ… මාත් නූඩ්ල්ස් කාලා තමා ආවේ. අද කවුද යන්නේ? " "මයි, උඹයි, ජසයි, හැඩොක්කුයි, පැන්ඩයි. ආයේ බලපන් ඔය එළුවා අයියා ඇහැරලද කියල" කොරිඩෝවේ එහා පැත්තේ වූ කාමරය අසලට ගිය මම දොරට සෙමින් තට්ටු කර සහන් අයියාට කථා කළෙමි. කිසිදු ප්‍රතිචාරයක් නොමැති වූ බැවින් කාමරයේ කෙවිළියට යටින් වූ ගැට්ට මත නැඟුණු මම කාමරයට එබී බැලූ විට සහන් අයියා තවමත් ඇඳේ ගුලිවී සිටියේය. නැවතත් දොරට තට්ටු කළ මම “එළුවා අයියා!!!” කියා කථා කළෙමි. එවිට කාමරයේ දොර විවර කර පොරවා සිටි ඇඳ ඇතිරිල්ල හිසින් පොරවාගත් සහන් අයියා එළියට පැමිණියේය. “හායි, මොර්නින්ග් හඳයා මල්ලි මොකෝ වෙන්නේ? ” “අද යන්න නැද්ද?” “කොහෙද?” “ගලහ යන්න නැද්ද?” “ආ… යන්” “ඉකමනට වරෙන් එහෙනම්... මේ කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ” “හරි හරි එන්නං බං” “ආ හරි හරි ඌ එයි අපි යන්” (දසුන් අයිය - වවුලා) “එහෙනං අපි යනවා ඈ” “ඉඳපන් බල්ලෝ” අපි නැවතත් කොරිඩෝව දිගේ නේවාසිකාගාර කැන්ටිම පසු කර නේවාසිකාගාරයෙන් පිටතට පියනැඟුවෙමු. යන මඟ දී දුරකතනය දෙස බලූ මගේ ගමන මදකට නතර වුයේ "ඔයා හොස්ටල් එක අස්සට යනව දැක්කා" ලෙස වූ පණිවුඩය කියවීමට ය . "අපි දැන් එළියට එන ගමන් පොඩ්ඩක් ඉන්න." ලෙස නොපමාව පිළිතුරක් යැවූ මට මුවඟින් මඳ සිනාවක් මතුවීම වලක්වා ගත නොහැකි විය. “ආව් හඳය මල්ලිගේ හිනාව බලපන්කො. ඇයි කාගෙන්ද මැසේජ් එක” (නදුන් - පැණ්ඩා) “පල පල යන්න” “ඇයි අද කවුද එන්නේ” (සුදීප - ජසයා) “දන් නෑ මූ තමා දන්නේ එකනේ ඔය හිනාවෙන්නේ” “කවුරුත් නෑ. මෙ උඹල යන්න මන් අරගොල්ලෝ කොහෙද බලලා එන්නන්” “හා හා ඉතින්” නේවාසිකාගාරයෙන් පිටවන විටම වම් පසින් වූ පාර දිගේ දිගු පියවර තබමින් මම නැවතත් ගේට්ටුව වෙත පිය නැඟුවෙමි. පාර අවසානයේ ඇති කුඩා පාලමෙන් එගොඩ වූ විටම ඇත්තේ දෙපස රොබරෝසියා ගස් වලින් සැරසු ප්‍රධාන ගේට්ටුව දෙස දිවෙන මාර්ගයකි. වසන්තයේ පිපුණු රෝස පැහැ රොබරෝසියා මල් පාර දිගේ රෝස පැහැති පාවඩ මවා තිබුණි. මල් ගස් දෙස මොහොතක් හිස ඔසවා බලා ඉදිරිය බලූ මම ඈතින් දුටු ගැහැණු ළමුන් සිවු දෙනාට අත වැනුවෙමි. “ඔයාලා කොහෙද ඔය යන්නේ?” “හායි මල්ලි මෝර්නින්” (මනීශා අක්කා - හාවි) “මෝර්නින් අක්කා” “මන් දැක්කා ඔයා හොස්ටල් එක පැත්තට යනව” (ප්‍රභාශි - කපුටි) “ඔව් පොඩ්ඩක් හොස්ටල් එක පැත්තේ ගියා. අරගොල්ලෝ හොස්ටල් එක ඉස්සරහ අපිත් යමු නේ” අපි ආපසු හැරී නැවත නේවාසිකාගාරය වෙත පියනැඟුවෙමු. මම මඳක් වේගයෙන් ඉදිරියෙන් ගමන් කළෙමි. මඳකින් මගේ වම් පසට පැමිණි ප්‍රභාශි නිහඬව දෙතොලින් පමණක් ‘යන්’ ලෙස පවසමින් අතින් සංඥා කර, ඇගේ කොණ්ඩය අල්ලා කන පිටුපසට තල්ලු කළාය. ප්‍රභාශි අපත් සමඟ උසස් පෙළ පන්තිවලට සහභාගී වුවත්, සරසවියට පැමිණෙන තුරුම අප කථා කර තිබුණේ නැත. ඇගේ සම තලෙළු පැහැ විය. දෑස් ඊට ගැලපෙන කළු පැහැයට හුරු තද දුඹුරු පැහැ වූ අතර ඇය කළු පැහැ ඇස් කණ්නාඩියක් පැළඳ සිටියාය. කොණ්ඩය උරහිස තෙක් දිගට කපා සිටි ඇය අප සරසවියේ කමිසයක් සහ නිල් පැහැ ඩෙනිම් කලිසමක් ඇඳ සිටියාය. අපි දෙදෙනා තරඟයට මෙන් රොබරෝසියා මල් ඇතිරුණු පාර දිගේ වේගයෙන් ඇවිද්දෙමු. “ආ… ඔයාලත් එනවද අද” (පැන්ඩා) “අද අපිත් එනවා” (කුමුදු අක්කා - වෙල්මා) “මේ මල්ලි අයෙ කවුරුත් නෑ නේ” (වවුලා) “නෑ නේ අද මෙච්චරයි. මේ එළුවා අයියා කෝ ” “ඌ තාම නිදිද කොහෙද. අපි යන් නැත්තන් පරක්කු වෙයි ඌ කොහොමත් කාර් එකේ නේ එන්නේ. මේ… මෙයාල මොකද කරන්නේ?” “ඔයාල අපිත් එක්ක බස් එකේ යනවද නැත්තන් සහන් අයිය එක්ක කාර් එකේ එනවද?” “අපිත් බස් එකේ එන්නන් අවුලක් නෑ” (සෙව්මිණි - මඩම්) “බස් එකේ අවුලක් නැද්ද? අරූ එයි තව ටිකකින්” (වවුලා) “එහෙනම් මෙහෙම කරමු වවුලයියා, අපි ඔහොම්ම හෝල්ට් එකට යන්. කොහොමත් කාර් එක ඒ පැත්තෙන් එන්න එපැයි. එතන ඉමු” “හා යන් එහෙනම්, දැන් හතහමාරට විතර බස් එක එයි” ප්‍රධාන මාර්ගයෙන් එහා පැත්තේ ඇත්තේ අඩිපාරකට වඩා මදක් විශාල කුඩා පාරකි. එහි මෝටර් බයිසිකලයකට හැර වෙනත් වාහනයකට ගමන් කළ නොහැක. පාර අවසානයට හමුවන්නේ මහවැලි ගඟේ ඉවුරු යාකරන පාලමකි. පාලම අවසන් වන තැනත් ආරම්භ වන තැනත් ඇත්තේ රෝස පැහැති මල් පිරි