Blog



"තේ කෝප්පය" ලාංකිකයන්ගේ හදවතේ රැඳුණු සුන්දරම ආගන්තුක සත්කාරයේ සංකේතය යි. තේ කෝප්පයක රස වැඩියෙන්ම දැනෙන්නේ උණුසුම්ව රස විඳිද්දී වුවත්, එය නිවුණු පසුවත් එහි රසය අඩුවක් නොවන බවට, ඒ සහෘදත්වයේ බැඳීමේ පළුද්දක් නොවන බවට The Tea is Cold කෙටි චිත්‍රපටය කදිම නිදසුනකි. "යුද්ධයෙන් පසු එහි පරිහානිය සෙවිය යුතු නැත, යුද්ධය කියන්නෙම පරිහානියක්" යන ප්‍රකාශයෙන් ම එහි ඇති වන සමාජ, ආර්ථික, මානසික මෙන්ම සංස්කෘතික පරිහානිය මනාව පිළිඹිබු වේ. මිනිසුන්ට තමා හීන මැවූ ලෝකය...ඒ ජීවිතය කෙතරම් අහිමි වූවාදැයි මෙම කෙටි චිත්‍රපටයේ සිටින සමාජ විද්‍යා පරීක්ෂකයා කරන, මානව සම්පත් හඹා යෑමේදී මනාව පැහැදිලි වේ. එලෙසම මුල්ම දර්ශනය ආරම්භ වන්නේ මෙහි සිටින පර්යේක්ෂකයා ඉතා විනෝදකාමීව යාපනය නගරයට දුම්රියෙන් පැමිණෙන දර්ශනයක් විදහා පාමිණි. නමුත් ඔහු යාපනය නගරය තුළ තම සමාජ විද්‍යාත්මක පරීක්ෂණය නිම කර නික්මෙන අවස්ථවේ භාව ප්‍රකාශනයෙන් පෙනී යන්නේ යුද්ධයේ පසු විපරමින් මිනිස් සිත් තුල ඇති කළ කැළැල්. .. ජන ජීවිතයේ ඒ පරිහානිය කෙතරම් සිත් සසල කරනවා ද යන්නයි. එලෙසම " දැන් යාපනය නගරය කලින් වගේම නේදැයි" ඔහු දමිළ තරුණයාගෙන් විමසූ විට "ඒ පිටින් විතරයි...ඇතුළත තවමත් ප්‍රශ්න එහෙම්මමයි" යනුවෙන් පැවසීමෙන් පාලකයන් විසින්ම ගැටළු ඇති කර, ඔවුන්ගේ පුද්ගලික සුඛ විහරණය සලසා ගෙන, අවසානයේ නැවතත් රටට, ලෝකයට පෙනෙන ලෙස භෞතික පිළිසකර කිරීම් පමණක් සිදුකරන බව මනාව පැහැදිලි කෙරේ...එලෙසම එහි අන්තර්ගතයෙන් පැහැදිලි වන්නේ සෑම යුදමය සිතුවිල්ලක්ම හුදෙක් පාලකයන්ගේ මනසේ ගොඩනැගෙන්නක් මිස, පාලිත, පීඩිත ජනතාවගේ අවශ්‍යතාවයක් නොවන බවයි. කෙසේවෙතත් අවසානයේ පීඩිත ජනතාව සෑම අතකින්ම අගතියට පත්වන බවත්, පාලකයන් සුර සැප විඳිනා බවත් ව්‍යංගයෙන් වුව ප්‍රකාශ වේ. එලෙසම එකම රටක වුව ද භාෂා දැනුම නොමැති වීම නිසා සන්නිවේදනයේදී මුහුණ පෑමට වන ගැටළු, ජාතියක් වශයෙන් අප කෙතරම් පහත් මට්ටමක සන්නිවේදනයෙන් සිටී ද යන වගත්, සුදුස්සාගෙන් ඵල-ප්‍රයෝජන නොගන්නා බවත් මනාව පැහැදිලි කෙරේ. එලෙසම සිංහල, දමිළ ආදී ලෙස ජාතිවාදීව නොබෙදී සහෘදත්වයෙන් අත්වැල් බැඳගැනීම තුළ රටක් වශයෙන් අපට කෙතරම් ඉදිරියට යා හැකිද යන්නත් යම්තාක් දුරකට අවබෝධයක් ලබා දේ. එලෙසම යුද්ධය මිනිස්සුන්ගේ මානසික හා ආකල්පමය යහපැවැත්ම පරිහානියට පත් කර අනාගතයේ දැවැන්ත චරිත බිහි වීමට පැවති අවස්ථා අහිමි කළ බව උක්ත කෙටි චිත්‍රපටයේ වාහන ධාවනයට අධික ලෙස ආශා කළ දරුවා පැවිදි කිරීමට ඔහුගේ මව ගන්නා