Blog



නුඹට පානා හනික කෝපේ නමට පමණා කරුම දීගේ පිපුණු තිසරුන් මඟදි දුටුවැයි පැළුණු ඒ උකුල් නොදැක කොහොමැයි පිරිමි ඔහොමයි මුගුර නරකයි උකස් දුන් හෘදේ නුඹටා ඇහැට ගැටෙනා තැනක මානේ ගැහැණු අගුණා මෙ මට කීවේ ඇති හොඳටම බේගලේ ලොකු කෑදරේ නොදන්නවා නෙවේ කෝ ඔය බොරු ආදරේ රෑ කාමරේ ඉහ උඩ හෙලු මාලිගේ අන්ත:පුරේ උඩැක්කියක් නොවේ මා බිසවකි කඳුකරේ ඒ රජ පෙලේ ගැහැණු රවටා බෝමා කැටුව ආ දා මා පණට සේමා නුඹට ප්‍රේමේ පණට පණ හා සේමා ගැහැණු බෝමා කනට කර මා මටලු ප්‍රේමේ ඇති දැන් මගේ දේසනේ ගත බීසනේ ගිනිගන්නවා වගේ බෝ අවුලයි පෑ සෙනේ හද ආසනේ අව්වැහි වැටෙනා ලෙසේ ධර්මේ ලොවේ පිරිමින් යටයි කොහේ කාටත් ඇති කෑදරේ රති සාගරේ මගේ පෙරදා පවටා නුඹේ පිනටා දෙගුරු රවටා එන්ට ආවේ දෙගුරු පෙරදා රවටා දුගී පැලටා එන්ට කියලා ඇයිද කීවේ නුඹට පානා හනික කෝපේ පද රචනය :- ප්‍රභාත් ඒශ් ගායනය :- හශානි වාසනා සංගීතය :- චරිත අත්තලගේ කංකාරිය පෞරාණික සිංහල සංස්කෘතිය හා බැ‍ඳුණු වචනයක්. කොහොඹා කංකාරිය, ගරා යක් කංකාරිය වගේ විවිධ කංකාරි ගැන අසන්නට ලැබෙනවා. කංකාරිය කියන්නෙ ඇත්තෙන්ම පෞරාණික ග්‍රාමීය විශ්වාස වලට අනුව මනුෂ්‍ය ශරීරයකට ආවේශ වුණු යක්ෂයෙක් එළවන්නට යොදාගත් ශාන්ති කර්මයක්. සිංහල අභිචාර විධියක්. මේ ගීතයෙන් කියවෙන්නෙත් ඒ වගේ යක්ෂයෙක් එළවන්නට තැත් කිරීමක් ගැනයි. මේ ගීතයේ සංගීතය ගත්තොත් ලතින් ඌරුවේ සංගීතයක් තමයි යොදාගෙන තියෙන්නෙ. "නුඹට පානා හනික කෝපේ නමට පමණා කරුම දීගේ පිපුණු තිසරුන් මඟදි දුටුවැයි පැළුණු ඒ උකුල් නොදැක කොහොමැයි පිරිමි ඔහොමයි මුගුර නරකයි උකස් දුන් හෘදේ නුඹටා ඇහැට ගැටෙනා තැනක මානේ ගැහැණු අගුණා මෙ මට කීවේ" බොහොම සුලභ ඛේදවාචකයක්. "නුඹට පානා හනික කෝපේ, නමට පමණා කරුම දීගේ" මේ කතාව කියන්නෙ හිතේ ඇතිවූ ක්ෂණික කෝපයකින්, ඇයි කෝපය ඇතිවෙලා තියෙන්නෙ.. ඇයට සිදුවූ අසාධාරණයක් හින්දයි. ස්වාමිපුරුශයා ගැහැණු සොඬෙක්. මේ විවාහය නමට පමණයි. හේතුව පුරුෂයාට සෑමතැනකම වෙනත් ස්ත්‍රීන් සිටීම. එනිසාම ඇයට එය "කරුම දීගයක්." "පිපුණු තිසරුන් මඟදි