රොබරෝසිය ගස් දෙකකි. සැමදාම නොවරදවා උදෑසන පාලම දෙපස රොක්වන රිලවුන් රැළ අදත් පාලම දෙපස අලස ව සිටියහ. මෙම පාලම අප සරසවියේ ඇති පුදුම හතෙන් එකකි. එය නිර්මාණය කර ඇත්තේ අප පිඨයේ මුල්ම වසර කණ්ඩායම විසින් එක්දාස් නමසිය හැත්තෑගණන්වලය. පාලම අවසානයට හමුවන්නේ විශාල නුග ගසකි. මෙයද අප සරසවියේ ඇති පුදුම හතෙන් තවත් එකකි. ‘මේකට කිවේ හිච් ගහ කියල නේ. උදේ පාන්දර නං කපල් නැතුව ඇති’ කියා සිතා මම මොහොතකට ආපසු හැරී බැලුවෙමි. හිච් ගස පසුවූවිට ම හමුවන්නේ විශාල පුස්තකාලයකි. ඒත් සමගම ඇත්තේ රන්වන් මල් වලින් පිරුණු තවත් විශාල නුග ගසකි. එය පසුකර දිවෙන පාර දෙපස ඇත්තේ විශාල තල් ගස් පේළි දෙකකි. එම පාර අවසානයට හමුවන්නේ සරසවියේ කිරිහලයි. එතනින් මදක් ඈතට වන්නට බස් නැවතුම පිහිටා තිබේ. අප බස් නැවතුමට පැමිණි විගසම මගේ දුරකථනය නාද විය. “හලෝ කියපන්” “කොහෙද යකෝ උඹල ඉන්නේ?” “අපි හෝල්ට් එකේ ඉන්නේ” “හෝල්ට් එකේ කිවේ කොහේද?” “මේ කිරිහල ළඟ හෝල්ට් එකේ... ඔයා දැන් අනිවාරෙන්ම එනවා නේ?” “එනවා එනවා හයියෝ උඹලත් ඉතින්” “ආ… හරි මේ කෙල්ලෝ ටික ඉන්නවා.. එහෙනම් දාගෙන එන්න. ” “හරි හරි මන් එන්නම්” “අරූ එනවද දැන්?” (වවුලා) “ඔව් එනවලු. මේ සහන් අයිය එනවලු ඔයාල එහෙනං එයත් එක්ක කාර් එකේ එන්න” “කමක් නෑ අපිත් බස් එකේ එන්නං” (කපුටි) “නෑ ඉතින් කාර් එක එන එකේ ඔයාල එකේ එන්න” “කමක් නැද්ද ඔයාල බස් එකේ එනවද?” “ඔව් අවුලක් නෑ” අපි බසයක් පැමිණේදැයි විටින් විට පාර දෙස බලමින් එකින් එකා සමග වල්පල් දොඩවමින් බස් නැවතුමේ සිටියෙමු. කොල්ලන් විටින් විට නිහඬ වුවත් කෙල්ලන් අතර නොනවත්නා කසුකුසුවක් පැවතුණි. මා මොහොතකට ප්‍රභාශි සහ සෙව්මිණි දෙස බලූ විට දෙදෙනා බිම බල සිනාසුණු බැවින් මම නැවත පාර දෙසට ඔළුව හරවා ගත්තෙමි. ඈතින් එන බස් රථය දුටු සැණින් මම එය හදුනාගත්තෙමි. “ආන් … අපේ බස් එක නේ එන්නේ. එහෙනං අපි යන්නං ඔයාල සහන් අයියා එක්ක එන්න” “හරි බායි එහෙනං” බසයට අත දමා එය නවතා ගත් අපි පිටුපස දොරෙන් ඇතුළුවී නැවත ආපසු හැරී අත වැනුවෙමු. වෙනදාට බසයට ගොඩවෙන්නට බැරි තරමට මිනිසුන්ගෙන් පිරී ඇති බසය අද හිස් ආසනවලින් පිරී තිබුණි. ‘අපරාදේ සීටුත් තියනවා අරයලටත් එන්න කියන්න තිබ්බේ’. තිදෙනෙකුට ඉඩ ඇති දිගු ආසනයක ජනේලය අසන්නයේ මම හිඳගත්තෙමි. මගේ එහා පැත්තේ දසුන් අයියාද ඊට එහයින් තිරාන් අයියාද හිඳගත්තේය. සුදීප සහ නඳුන් අපට අතින් සංඥා කර බසයේ ඉදිරියට ගියහ. පාරේ වාහන අඩු බැවින් බසය ක්ෂණිකව සරසවියත් ඉන්පසු හමුවන රියදුරු පාසලත් පසුකර ඉදිරියට ඇදුණි. ඉන්පසු හමුවන්නේ කුඩා නගරයක් සමඟ ඇති නිවාස පේලියකි. බසය නගරයේ තැනින් තැන මිනිසුන් නංවා ගැනීමට නැවැත්තුව ද නොපමාව වටවංගුවලින් පිරුණු මාර්ගයකට පිවිසුණි. “මල්ලී, ඒයි හඳය මල්ලි. ඔයි මෙහෙ බලපන්” (තිරාන් අයියා - හැඩොක්) “ආ… ඔව් කියපන්” “මොකද බන් උඹ නිදිමතේද. සැහෙන කල්පනාවක” “නෑ නෑ කියපන්” “මුගේ කල්පනාව මොකද්ද කියල නං මන් දන්නවා” (වවුලා) “ආ… ඒක. මේ ඒක නෙමේ අද ආපු කෙල්ලෝ සෙට් එකම නුවරද?” “ඔව් සෙට් එකම නුවර” “බලපන්කො අපි දන්නෙත් නෑ මේ බබල්වලට බෙදල තාම මොන මගුලක්ද මන්ද” “ඔව් නේ දැන් නං හැබැයි ඇති කොරෝනවකුත් නෑ තාම මොකද මන්ද” (වවුලා) බසය වංගුවකදීවත් වේගය අඩු නොකර ඉදිරියට ඇදුනි. නොදැනුවත්වම අපි හන්තාන කඳු පන්තියට ඉහළින් සිටියෙමු. පාරේ එක් පසකින් දිස්වූ හන්තාන කඳු පන්තියත් කඳු අතරින් ගලා ආ මීදුම් ගංගාවත් හින්දි චිත්‍රපටියක දර්ශනයක් සිහිකරවිය. පාරේ අනෙක් පස වූ මීදුමෙන් වැසුණු පයිනස් වනාන්තරයේ ඉතා අද්භූත ස්වභාවයක් තිබුණි. බසයේ නොනවත්තවා වාදනය වූ වේගරිද්ම ගීතවල තලයටම මෙන් බසයත් වංගුවල දෙපසට පැද්දෙන්නට විය. අද උදේ පාන්දර අවදි වූ බැවින් නිදිමතේ සිටි මට මෙය නැලවිල්ලක් මෙන් විය. ටිකින් ටික දෑස බර ගතිය වැඩිවනවා මට දැනුණි. එකවරම ගැස්සී නින්දෙන් අවදි වූ මා වටපිට බැලූ විට බසය නවතා දස දෙනෙකුගෙන් පමණ වූ පිරිසක් බසයට ගොඩවෙමින් සිටියහ. ඔවුන් අතර වයෝවෘද්ධ උදවිය වූ බැවින් පුරුද්දට මෙන් ආසනයේ සිටි අප තිදෙනාම නැඟිට ඔවුන්ට අසුන් දුන්හ. ඔවුන් සියල්ලෝම දෙමළින් කථා කළ අතර