තීරණයෙන් සහ චිත්‍රපට නළුවකු වීමට ආශා කළ දමිළ තරුණයෙකු ආබාධිතව කුඩා ව්‍යාපාරිකයෙකු බවට පත් කිරීම තුළින් මනාව පිළිඹිබු වේ. රෙදි මසන කාන්තාව, ව්‍යාපාර රැසක් හිමිව තිබී අද නිවසට වී සුළු රැකියාවකින් යැපෙමින් සිටින කතාවෙන් පැහැදිලි වන්නේ යුද්ධය ආර්ථික හා මූල්‍යමය වශයෙන් දමිළ ජනතාවට කෙතරම් නම් දෑ අහිමි කළාද යන්න නොවේද? එලෙසම පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ ප්‍රකාශවලින් පිළිබිඹු වන්නේ සාමාජීය වශයෙනුත් සෞඛ්‍ය අධ්‍යාපනයේ සහ දැනුවත්භාවයේත් සිදුව ඇති පරිහානිය නොවේද? එලෙසම යාපනයේ පුස්තකාලය යනු දැනුම් ගබඩාව යි. එලෙසම හින්දු සංස්කෘතිය හා බැදී තිබූ ඉතිහාසය රැගත් දැනුම් සාගරය යි. යුද්ධයෙන් මේ මහා පුස්‍තකාලය බිඳ දැමීමෙන් පෙනෙනුයේ පාලකයන් තම අභිමතාර්ථ ඉෂ්ඨ කර ගැනීමට ජාතියක ඉතිහාසය, අනන්‍යතාව මුලිනුපුටා, අකා-මකා දැමූ බවත්, යුද්ධය දමිළ ජනතාවගේ පාර්ශ්වයෙන් සාධරණීකරණය කිරීමට තිබූ සියළු අවස්ථා අහිමි කළ බවත් නොවේද? පිළිගැනීමට කැමති වුවද, අකමැති වුවද, අතීතය පුරාවෘතයක් වී ඉතිහාසයටම එක්වී හමාරය. ඒ අතීතය පිළිගෙන ඔවුන්ගේ සංස්කෘතියටත් හිස නමා ආචාර කරනවා විනා, සටන්වැද වෙනස් කිරීමට යමක් ඉතිරි නැති බව මේ කෙටි චිත්‍රපටයෙන් මනාව පිළිබිඹු වේ. එලෙසම කාසියේ දෙපැත්ත මෙන්ම දාරයක් ද ඇති බව සිහි තබා යුද්ධය දෙසත් මානුෂීයව බැලිය යුතු බවට, තෙවන මානයකට අපව ගෙන යනවාට නිසැකය. එලෙසම තම ස්වාමියා අහිමි වූ බිරින්දෑවරු, පියවරු අහිමි දරුවන්, දරුවන් අහිමි මව්වරු, සදාකලිකවම ආබාධිත වූවන් හැර යුද්ධය මිනිසුන්ට අත්කර දුන්නක් හෝ හිමිකර දුන්නක් නොවේ. ඉතින් යුද්ධය ඇත්තටම ජයග්‍රහණයක් ද?? නැත්තන් සමස්ත රටක් ලද පරාජයක්ද? ජාතියක් වශයෙන් සන්නිවේදනයෙහිලා අප කෙතරම් දුර්වලද?? සිංහල, මුස්ලිම්, දමිළ, කතෝලික වශයෙන් අප බෙදා පාලනය කළ පාලකයන්ගේ යුගයට තිත තැබීමට මේ කාලය නොවේද? එලෙසම එහි අවසානයට පවුරු බැඳ වට කළ තාප්පයකින් බැඳි වතුර ළිඳ තුළ සිත් සේ ජලයේ පහස විඳින දමිළ, සිංහල මිතුරන් දෙපළ අපට කියන්නෙ මේ සමාජීය බැම්මෙන් එහා ලේකය කෙතරම් සුන්දර ද බව නොවේද? ඉතින් පමා වී හෝ දුන් තේ කෝප්පයෙත් රසයේ අඩුවක් නොවූවා සේ...පමාවී හෝ මේ පැනයන්ට පිළිතුරු සෙවීමට කාලය බැව් අපට පසක් කරමින්, දකුණේ සිංහල, උතුරේ දමිළ ලෙස නොබෙදී ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව නැගිටීමේ වැදගත්කම පසක් කර The Tea is cold මෙසේ නිමා වෙයි!

NEWS

විභව Unframed | Episode 64 | The Tea is Cold review

  • Date: 2022-06-17