Blog



(ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය උත්සවය 2020-2021 විවෘත අංශයේ(සිංහල මාධ්‍යය) කාව්‍ය රචනා තරඟ කාණ්ඩය සඳහා ඉදිරිපත් කළ නිර්මාණ අතරින් ප්‍රශස්තම නිර්මාණය ලෙස පසිඳු සුරංජිත් කවියා විසින් ඉදිරිපත් කල "සීගිරි අප්සරාවි" නිර්මාණය ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.) කෝටියක් දුක් හංඟගෙන ඇයි තාම සීගිරි ගලේ අහනකොට ඇය මෙහෙම කිව්වා කලලයක් ඇති ඔය විලේ මගේ හිමිගේ ලෙයින් පැටියෙක් ඉපදෙද්දී මේ බඩේ මාව ඕනම හන්දා වෙන්නැති මිනිහා පිච්චුවා අර කැලේ සිංහයා ළඟ දණින් වැටුණා කඳුළු තිබ්බා මගේ ඇහේ ගමේ මල් හැමදාම පරවුණේ මාළිගේ අන්තඃපුරේ අපෙත් ඉස්සර හීන තිබුණා කුඹුක් හෙවණේ අතු පැලේ බැරිම තැනමයි ගලෙන් පැන්නේ ඉවසන්නේ කෝමද මලේ බෑ කියද්දිත් රූප ඇන්දා ගළවලා මගේ තන පටේ ලැජ්ජ නහරේ කැපුවා ලේ ඇති නගින තැන පියගැට පෙලේ තාම ඇස්ගෙඩි ඇරන් එන උන් ඉන්නවා ලෝකේ වටේ එකෙක් වත් දුක දැක්කේ නෑනේ උන් හැමෝමත් ඒ කුලේ මනමේ කුමරිව පට්ට ගැහුවට ඉතිහාසේ ජාතක පොතේ කුවේණිගේ දුක ලියපු පිරිමියෝ ඉන්නේ කියපං මොන බණේ හිතින් වැලපෙන අප්සරා මං රන් මාල තිබුණත් ගෙලේ වැඩක් මොකටද හෙලුව මකපං බෝම පින් බුදු මල්ලියේ.... ගායනය: විරාජ් භාතිය පද රචනය: පසිඳු සුරංජිත් තනු නිර්මාණය: විරාජ් භාතිය සංගීතය: රවීන්ද්‍ර ශ්‍රීනාත් පසිඳු සුරංජිත්ගේ පද රචනයෙන් , විරාජ් භාතිය සහෝදරයාගේ මියුරු හඬින් රසගැන්වුණු අප්සරා හැඬුම ගැන පොඩි සටහනක් තියන්න හිතුවා .. #අප්සරා හැඬුම# මේ වචන දෙක එකපාරම දැක්කෙ මම අහම්බෙන් .මම පොඩ්ඩක් ඒ දිහා බලාගෙන හිටියෙ මේ ගැන මම මොකද්ද හිතන්න ඕන කියන ප්‍රශ්නයත් සමග.මේ වචන දෙක මුලින්ම දැක්කම මම සම්පූර්ණ කවිය කියවන්න කලින්ම හිතුවෙ මේක සීගිරියේ කතාවකට එහා ගිය සැඟවිලා තියෙන කතාවක් එක්ක ලියවුණු ගීතයක් වෙන්න ඕන කියලා .මොකද අපි ඕන තරම් සීගිරියේ ලලනාව නැත්තම් අප්සරාව ගැන විත්ති අහලා තියෙනවා .ඒ ආශ්‍රිතව ලියවෙන කවි බොහොමයක් දැකලා තියෙනවා නමුත් අප්සරා හැඬුම තුළ මම දැකපු විශේෂත්වයක් තියෙනවා . ඒ තමයි , කාන්තාව කියන චරිතය සීමාව ඉක්මවා අසරණ වුනු සමහර කතාංගයන් තුළ , ඒ අසරණ වුනු කාන්තාවටත් සාධාරණයක් ඉටු වෙන අයුරින් මේ පද රචනා වීම. "කෝටියක් දුක හංගගෙන ඇයි තාම සීගිරි ගලේ..." අපි සමහර අවස්ථාවලදී අනුන් වෙනුවෙන් ජීවිතයේ බොහෝ කැපකිරීම් කරන්න වෙන්නෙ අපගේ හෘද සාක්ෂියටත් එපිටින් යමින්.මන්ද බලය,ධනය ඉදිරියේ වුනත් අපට කරන්න දෙයක් නොහැකි වුනු කල විකල්ප සෙවීම හෝ අසරණව කෝටියක් දුක දරාගෙන සිතුවමක් ලෙස නිහඬව සිටීම විනා කළ හැකි දෙයක් නොමැති තරම් ... "අහනකොට ඇය මෙහෙම කිවුවා කලලයක් ඇති ඔය විලේ..." ඒ වචන ... අපි අද ලස්සනයි කියලා නරඹන මේ ලලනාවන්ගෙ සැබෑ ජීවිතය එදා මොන වගේ වෙන්න ඇති ද කියන ප්‍රශ්නයක් අපගේ සිත් වලට ඇතුල් වෙනවා.සමහර විට මේ වචන වල ගැබ් වෙලා තිබුනු හිතේ ඇඳි කතාව ඇත්ත වෙන්න පුළුවන් .තම ගැබ විනාශ කර විලට විසි කර දැමූ දුක හංගගෙන ඇය ඉන්නවා වෙන්න පුළුවන් . "මගෙ හිමිගේ ලෙයින් පැටියෙක් ඉපදෙද්දි මේ බඩේ මාව ඕනම හන්ද වෙන්නැතී මිනිහා පිච්චුවා අර කැලේ..." අන්තඃපුරයක සිටින බිසෝවරුන් මොන තරම් වේදනා විඳින්න ඇති ද පෙර කාලයේ.තමන්ගේ දරුවන් , සැමියා පවා අහිමි කරන් ඔවුන් රජවරුන්ගේ හිත් සනසන රූකඩ ලෙසින් ඉන්න ඇති .මේ අප්සරාවට පණ දෙන ඇයගෙ කුසින් තවම උණුහුමවත් ඉක්ම නොවුණු ලේ සුවදැති කලලයක් වැව් දියේ බිලිවෙද්දි ඇයගේ ලේ කැටියේ හිමිකාරයා ඇයගෙ පණවන් සැමියා අමු අමුවේ ම පුළුස්සා දමන්න තරම් රජතුමා කෲර වෙලා . "සිංහයා ළඟ දණින් වැටුනා කඳුළු තිබ්බා මගේ ඇහේ..." ඇගේ නූපන් කිරිකැටියාගේ මරණය සේම ඇයගේ පණවන් සැමියාගේ ඝාතනය ද දරනු නොහැකිව ඇය වැළපෙන්න ඇති .නමුත් ඇගේ ඒ විලාපය අසන්න කිසිවෙකුත් නොසිටින්නට ඇති .ප්‍රාණයක් නැතත් ගිරියේ සිංහයා පමණක් ඇයගේ තනියට ඉන්න ඇති .ඒ නිසා ඇය ඇගේ දුක දණින් වැටෙමින් ඒ ගලක නෙලූ සිංහයාට කියන්න ඇති . "ගමේ මල් හැමදාම පරවුනේ මාලිගේ අන්තඃපුරේ අපෙත් ඉස්සර හීන තිබුණා ඉළුක් හෙවණේ අතු පැලේ" අසරණ ජීවිත , බලාධිපත්‍යයට යටවීම අද විතරක් නෙවෙයි එදා රජ කාලයේ ඉඳන් ම මෙරට තුළ තිබුණු බව අපට අමුතුවෙන් කීමට අවශ්‍ය නැහැ .බොහොම උදාහරණ එදා ගැහැණුන්ගේ හිත් යට අළු මෙන් හැංගිච්ච බොහෝ මතකයන් තුළ පරිස්සම් වෙලා තියෙනවා.ඇහැට කණට පේන වැඩිවියට පත් වුනු ගෑණු දරුවෙක් මහ පැලැන්තියේ දෑස් වලින් වහං කරගන්න එදා අම්මලා බොහොම උත්සාහ කළා.ඒ මල් කොහොමත් අයිති උනේ රජතුමාට.අවසානයේ ඒ මල් වලට සිදු වුනේ අන්තඃපුරයක පරවෙලා යන්න .