දුටුවැයි පැළුණු ඒ උකුල් නොදැක කොහොමැයි" යන එන මඟ තොටේදී හමුවන ගැහැණු සිරුරක පූර්ණ පයෝධර, කෝමල රේඛා මනාව ඉස්මතු වන බෙදුණු පුළුල් උකුලක් දුටු පමණින් ඇගේ ස්වාමිපුරුශයා එහි ඇළෙනවා. නමුත් දුටු දුටු තැනදී ඔහු ඇයට කියන්නෙ ගැහැණුන්ගෙ අගුණම යි. ඇයි? බොරුවට මවා පෙන්වීම... ඔහු ගැහැණු සොඬෙක් විතරක් නොවෙයි, වංචනිකයෙක්. නමුත් ඇය ඇගේ හදවත ඔහුට උකස් කරලා. එය ආපසු ගැනීමට ඇයට සිතුනත් දැන් පමා වැඩියි. "ඇති හොඳටම බේගලේ ලොකු කෑදරේ නොදන්නවා නෙවේ කෝ ඔය බොරු ආදරේ රෑ කාමරේ ඉහ උඩ හෙලු මාලිගේ අන්තඃප්පුරේ උඩැක්කියක් නොවේ මා බිසවකි කඳුකරේ ඒ රජ පෙලේ ගැහැණු රවටා බෝමා කැටුව ආ දා මා පණට සේමා නුඹට ප්‍රේමේ පණට පණ හා සේමා ගැහැණු බෝමා කනට කර මා මටලු ප්‍රේමේ" දැන් ඇති ඔය බොරුව හොඳටම. ඇය මෙලෙස කියන්නේ ඉවසාගන්නටම බැරි වූ තැනයි. ගැහැණුන්ට ඇති ඔහුගේ මහත් වූ කෑදරකම ඇය නොදන්නවා නොවේ. සියල්ල දැනගෙන ඉවසාගෙන සිටින ඇයගේ දුක් ගින්දර එකවර පුපුරා යෑමක්. රාත්‍රියේදී ඇයගේ සයනයට එන ස්වාමි පුරුෂයා ඇයට පවසන්නේ ඇයට ආදරේ බවයි. නමුත් එය බොරු ආදරයක්. ඉහ උඩ අලංකාර මාලිගයකුත් මවා දෙමින් ආලවන්තකම් පෑවත් එම මාලිගය පැරණි රජමාලිගයකින් වෙනස් නොවෙමින් අන්තඃපුරයකුත් තියෙන එකක් බව දැනගන්නා විට පමා වැඩියි. "උඩැක්කියක් නොවේ මා බිසවකි කඳුකරේ ඒ රජ පෙළේ" නමුත් ඇය පවසන්නේ, මම තවත් එක් අන්තඃපුර කාන්තාවක් නොවේ. මමයි බිසව. මමයි නීත්‍යානුකූල බිරිඳ. වංචනික සැමියෙකුට වුව පතිව්‍රතාව රකිමින් ජීවත් වෙන ඇය ඇත්තෙන්ම උඩරට රජ පෙළපතක බිසවක්.කුලවන්තියක්. කුලවන්තකම මැනිය යුත්තේ ඇත්තටම චරිතයෙන්.උපතින් ලැබුණු කුලයෙන් නෙවෙයි...බොහොමයක් ගැහැණු රවටා ඇයව කැටුව ආදා පටන් පණට සේ ඇගේ ප්‍රේමය ඔහුට පමණයි. නමුත් ඔහුට, "පණට පණ හා සේමා - ගැහැණු බෝමා." "කනට කර මා මටලු ප්‍රේමේ...." ඇය කියන්නේ උපහාසය මුසු වූ කෝපයකින්. ඇයගේ කනට කර ඔහු රහසේ කියන්නේ ප්‍රේමය ඈට බවයි. ඇත්ත ඇති සැටියෙන් සියල්ලම දන්නා ඈට මෙය කොපමණ හාස්‍යජනක, කෝපය අවුලවන කරුණක් වන්නට ඇතිද? "ඇති