ඔවුන් ඉතා ඝෝෂාකාරී විය. ඔවුන්ගේ පිරිමින් සරම් සහ කමිස ඇඳ සිටි අතර ගැහැණුන් තද වර්ණයෙන් යුත් විවිධ රටා දැමූ සාරි ඇඳ සිටියහ. ඔවුන් අතර කුඩා ළමුන් දෙදෙනෙක්ද අප වයසේ පමණ වන තරුණයන් දෙදෙනෙක්ද විය. තවමත් නිදිමතේ සිටි අපි තිදෙනා දෑස් පිසදමමින් අපගේ ගමන් මලු බසයේ රාක්ක මතින් තැබුවෙමු. “මල්ලි තව දුරද බන්” (හැඩොක්) “වෙලාව කීයද වවුල්යියා” “දැන් බන් අටයි කාලයි” “එහෙනං තව ටිකක් යන්න තියනවා” “කීය වෙයිද බන් යද්දි” “වෙනදට නං අටයි හතලිස් පහ, නමය විතර වෙනවා” බස් රථය වැනෙන තලයටම දෙපසට වැනෙමින් සිටි අපි තිදෙනා බසයේ සවිකර තිබූ බාර්ද, අසුන්ද මරුවන් මාරුවට අල්ලා ගනිමින් නොවැටී සිටීමට උත්සහ කළෙමු. විනාඩි පහලවකට පමණ පසු බැවුම් මාර්ගයකට අප පිවිසුණු අතර එහි අවසානයට වූයේ ‘ගලහ’ නගරයි. අපි බසයෙන් බැස ගතයුත්තේ නගරයේ දෙවනියට හමුවන බස් නැවතුමෙන්ය. එතන සිට ‘පුපුරැස්ස’ පාර දිගේ කිලෝමීටර එකහමාරක් පමණ ගිය විට මහා විද්‍යාලයක් හමුවේ. “මේ අපි මොනාහරි කාල යන්ද බඩගින්යි බන්” (ජසය) “ඔව් තම අටහමරයි නේ කලා යන්” (පැණ්ඩා) “ඔය පල්ලෙහා කඩයක් ඇති යමන්කෝ එහෙනං” (වවුලා) අප පාරදිගේ මදක් යනවිට කඩ කිහිපයක් තිබුණි. අප පාර අයිනේ තිබූ කුඩා කඩයකට ඇතුල් වූවෙමු. එහි පුටු සතර බැගින් වූ මේස හතරක් වූ අතර පිටුපස වූ කුස්සියේ පිරිසක් උදෑසන ආහාර පිළියෙළ කරමින් සිටියහ. කඩයේ ඉදිරිපස වූ විදුරු රාක්කවල තවමත් කිසිවක් නොවූ අතර කුස්සියේ පරාටා, තොසේ සමඟ කුකුල් මස් සහ පරිප්පු පිළියෙළ වෙමින් තිබුණි. “එන්න මහත්තයා එන්න වාඩි වෙන්න.තෝසේ තියනවා පරාටා තියනවා මොනවද කන්නේ” “පරාටා කමු නේ මල්ලි” (වවුලා) “මට නං මුකුත් නැතත් කමක් නෑ උඹල කාපන් මන් උදේ කලා අවේ” “අපිට තොසේ තුනක් දෙන්න” (පැණ්ඩ) “එහෙනං පරාටා එකක් පරිප්පු විතරක් දාල. ආයෙ තෝසේ තුනයි” “හරි මහත්තය ප්ලේන්ටිත් දාමුද” “ප්ලේන්ටි නං ඕනේ නෑ නේ” “ඕනේ නෑ නේ” “තෝසෙයි පාරාටයි විතරයි” “හරි මහත්තයා ඔහෙන් වැඩිවෙන්න” කෑම කා අවසන් වූ අපි සෙමින් පයින් ම පාර දිගේ ගමන් ඇරඹුවෙමු. පාර දිගේ මඳක් ඉදිරියට යන විට පිටුපසින් ඇසුණු නළා හඬට අපි එකවර ආපසු හැරුණෙමු. අපට පිටුපසින් පැමිණියේ සහන් අයියගේ සුදු පැහැති ‘නිසාන්’ මෝටර් රථයයි. රථයේ ඉදිරියේ සිටියේ මනීෂා අක්කාය. පිටුපස වම් කොනේ ප්‍රභාශි ද ,මැද සෙව්මිණි ද, දකුණු පස කුමුදු අක්කා ද සිටියහ. තවත් වරක් නලාව නාද කළ සහන් අයියා කෙමෙන් නොපෙනී ගියේය. පාර දිගේ යනවිට සිවු දෙසින් දිස් වන්නේ විශාල තේජවන්ත කඳුපන්තියි. උදෑසන කඳු වසා සිටි මීදුමත් කඳු අතරින් ගලා එන සීත සුළං මතින් කෙමෙන් කඳු පාමුලට ඇදෙමින් පැවතුණි. "අර කන්ද මොකද්ද දන් නෑ දවසක නගින්න ඕනේ." “මේ මල්ලි දැන් කියහන්කෝ අද අවේ කවුද කියල අපි දන්නෙත් නෑ නේ” (හැඩොක්) “අර කාර් එකේ ඉස්සරහ හිටියේ, එයා තමා මනීෂා අක්කා. එයා තමා ඔය කවි එහෙම එඩිට් කර කර දාන්නේ. පිටිපස්සේ හිටියේ ප්‍රභාශියි, සෙව්මිණියි එයාලා අපේ වයස. කුමුදු අක්කව නම් දන්නවා නේ” “දැන් අපේ හඳය මල්ලි කැමති අර දෙන්නාගෙන් කාටද?” (පැණ්ඩ) “අනේ මේ එහෙම නං මුකුත් නෑ. කෙල්ලෝ ඉස්සරහ එහෙම ඔය ඕන්නැති කථා කියනවා නෙමේ” “හරි හරි අපි කාටවත් කියන්නෑ කියහන්කෝ ඉතින්” “එහෙම කියන්න දෙයක් නෑ ඉතින්” “අපි නං දන්නවා කවුද කියල මල්ලි පවු හින්ද කියන්නෑ ඉතින්” “මේ වවුලයියත් එක්ක බෑ නේ ඉතින්. මොනවා කියවනවද මන්දා” “ආ… කමක් නෑ එහෙනං අපි වවුලගෙන් පස්සේ අහගමු” (ජසය) විනාඩි පහලවක පමණ ගමනකින් පසු අප මහා විද්‍යාලයේ ඉදිරි ගේට්ටුව අසලට පැමිණියෙමු. ගේට්ටුව කළු පැහැ අලංකාර ලී පටිවලින් නිමවා රන් පැහැ පිත්තල ගෝල ඔබ්බවා සරසා තිබුණි. ගේට්ටුව අසල වූ විශාල සුදු පැහැති බිත්තියේ රන් පැහැ අකුරින් විද්‍යාලයේ නම සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හා දෙමළින් ලියා ඊට ඉහලින් රාජ්‍ය ලාංඡනයක් ද විය. ගේට්ටුවට පිටුපස ඇත්තේ මදක් මඩ වූ කුඩා පිට්ටනියකි. ගේට්ටුව දෙපසද කිසිවක් නොවූ බැවින් ගේට්ටුව ඉතා හුදකලා ස්වභාවයක් ගනියි. ගේට්ටුව පසුකර මදක් ඇතුලට යන විට හමුවන්නේ තරමක් ගරා වැටුණු පඩිපෙලකි. පඩිපෙළ අවසානයේ හමුවන්නේ මඩවලක් මතින් දැමූ ලෑල්ලකි. එයින් එගොඩවී ඇති තවත් පඩිපෙලක් අවසානයට දහය සහ එකොළහ වසර පංති හමුවේ. මුලින්ම හමුවන්නේ පන්ති තුනකින් පමණක් සමන්විත දිග ගොඩනැගිල්ලකි. ඊට යාබදව ඇත්තේ පන්ති කිහිපයකින් යුත් තට්ටු තුනක පමණ ගොඩනැගිල්ලකි. තනි තට්ටුවේ ගොඩනැගිල්ලේ අග වූ ගුරු මණ්ඩල කාමරය වෙත ගිය අපට දොර අසල සිටි පාසලේ විද්‍යා ගුරුතුමා හමුවුණි. “ගූඩ් මෝර්නින් සර්” “ගූඩ් මෝර්නින් පුතා. අද නං ළමයි ටිකක් අඩුයි බස් එහෙමත් නෑ නේ.” “ඒක තමා නේද සර් අපෙත් අද කට්ටිය අඩුයි. අවුලක් නෑ මොනවහරි කරමුකො. සර් අර ගිය සතියේ තිබ්බේ රෙජිස්ටර් එක තියනවද?” “ආ… ඔව් පුතා ඒක ස්ටාෆ් රූම් එකේ ඇති. පුතාලට තව මොනවහරි ඕනේ නං කියන්න” “හරි සර් තැන්ක්යූ” “ආ… හඳයා මල්ලි වරෙන් කාපන්” (එළුවා) “කමක් නෑ ඔයාල කන්න මං උදේ කාලා ආවේ” “අනේ කමක් නෑ කන්න. අද අම්ම බත් ගොඩක් බෙදල” (කපුටි) “කාගේද බත් එක” “මගේ… “ “ආ… කමක් නෑ එහෙනං කමුකෝ” කෑම කා අවසන් වූ පසු මම පාසල් ගොඩනැගිල්ල අසල ම ඊට පාතින් වූ වැසිකිලියට ගියෙමි. විදුලිය නොමැති වූ බැවින් වැසිකිලිය තුල කිසිවක් නොපෙනෙන තරමට අඳුරු විය. අඩි දෙකක් ඉදිරියට තැබූ මට මගේ දෙපා ඉදිරියට අදී යනවත් සමගම ශරීරය පිටුපසට වැටෙන්නාක් මෙන් දැනුණි. ඉක්මනින් දොරේ උළුවස්ස අල්ලා ගත් මා මගේ සමබරතාව රකගැනීමට සමත්වුණි. ‘හප්පා මෙතන ලිස්සනවනේ තව පොඩ්ඩෙන් කොන්ද කඩාගන්නවා’. නැවත ගුරු මණ්ඩල කාමරය වෙත යන විට සියලුදෙනා එහි දොර ඉදිරියට වී සිටියහ. “මේ අද ළමයි නං සෑහෙන්න අඩුයි. දහයේ පන්තියේ කෙල්ලෝ විතරයි ඉන්නේ. අනෙක් පන්තිවලත් ළමයි නෑ වැඩිය” (එළුවා) “එහෙනං එකොළහේ පන්ති දෙක එකට කරමුද” (ජසය) “එහෙම බැරිවෙයි නේ වෙනස් පාඩම් නේ කරලා තියෙන්නේ” “මොනාද මල්ලි ගිය සතියේ කරලා තියෙන්නේ” (එළුවා) “මගේ පන්තියට නං මන් කරන්නනේ. වවුල්යියත් ගිය සතියේ කරපු පන්තිය කරයි. අනෙක් පංතිවලට කරපුව නං අර පොතේ ඇති. දහයේ පන්තිය ගන්නේ කවුද. කෙල්ලෝ විතරක් ඉන්න හින්ද කුමුදු අක්කයි තව කවුරුහරියි ගන්නවද” “අනේ මල්ලි මං කට්ටියට ළඟට ගිහින් කියල දෙන්නන් ඒත් උගනන්න නං බෑ” “කාටද එහෙනං උගන්නන්න පුළුව” “එහෙමනං මාත් දහයේ පන්තියට යන්නන්” (හැඩොක්) “ආ… හරි එහෙනං. සහන් අයියායි තව කවුරුහරියි අනෙක් එකොළහේ පංතිය ගන්නවද. ඒකට ඔය තුන්දෙනාගෙන් කවුරුහරිත් යන්න. එක්කෙනෙක් මාත් එක්ක එන්න. තව කවුරුහරි වවුලයියලගේ පන්තියටත් ගියා නං හරි නේ” “අපේ පංතියට නං මායි නදුනුයි කරන්නං. තුන්දෙනයි නේ ඉන්නේ” “මන් එකොළහේ පන්තියට යන්නන් එහෙනං” (හාවි) “සුදීප උඹත් වරෙන් අපේ පංතියට එහෙනං” (එළුවා) “හා හරි” “හරි එහෙනං වවුලයියා ඔයාලගේ පංතියේ කෙල්ලෝ තුන්දෙනෙක් නේ ඉන්නේ කෙල්ලෙක් ඕනේ නැද්ද” “නෑ මල්ලි කමක් නෑ” “එහෙනං ඔය දෙන්නම මගේ පංතියට එන්න” “හා “ “මේ පුතා ඊයේ අපේ මේ පන්තියකට රිලව් පැනල ජරා කරලා ඔයාලට ඕනේ නං අර පැත්තේ පංතියක් ගන්න” “ආ… හරි සර් අපි ඒ පංතියක් ගන්නං එහෙනන්” මා උගන්වන පංතිය පිහිටියේ ගොඩනැගිල්ලේ කොනේ පන්තියට යාබදවයි. පසුගිය සතියේ වාර විභාග පැවතුනු බැවින් පංතියේ මේස පුටුවලින් බාගයක් තවමත් පිළිවෙලට අසිරූ පේළි වල විය. පන්තියේ සිටි ගැහණු ළමුන් නව දෙනාම අදත් පංතියේ සිටියද වෙනදාට සිටින පිරිමි ළමුන් දොළොස් දෙනාගෙන් අද සිටියේ සිවු දෙනෙක් පමණි. අප පංතියට ඇතුල් වූ විටම පංතියේ ළමුන් නිශ්ශබ්ද විය. පංතිය ඉදිරියේ අපැහැදිලි කළු ලෑල්ලක්ද, තරමක පරණ පෙනුමක් ඇති ගුරු මේසය මත හුණු කූරු සතරක් සහ ඩස්ටරයක් විය. පංතියේ වම් පසින් ගැහැණු ළමුන් ද, දකුණු පසින් පිරිමි ළමුන් ද සිටියහ. “හරි එහෙනං අපි හෝම්වර්ක් ගණන් ටික බලමු” ලෙස මම පාඩම ආරම්භ කළෙමි. පළමු ප්‍රශ්නය කළුලෑල්ලේ ලියූ මා පිරිමි ළමුන් දෙසට ගොස් ගෙදර වැඩ පරික්ෂා කළෙමි. ගිය සතියේ පාඩම ඉගැන්නුව ද තවමත් ගුණකිරීම සහ බෙදීම් බොහෝදෙනාට අපහසු වූ බැවින් එකින් එකා ළඟට ගොස් පියවරෙන් පියවර ගණන් කියාදෙන්නට අපට සිදුවී තිබුණි. ‘තව මාස කීපෙකින් ඕලෙවල්. තාම දහයේ පාඩම්වල මොනවා කරන්නද මන්දා’. පාඩම කරමින් යන අතරතුර පිටුපස පේළියේ සිටි ළමයෙක් නිතරම ඇස අතගාමින් සිටියේය. “මොකද මල්ලි