ඒත් බොහොම පරිස්සම් කරපු මලක් වුණු මේ ලලනාවට වාසනාවක් තිබුණා ලස්සන පවුල් ජීවිතයකට උරුමකම් කියන්න.නිදහස්ව තනා ගත් ඉළුක් හෙවණක තිබූ පුංචි උනත් ආදරය පිරුණු නිවසක.ඒත් ඒ හීන උන් තැනම විනාශ වෙන්න වැඩි කාලයක් ගියේ නෑ ... "බෑ කියද්දිත් රූප ඇන්දා ගලවලා මගේ තන පටේ ලැජ්ජා නහරය කැපුවා ලේ ඇති නගින තැන පියගැට පෙළේ" ඇත්තටම මේ වචන පේළිය එක්ක දෑසට කඳුලක් එක් වුනේ මමත් දියණියක , යුවතියක විදියට පුරුෂයන් ඉදිරියේ අසරණ වෙන්න වුනා නම් එය මොන තරම් දුකක් ,වේදනාත්මක අත්දැකීමක් වෙන්න පුළුවන් වෙයිද කියලා මතක් වෙනකොටයි.අනේ ඒ ලලනාව කොයි තරම් හැඬුම් මධ්‍යයේ මේ අවස්ථාවේ අසරණ වෙන්න ඇති ද.තමන්ගෙ හිරි ඔතප් බිඳ හිත හදාගත්තේ පණ තියෙන හුස්ම ගැහෙන මිනියකට සමාන වෙලා. අදටත් කාන්තාව කියන චරිතය ඉතිහාසය තුළින් යම්කිසි මට්ටමින් පහතට ඇද දමා ඇති තත්ත්වයක් පෙනෙන්නට තියෙනවා .ඇත්තටම මේ පිළිබඳව ගොඩක් මති මතාන්තර හුවා දැක්වීමට උත්සාහ කළත් විවිධ මාධ්‍යයන් ඔස්සේ හිත් වලට කාවද්දපු ඒ අදහස් වලින් බැහැර වීමට උත්සාහ කරනවා අඩුයි .නමුත් මේ ගීතය තුළ මේ තාක් පහත් මට්ටමින් හංවඩු ගැහුණු කාන්තා චරිත පිළිබඳව උපේක්ෂාවෙන් හුවා දැක්වීමට උත්සාහ කිරීම සම්බන්ධව කෘතඥතාව පළ කළ යුතුම යි . කාන්තාවකට මොන තරම් රන් මුතු දියමන්ති ලබා දුන්නත් පලක් නෑ ඇය සතු වටිනාම දෙය ඇයගේ ගෞරවය නැති වීමෙන් අනතුරුව .මේ ලලනාවට හැමදේම ලැබුණා ඇය හිතින් මියැදිලා හිටියත්.නමුදු ඇයට මේ හැමදේම ලැබුනෙ ඇයගෙ වටිනාම දෙය වුණු පවුල සේම ගෞරවය ද අහිමි වීමෙන් අනතුරුව යි.ගැහැණිය කිසි විටෙකත් තමන්ගෙ ආත්ම ගෞරවය විනා ධනය ඉදිරියේ තෘප්තිමත් නොවන බව යි අවසානයේ ඈ හුවා දක්වන්නේ ... "වැඩක් මොකටද හෙලුව මකපන් බෝම පින් බුදු මල්ලියේ..." ඇත්ත.... අද ලෝ පුරා ප්‍රසිද්ධියට පත් වෙලා ඇති මේ සීගිරියේ බිතු සිතුවම් තුළ මේ තරම් කාලයක් සැඟවිලා තිබුණු කඳුලු විරාජ් භාතිය සහෝදරයාගේ ඒ හඬ අසන විට හදවතට අපූරුවට දැනුණා. පුද්ගල සන්තානගත ආත්මය ස්පර්ශ කරන්නට සමත් ඔහු සතු ගැඹුරු හඬ පෞරුෂය අප්සරාගේ කඳුලු කතාවට සාධාරණයක් ඉටු කරලීමෙහිලා සමර්ථ වූ බව නම් කිවමනා ය.ඉතින් සහෘද ඔබ සැමට කෙරෙන ආදරනීය ඇරයුම ගීතය රසවිඳින්නට යි....ස්තූතියි

NEWS

හඬ මත පැටළුණු අකුරු | 85 වන දිගහැරුම

  • Date: 2022-06-18