දැන් මගේ දේසනේ ගත බීසනේ ගිනිගන්නවා වගේ බෝ අවුලයි පෑ සෙනේ හද ආසනේ අව්වැහි වැටෙනා ලෙසේ ධර්මේ ලොවේ පිරිමින් යටයි කොහේ කාටත් ඇති කෑදරේ රති සාගරේ මගේ පෙරදා පවටා නුඹේ පිනටා දෙගුරු රවටා එන්ට ආවේ දෙගුරු පෙරදා රවටා දුගී පැලටා එන්ට කියලා ඇයිද කීවේ නුඹට පානා හනික කෝපේ" "ඇති දැන් මගෙ දේසනේ... "කෝපයෙන් කෙරුණු මගේ දේශනය දැන් ඇති. කොයිතරම් කීවත් එය පලක් නැති බව ඇය දන්නවා..කෝපයෙන් ඇගේ සිත ගිනිගන්නවා වගේ. කෝපයට කරුණ නම් ඇය පූජනීයව පිදූ ආදරය සෙනෙහස, පූජාසනය මත ම අවුලවා දැමීම යි. "අව්වැහි වැටෙනා ලෙසේ ධර්මේ ලොවේ පිරිමින් යටයි කොහේ" මේක තමයි ලෝක ධර්මය. කොහේ හිටියත් පිරිමින් මෙයට යටයි කියලයි ඇය කියන්නේ... ස්වාමි පුරුෂයාට එල්ල වුණු ඇගේ කෝපය සමස්ත පිරිමි සංහතිය කරාම පැතිරෙනවා... ඇය හිත හදාගන්නෙ '' පිරිමි ඔහොම තමා" කියල හිතලයි. "පිරිමි හැමෝම ඔහොම නම් මගේ ස්වාමි පුරුෂයා විතරක් එයින් වෙනස් වෙයිද??" දුක් වේදනා වින්ද ගැහැණු කවුරුත් තමන්ගෙ හිත හදාගන්න ගන්නා පොදු අවසාන නිගමනය ඔන්න ඕකයි. "මගේ පෙරදා පවටා නුඹේ පිනටා දෙගුරු රවටා එන්ට ආවේ දෙගුරු පෙරදා රවටා දුගී පැලටා එන්ට කියලා ඇයිද කීවේ" ඇගේ පෙරදා පවට,ඔහුගේ පිනට, ඇය දෙගුරුනුත් රවටා ආ ගමනක් මේක. මාපියන්ටත් අවනත නොවෙමින් ඇය ගත් තීරණය ගැන ඇය දැන් පසුතැවෙනවා. ''දුගී පැලට එන්ට කීවේ ඇයි?" කියලා ඇය අහනවා.. මෙතන දුගී කියන්නේ මිල මුදල් වල හිඟකමක් නෙවෙයි.. ආදරයයි හිඟ. ආදරය අතින් ගත්තම එය බොහොම දුගී පැල්පතක් බව ඇය වටහාගෙන අවසානයි. "කාටත් ඇති කෑදරේ රති සාගරේ..." රතිය හෙවත් කාමාශාව සාගරයක් වගේ... කෙනෙක්ව එහිම ගිල්වලා මරාදමන්නත් පුළුවන්. ගීතය අවසානයේ දී පැහැදිලි වෙනවා... මේ කංකාරිය කුමක් සඳහා ද කියලා.. රතිය නම් යක්ෂයා එළවන්නයි මේ කංකාරිය.. වෙනස්ම ගීතයක්. අර්ථවත් පද පෙළක්. ගායිකාවගේ ප්‍රතිභාපූර්ණ හඬත්, සංගීතයත්, ගීතයේ සරල නමුත් ප්‍රබල පද පෙළක වැළපෙන රාව තව තවත් ඉස්මතු කරනවා..

NEWS

හඬ මත පැටළුණු අකුරු | 86 වන දිගහැරුම

  • Date: 2022-06-20