ඇහැ” “නෑ අයියා මේ පෑනක් ඇනුණා” “පෑනක් ඒ මොනවා කරන්න ගිහින්ද” “නෑ මේ එක්කෙනෙක් පෑනක් දෙද්දී එකපාරට හැරුණා එතකොට” “ගොඩක් අමාරුද, කවද්ද ඕක වුණේ. කාටහරි පෙන්නගන්න වෙයි නේ” “ඊයේ වුනේ අයියා අද යනවා ඩොක්ටර් හම්බවෙන්න” “ආ හරි ගොඩක් අමාරු නං කියන්න” “අවුලක් නෑ අයියා” උදෑසන විවේකය වන විට අපි තවමත් ගෙදර වැඩ ගණන් සාකච්චා කරමින් සිටියෙමු. උදෑසන විවේකයට ගුරු මණ්ඩල කාමරයට අප පැමිණෙන විට පාසල අවට ගම්මුන් පිළියෙළ කළ රොටී සහ ලුණු මිරිස් සම්බෝලයක් මේසය මත විය. අපි දස දෙනාට උදෑසන ආහාරය සඳහා රොටී පහළවක් පමණද විශාල ජෝග්ගුවකට තේ කාහටද පිළියෙළ කර තිබුණි. අප එහි යන විටත් සහන් අයියා ඇතුළු පිරිස මේසය වටා වඩිවී සිටියහ. ටික වෙලාවකින් අනෙක් සියළුදෙනාද මේසය වටා රොක් වූහ. “මේ මිනිස්සු පව් නේ මේ කාලේ මෙහෙම කෑම හදල දෙන්නේ. අපි අයෙ මෙච්චර හදන්න එපා කියලවත් කියමුද” (කපුටි) “අපිත් ඔය කථාව සින්නොන්ට කිව. ඒගොල්ලෝ කිව්වේත් හිත සතුටින් දෙන එක හන්ද එපා කියන්න එපා කියල” “මේ තව කාපන් ගොඩක් ඉතුරුයි” (එළුවා) “මටනං ඔය ඇති ඉතින්” “මේ මන් තව භාගයක් කන්නන් ඉතුරු භාගේ කවුරුහරි කාහන්” විනාඩි විස්සක පමණ උදෑසන විවේකයෙන් පසු අපි නැවතත් පංති කරා ගියෙමු. නිල් පැහැ වූ අහස වැහිවලාවන් වෙලාගෙන තිබුණි. කුඩා පොද වැස්සක් සමඟ විටින්විට ගිගුරුම් හඬද ඇසුනි. මා පංතියට පැමිණි වහාම එළියේ සිටි ළමුන් දිවවිත් ඔවුන්ගේ අසුන්වල හිඳගත්හ. මා පාඩම ආරම්භ කර සුළු මොහොතකින් පොද වැස්ස ධාරාණිපාත වර්ෂාවක් බවට පත්විය. පන්තියේ ජනෙල්වල වීදුරු නොතිබූ බැවින් ජනෙල් අයිනේ සිටි ළමුන් පංතියේ පිටුපස පේළියට ගොස් වැඩිවුහ. දහවල් දොළහට පමණ රෝස පැහැති කබායවක් පැළඳි ගැහැණු කෙනෙක් පංතියේ දොර අසළට පැමිණියාය. “මල්ලිට චුට්ටක් කතා කරන්න පුලුවන්ද” “මල්ලි… කවුද. ආ… මේ මෙයාද. මල්ලි ඔයා එන්නකෝ. පෑනක් ඇහේ ඇනගෙන නේ” “ඔව් ඒක තමා” “ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයි නේ” “ඔව් මේ… ඩොක්ටර් අද ඉන්නවා කීව දැන්” “ආ… හරි එහෙනං ඔයා දැන් යන්න මල්ලි හෝම්වර්ක් ටික කාගෙන්හරි ඉල්ලගන්න. අයෙ පොඩ්ඩක් ඉන්න මගේ කුඩේ දෙන්නං වහිනවනේ” “නෑ අයියා කමක් නෑ. මෙතන පල්ලෙහා වාහනේ තියෙන්නේ අපි යන්නං” “නෑ නෑ කමක් නෑ ලබන සතියේ ගෙනත් දෙන්න” එක හමාර පමණ වන විට වැස්ස මදක් අඩු වූ බැවින්ද අද බස් අඩු බැවින්ද වේලාසනින් පංති අවසන් කිරීමට අපි තීරණය කළෙමු. වාර විභාගයට මේස පුටු සකස් කර සියලු දෙනා රේජිස්ටරයේ අත්සන් කළ පසු ළමුන් සියල්ල විසිර ගියහ. ඉන්පසු අප නැවතත් ගුරු මණ්ඩල කාමරයට යන විට විශාල මල්ලක වුයේ ගම්මුන් පිළියෙළ කළ දිවා අහාර පාර්සලය. “පුතාලා දැන්ම යනවද” “ඔව් සර් දැන් යන්නං කියල බැලුවේ අද බසුත් නෑ නේ” (එළුවා) “කෑම එතකොට” “අපි… අරන්වත් යන්නං නේ” “හොස්ටල් එකේ කොල්ලන්ටත් දෙකක් විතර අරන් යමු නේ” (පැණ්ඩ) “කට්ටිය එහෙනං බත් ටික බෑග්වලට දාගන්නකෝ” (එළුවා) “මේ මං පොඩ්ඩක් ටොයිලට් එකට ගිහින් එන්නං” (හැඩොක්) අපි එකින් එකා බත් පාර්සල් බෙදාගෙන යන්න සුදානම් වෙත්ම වැසිකිලිය දෙසින් ආ ශබ්ධය ඇසි ඒ දෙසට දිව ගියෙමු. "මළකෙළියයි අරූ වැටිලද කොහේදෝ?" ලෙස සිතමින් පඩිපෙලින් පහලට බසින විටම වැසිකිලිය අසල කකුල අල්ලාගෙන සිටියේ තිරන් අයියායි. ඔහු වෙත මුලින්ම ගිය සහන් අයියා සහ නදුන් ඔහුව නැගිට්ටවුහ. “අඩේ හැඩොක් මොකද වුණේ” (වවුලා) “ලිස්සුවා බන් කකුල මොකද්දෝ වුණා මන් හිතන්නේ” “මේ මූව පොඩ්ඩක් උඩට අරන් යම්න්කෝ” “ඇයි මෙයාට මොකද වෙලා තියෙන්නේ” (වෙල්මා) “වැටිලා අක්කා අතන ටොයිලට් එකේ දොර ගාව ලිස්සනවා” “මුකුත් අවුලක් නෑ නේ” (හාවි) “කකුල මොකද්දෝ වුණා කිව බලමුකෝ” තිරාන් අයියාගේ සපත්තුව ගලවා කකුල දෙස බලූවිට ඔහුගේ විලුඹ ප්‍රදේශය දම් පැහැයට හුරු නිල් පැහැයක් ගෙන තිබුණු අතර මදක් ඉදිමී තිබුණි. විද්‍යා සර් ගෙනවිත් දුන් අයිස් පකෙට්ටුව කකුලට තදකරමින් මද වෙලාවක් තිරාන් අයියා පසෙක වූ පුටුවක හිඳ සිටියේය. මද වෙලාවකට විවේකයක් ගත් වැහි වලාද කඳු මුදුන්වල සිට නැවත කෙමෙන් අහස වෙලාගනිමින් සිටියි. “මේ අයියා ඔයාට දැන් ඇවිදින්නත් අමාරුයි නේ ඔයා කාර් එකේ එන්න මං මේගොල්ලෝ එක්ක බස් එකේ එන්නං” (කපුටි) “නෑ නංගි කමක් නෑ ඔහොමම පල්ලෙහට ගිහිං වීල් එකකවත් යන්නන්” “නෑ නෑ කමක් නෑ ඔයා යන්න කාර් එකේ දැන් වීල් තියෙයිද දන්නෙත් නෑ නේ” “ඔව් අපි එද්දිත් ආවනේ ඔයාල කාර් එකේ යන්න අපි බස් එකේ එන්නං” (හාවි) “ඔක්කොමල බස් එකේ එන්න ඕනේ නෑ ඉතින්. ප්‍රභාශි ඔයාට බස් එකේ එන එක අවුලක් නැද්ද” “කමක් නෑ මන් බස් එකේ එන්නං” “නෑ නංගි ඔයාල දෙන්නා කාර් එකේ එන්න මායි මනීෂයි බස් එකේ එන්නං” (වෙල්මා) “නෑ අක්කා දෙන්නෙක් බස් එකේ යන එක අපරාදෙනේ. මන් මේගොල්ලෝ එක්ක බස් එකේ එන්නන්” “හා හා ඒක කාර් එකට ගිහිං බලමුකෝ දැන් යන් වැස්සකුත් එන්න වගේ” (එළුවා) අප සෙමින් තිරාන් අයියා ඔසවාගෙන පඩිපෙළින් පහලට බස සහන් අයියගේ මෝටර් රථය වෙත ගියෙමු. ඔහු වාහනයේ හිඳුවා, නදුන් සහ දසුන් අයියා නගරයට දිව ගියේ ආපසු සරසවියට යාමට ත්‍රිරෝදරථයක් සොයාගැනීමටය. "ශික් මන් උදේ ලිස්සපු පාර පොඩ්ඩක් කට්ටියට කියන්න තිබ්බේ... ටොයිලට් එක ලිස්සනවා කියල දැන් මොනවා කරන්නද ඉතින්." මද වෙලාවකින් නදුන් සහ දසුන් අයියා පාර දිගේ පයින්ම පැමිණෙනු ඈතින් දිස්විය. “මොකෝ වීල් එකක් නැද්ද?” “නෑ බං කවුරුත් එච්චර දුර යන්න කැමති නෑ පෙට්ට්‍රල් නෑ කියල” (වවුලා) “දැන් මොකද කරන්නේ එහෙනං?” “ඒක තමා මන් බස් එකේ එන්නම්. කමක් නෑ” (කපුටි) “ඔව් එහෙනම් එහෙම කරමු දැන් මූට ඇවිදගන්නත් බෑ නේ. බස් තිබ්බේ නැත්තං කෝල් එකක් දීපන් මන් දෙපාරකට හරි එන්නං” (එළුවා) “එහෙනං මාත් බස් එකේ එන්නන්. මෙයත් තනියෙන් නේ නැත්තං” (හාවි) “එහෙනං සුදීප උඹත් කාර් එකේ වරෙන්. දැන් ඉක්මනට යන් වහින්න කලින්” “අවුලක් නැද්ද අක්කාට බස් එකේ යන එක” (ජසය) “අවුලක් නෑ මල්ලි, මෙයාව තනියෙන් යවන්නත් බෑ නේ” එලෙස අවසානයේ මම, නදුන්, දසුන් අයියා, මනීෂා අක්කා සහ ප්‍රභාශි බසයක් සොයා ගැනීමට ගලහ නගරය වෙත පියනැග්ගෙමු. මද වැහි කරුවලක් පැවති බැවින් තරමක් ඉක්මන් ගමනින් ගමන් කළ අප උදෑසන මෙන් අවට සිරි නැරඹුයේ නැත. එන මගදී නගරයේ ඉන්ධන පිරවුම් හල අසල ඉතා දිගු පෝලිමක් තිබුණි. නගරයේ අග පිහිටි බස් නැවතුමට අප පැමිණෙන විටත් එහි සැලකිය යුතු ජනතාවක් රැස්ව සිටියහ. "දැන් උඩහට බස් එකක් ගියා එහෙනං තව ටිකකින් බස් එකක් එයි නේ." “අද බස් අඩුයි වගේ නේද මාමේ?” (වවුලා) “බස් අඩුයි නෙමේ පුතේ. අද බස් නෑ වගේ මන් මේ දොළහමරේ ඉදන් හෝල්ට් එකේ” “හප්පා එහෙමද? ඒ කියන්නේ මාමා දැන් පැය දෙකක් විතර මෙතන. දැන් නං උඩට බස් එකක් ගියා බස් එකක් එයි නේ” “එහෙම නං කියන්න බෑ පුතා දැන් මේ අද හවස කර්ෆිව් දාන කතාවක් කීවා නේ” “හප්පා එහෙමද. මේ එහෙනං සහන් අයියට කෝල් එකක් ගමුද” “මන් ගන්නවා පොර අන්ස්ර් කරන් නෑ නේ. ඩ්‍රයිව් කරනවා ඇති” “මේ එහෙනං අපි ඔහොම්ම පයින් යන්ද ඉස්සරහට එළුවට තව ටිකකින් අයෙ කෝල් එකක් ගමු. එන වහනේකවත් එල්ලිලා යන්” (පැණ්ඩ) “අපිට නං ගානක් නෑ. මේ දෙන්නට මොකද කරන්නේ එතකොට?” (වවුලා) “අපිත් ඔහොම්ම යන ඉතින් දැන් මොනවා කරන්නද හවස් වෙන්න කලින් යන්නත් එපැයි. සහනුත් අර්ගොල්ලෝ දාල එයි නේ...” (හාවි) “ඔව් එහෙනං අපි ටිකක් ඉස්සරහට යමුකෝ. පයින්ම ගියත් පැය තුනෙන් විතර යන්න පුළුවන් වෙයි.” “එහෙනං මාමේ අපි ඔහොම්ම යන්නං. බස් එකක් අවොත් කොන්දට පොඩ්ඩක් කියන්න කැම්පස් ළමයි ටිකක් දැක්කොත් දාගන්න කියල” (වවුලා) ප්‍රධාන මාර්ගය දිගේ ඉදිරියට ඇදුණු අප නිතරම පිටුපස හැරී බැලුවේ බසයක් දැන් එතැයි සිතමින්ය. ‘අයෙ වහින එකක් නං නැතිවෙයි නේ... කුඩේකුත් නෑ.’ නගරය පසුකර මදක් ඉදිරියට ගිය විට වටවංගුවලින් පිරුණු පයිනස් වනාන්තර එක් පසකින් ද, අනෙක් පස විශාල බෑවුමකින් ද සීමා වූ නුවර ගලහ මාර්ගය නිල්ලඹ තෙක්ම දැක ගත හැක. පාරෙන් දකුණු පස බැලූ විට ගන වනාන්තරවලින් වැසුණු කඳු බෑවුම් ද, ඒ අතර තැනින් තැන කුඹුරු, නිවෙස් සහ පන්සල් ද දැක ගත හැක. වම් පසින් ඇති විශාල පයිනස් වනාන්තරය හේතුවෙන් එයින් එපිටට කිසිවක් නොපෙනේ. ප්‍රධාන මාර්ගය දිගේ මදක් ගමන් කළ අපි පයිනස් වනයක් මැදින් වූ කුඩා අඩිපාරකට පිවිසියෙමු. දසුන් අයියාත්, නදුනුත් මාර්ගයේ ඇති ගල් මතින් පනිමින් ක්ෂණිකව අඩිපාරෙන් දිවගියහ. මනීෂා අක්කාද ඔවුන්ට දෙවැනි නොවී අඩිපාර දිගේ කඳු පාමුලට ගියාය. මටද ඔවුන් සමග ඉක්මනින් ගමන්කිරීමට සිතුණත් ප්‍රභාශිත් සමඟ මම සෙමින් පැමිණියෙමි. "ට්‍රිප් එහෙම ගිහින් ඇලිවලත් පැන පැන යන එක්කෙනා අද මොකෝ මේ?" “මේ රවී පොඩ්ඩක් අත දෙන්නකෝ.” “මොකෝ මේ වෙනදට අපිටත් කලින් පැනගෙන යනවා නේ.” “නෑ අද මේ සපත්තු දෙක ලිස්සනවා.” “හාකෝ!” "වෙනදාටත් මෙයා ඔය සපත්තු දෙකම නේ දාන් එන්නේ." මගේ මුවේ වූ සිනාව දුටු ඇය සිනාව වළක්වා ගත නොහැකිව අතින් කට වසාගත්තාය. වැඩි කථාබහක් නොකර අපි දෙදෙනා නැවත ප්‍රධාන මාර්ගයට පැමිණියෙමු. ප්‍රධාන මාර්ගයේ වූ කුඩා පාලමක් අසල අප එනතුරු දසුන් අයියා, නදුන් සහ මනීෂා අක්කා බලා සිටියහ. මගේ මුහුණ රතු වී ඇති බව දැනුණත්, එය නොදන්නා සේ මම ඔවුන් දෙසට ගියෙමි. “කපුටි නංගි ඔයා මූට ගැහුවද? මොකද මේ මූණ රතුවෙලා” (වවුලා) “අනේ! නෑ මං මුකුත් කරේ නෑ” “ආ… හරි හරි දැන් වැස්සක් එන්න කලින් ඉක්මනට යන්” “අප්පේ ඒ පාර මොකෝ හඳයා මේ හදිස්සිය?” (පැණ්ඩා) “හරි හරි පොඩ්ඩක් හෙමින් ආවේ මෙයාගේ සපත්තුව ලිස්සනවා කීවා හින්ද?” “හාකෝ හාකෝ. අපෙත් සපත්තු ලිස්සනවා නේද වවුලා” “ඒක නේ බන්. හරි හරි දැන් යං” ප්‍රධාන මාර්ගයේ තවත් විනාඩි දහයක් පමණ ගමන් කරන විට වැහි කරුවල අප පසු පස එන්නා මෙන් අපට දැනුණි. විටින් විට ඈතින් රිදී පැහැ විදුලි එළිවලින් අඳුරු ආකාසය ආලෝකමත් විය. සීත සුළං සමඟ මුසු වූ පොද වැස්සක් ලෙස ආරම්භ වූ වර්ෂාව මද වේලාවකට පසු කුඩා ගල් කැට ඇඟට වැටෙන්නාක් මෙන් දැනුණි. නදුන් සහ දසුන් අයියා එක කුඩයක්ද, මනීෂා අක්කා තනිවමද ප්‍රභාශි සහ මා එක් කුඩයක්ද ඉහලා ගත්හ. මදක් කුදුවී බෑගය එක් කරකට ගෙන ඇගේ උරහිසේ යන්තම් ගෑවෙමින් ගිය මට සුළඟේ මුසු වූ ඇගේ පිච්ච මල් සෙන්ට් සුවඳ අවට පිච්ච මල් යායක් මවාපෑවේය. සුළඟේ ළෙලදුන් ඇගේ කොණ්ඩය විටින් විට මගේ මුහුණේ දැවටෙන්නට විය. විටින් විට කොණ්ඩය කන පිටුපසට තල්ලු කල ඇය නෙතඟින් මඳ සිනහවක් පෑවාය. “මේ ඔයා කුඩේ අල්ල ගන්න. ඔයා තෙමෙනවා නේ නැත්තන්” “නෑ කමක් නෑ. මන් කුඩේ අල්ල ගත්තොත් ඔයා තෙමෙයි නේ.” “නෑ ඉතින් ඔයාගේ එක පැත්තක් හොඳටම තෙමිල නේ” “ආ… ඒක ගානක් නෑ. ඔහොම්ම තව ටිකක් ඉස්සරහට කඩයක් හරි හම්බුනොත් පොඩ්ඩක් ඉඳල යන්” ඉදිරියේ වූ කුඩා කඩයක නතර වූ අපි කුඩ බිමින් තබා මුහුණේ සහ අත්වල දැවටුණු වතුර පිස දැමුවෙමු. කඩයේ ටකරන් වහලය මතට තාලයක් නොමැතිව වැටුණු විශාල වැහි බිංදු ඉතා ඝෝෂාකාරී විය. කඳු මුදුන්වල සිට ගලා හැලෙන කුඩා දිය පහරවල රිදී පැහැය පර දෙපසින් ගලනා දිය පහරට හසුවූ සැණින් මඩ පාටක් ගනියි. මඳ වේලාවකට පසු වර්ෂාව මඳක් පහව යත්ම අපි නැවතත් ගමන් ඇරඹුවෙමු. “මේ අරූට ආයෙ කෝල් එකක් අරං කියහන්කෝ, අපි නිල්ලඹ ඉන්නේ වරෙන් කියල.” (වවුලා) “හරි මං කෝල් කරන්නන්. හලෝ එළුවා අයිය ඔයා කොහෙද ඉන්නේ? අපි මේ නිල්ලඹට පයින්ම ඇවිත් ඉන්නේ.” “අඩේ එහෙමද බන්. වාහනේ පෙට්‍රල් නෑ බන් මං මේ පෙට්‍රල් ටිකක් ගහගන්න කියල ආවේ පට්ට පෝළිම බන්. මන් එන්න බලන්නන් උඹලත් වාහනේකවත් එල්ලිලා එන්න බලපන් බන්” “හා හා පුළුවන් නං එන්න බලපන් අපි මොනාහරි කරන්න බලන්නංකෝ.” “හරි බන් බලමුකෝ.” “ඇයි අරූට එන්න බැරිලුද” (පැණ්ඩ) “ඌ තෙල් පෝලිමේ ලු. මොකද දැන් අපි කරන්නේ?” “ඒක තමා මන් කලිනුත් කිවේ, ඔය එන ලොරියක හරි එල්ලිලා යමන්” “අපි නං ලොරියක හරි එල්ලිලා ගියා කියමුකෝ. මේ දෙන්නට මොකද කරන්නේ?” (වවුලා) “අපිත් ඉතින් දැන් ලොරියෙ තමා වෙන මොනවා කරන්නන්ද? හවස ක්ර්ෆිව්ත් දානවලුනේ.” (හාවි) “යමුකෝ එහෙනං, දැන් වෙන කරන්න දේකුත් නෑ නේ.” වාහන තරමක් අඩු වුවත් විටින් විට ප්‍රධාන මාර්ගයේ ලොරියක් හෝ වෑන් රථයක් දැක ගත හැකිවිය. අත දමා වාහනයක් නවතා ගැනීමට උත්සහ කළත්, බොහෝදෙනා අප නොදැක්කා සේ වේගයෙන් ඉදිරියට ගියහ. විටින් විට කෙනෙක් අත වනා ගියත්, කිසිවෙක් වාහනය නැවත්වුයේ නැත. පැයකට පමණ පසු පැමිණි කොළ පැහැති ලොරි රථයක් නවතා අප නංවා ගත්තේය. ලොරියේ ඉදිරිපස රියදුරු සමඟ තිස් හැවිරිදි වියේ පමණ වූ ගැහැණු කෙනෙක් සිටියාය. ඇය මනීෂා අක්කාව සහ ප්‍රභාශිව ලොරියේ ඉදිරියෙන් හිඳුවා ගත්තාය. මනීෂා අක්කා ප්‍රභාශිගේ ඔඩොක්කුවේ වාඩි වූ අතර මා, නදුන් සහ දසුන් අයිය ලොරිය පිටුපසට ගොඩවුණෙමු. ලොරියේ පිටු පස ලොරි තට්ටුව මඩ වී තිබුණු බැවින් එහි හිඳ නොගත් අපි දනිස් නවා කකුල් මත හිඳ ලොරියට සවිකර තිබූ රාමුව අල්ලා ගත්තෙමු. ලොරිය වමට වක්වූ වංගුවක ගමන් කරනවිට ලොරියේ රාමුවට බර දී සිටිය හැකි වුවත්, ලොරිය දකුණට හරවන විට ශරීරයේ සම්පුර්ණ බරම දෙපාවලට දැනේ. මඳ වෙලාවකින් දෙපා හිරිවටෙමින් තිබු බැවින් සිටගෙන ගමන් කළද, කුදුවී සිටිය යුතු බැවින් කොන්දට ශරීරයේ බර දැනෙන්නට විය. මෙලෙස මාරුවෙන් මාරුවට හිඳගනිමින් සහ හිටගනිමින් අපි ගමන් කළෙමු. ලොරියේ පිටුපස අපත් සමඟ පනස් හැවිරිදි වියේ පමණ පසුවූ පිරිමි කෙනෙක් සිටියේය. ඔහුත් සමඟ මදක් කථා කරන විට ලොරියේ ඉදිරියේ සිටියේ කැළණිය විශ්ව විද්‍යාලයේ කථිකාචර්යවරියක් බව අපට දැනගන්නට ලැබුණි. ඔහුත් සමඟ තරමක දේශපාලන සංවාදයක ද යෙදුණ අපි විනාඩි හතලිහක පමණ ගමනකින් පසු නැවත සරසවියට පැමිණියෙමු. ලොරියෙන් බැසගත් පසු දසුන් අයියා කථිකාචාර්යවරියටත් මා ලොරියේ රියදුරාටත් ස්තූති කර, ඉක්මන් ගමනින් නේවාසිකාගාරය වෙත පියනැඟුවෙමු. අප නේවාසිකාගාරය වෙත පැමිණෙන විට හයහමාර පමණ වූ අතර, ඒ වනවිටත් විශ්වවිද්‍යාලය වටලා සිටි පොලිසිය සහ සිසුන් අතර තරමක කලබලයක් ඇතිවී තිබුණි. මනීෂා අක්කා ගැහැණු ළමුන්ගේ නේවාසිකාගාරය වෙත ගිය අතර ඉතිරිවූ අපි සිව් දෙනා විශ්වවිද්‍යාලය තුළට ගියෙමු. ප්‍රභාශිගේ නිවස පිහිටා තිබුනේ සරසවියේ පිටුපස වූ පාරේ කිලෝමීටරයක් පමණ ගමන් කළ විටය. “මේ ඔය දෙන්න මොකද කරන්නේ දැන්. උඹට නං හොස්ටල් එකේ ඉන්න පුළුවන්. නංගි මොකද කරන්නේ” (වවුලා) “ටික දුරයි නේ මට ඔහොම්ම ගෙදර යන්න බැරිවෙයිද?” “පොලිසිය කේස් එකක් දායිද දන්නේ නෑ. කැම්පස් ටීෂර්ට් එකකුත් නේ ඇඳන් ඉන්නේ” (පැණ්ඩා) “අනේ ගෙවල් ළඟ කියල ෂේප් වෙන්න බැරිවෙයිද?” “නෑ මේ මාත් ගෙදර යන්නං කියල බැලුවේ. එහෙමනං අපි දෙන්නා හිමීට රේල් පාර දිගේ යන් ලොකු අවුලක් යන් නැතිවෙයි” “උඹට නං ඉන්නත් පුළුවන්. උඹ යනවනම් කමක් නෑ මෙයත් තනියම නේ නැත්තම්” (වවුලා) “ඔව් අපි දෙන්නා හෙමීට යන්නම්” “එහෙනං මල්ලි පරිස්සමින් පලයන්” “පරිස්සමින් පලයන් මචන්” (පැණ්ඩ) “හරි එහෙනන්. උඹලත් පරිස්සමින් ඉඳපන්” වෙනදාට පාරට බසින පාර භාවිතා නොකළ අපි කැලය මැදින් වූ කුඩා අඩිපාරෙන් රේල් පාරට ගොඩවූයෙමු. හන්තාන කඳු අතරින් ඉර බසින් තිබූ බැවින් බටහිර අහස රෝස පැහැයට හුරු දම් පැහැයක් ගෙන තිබුණි. ආකාසය හරහා ගලයන කළු පැහැ ගංගාවක් මෙන් වවුලන් රංචුවක් පියාඹති. අහස වෙළා සිටි වැහිවලා විසිරගොස් තිබු අතර තැනින් තැන අහසේ ඇතිරූ තරු කැට මතුවෙමින් තිබුණි. ඇඳිරි නීතිය දැමු බැවින් අවට තිබූ නිහඬ බව නොබිදීමට මෙන් අපි දෙදෙනා රහසින් කථා කරමින්, රේල් පාරේ කොන්ක්‍රීට් බාර් මතින් පනිමින් ගමන් කළෙමු. විටින් විට අප දෙදෙනාගේ අතැඟිලි එකට ස්පර්ශ වන විට ඈ පාරේ ඇති යමකට ඇඟිල්ල දික් කර මොනයම් හෝ කථාවක් පටන් ගනියි. විටෙක අපි දෙදෙනා නිහඬව අවට රැහැයියන්, වවුලන් සහ බක්මුණන්ගේ හඬට සවන් දී උන්ණෙමු. විටෙක මමත් ඈත් කිසිවක් නොකියා එකින් එකා දෙස බලා සිනාසුණෝය. විනාඩි පහළොවකට පමණ පසු, අප රේල් පාරෙන් ඇගේ නිවස වෙත යන අඩිපාරට පිවිසුණෙමු. “එහෙනං මන් යන්නම්. ඔයත් තව රෑ වෙන්න කලින් පරිස්සමට යන්න.” “මාත් ගේ ලඟට යනකන් එන්නම්. මෙච්චර ආපු එකේ” “අනේ නෑ ඕනේ නෑ මෙතන ඉඳන් ටික දුරයි නේ. මං යන්නන්. ඔයා තව වෙලා යන්න කලින් යන්න” “හරි එහෙනම් සඳුදට හම්බවෙමු.” ඇයට අත වනා නැවත රේල් පාර මතට නැගි මම ගමන තරමක් ඉක්මන් කළෙමි. ‘අපේ ගෙවල් පැත්තේ නං පොලිසිය නැතුව ඇති ලොකු කේස් එකක් නැතිවෙයි. හිටියත් පොඩ්ඩක් ශේප් වෙන්න පුළුවන් වෙයි’. විනාඩි පහක පමණ ගමනකින් පසු රේල්පාරෙන් කුඩා අඩිපාරකට පිවිසුණු මම ඒ දිගේ ප්‍රධාන මාර්ගයට පිවිසුණෙමි. “ඕයි කොහෙද ඔය යන්නේ? මෙහෙ වරෙන්. කර්ෆිව් දාලා කියල දන් නැද්ද?” දෙපා එතනම ගල් ගැසුණා සේ දැනුණ ද, නොදැනුවත්ව ම මම දුඹුරු නිළ ඇදුමෙන් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා දෙසට හැරුණි.

NEWS

විභව කෙටිකතා | අරුණෝදය

  • Date: 2022-06-16