Blog



මුලින් ම බිංකුණ්ඩො හදපු පුංචි ගෙවල් ඇහැට දැක්කෙ වැටි වැටි ඇවිදින පුංචි සන්දියෙ දි. ගමේ ගෙදර දර මඩුවෙ වැලි පොළොවෙ තියෙන බිංකුණ්ඩන්ගෙ පුංචි ගෙවල් වැලිවලින් නොවැහෙන්න පරිස්සමින් අඩිය තියන්න කිවවෙ අප්පච්චි.සමහර ගෙවල් ටිකක් ලොකුයි.සමහර ඒවා පුංචිම පුංචියි. ඒ ඇයි කියලා ඇහුවම අප්පච්චි කිව්වෙ පුංචි ඒවාවල ඉන්නෙ මම වගේ පුංචි බිංකුණ්ඩා පැටව් කියලා. තුනේ පන්තියෙ ඉන්නකොට අපේ ගෙදර බිත්තිය අයිනෙ ගොඩගහලා තිබුණු පුංචි වැලි ගොඩකට බිංකුණ්ඩො දෙන්නෙක් ඇවිල්ලා කියලා දැනගත්තෙ පුනීල වගේ පුංචි වලවල් දෙකක් දැකලා. බිංකුණ්ඩා අප්පච්චි කෙනෙකුයි, පුංචි දුවෙකුයි වෙන්න ඇති කියලයි මම හිතාගත්තෙ. වැලි ගොඩ ළඟ ඇණ තියාගෙන කොච්චර බලාගෙන හිටියත් ඒ දෙන්නා ගෙදරින් එළියට බැස්සෙ නම් නෑ. නෑගම් ආපු කූඹි නම් ගේ ඇතුළට යනවා කීප වතාවක් ම දැක්කා. බිංකුණ්ඩන්ගෙ වලවල්වල ඉන්න හැමෝම පුංචි පැටව් බව, උන් ලොකු වුණාම කූරෙක් වගේ ලස්සන කෘමියෙක් වෙලා ඉගිලිලා යන බව දැනගත්තෙ අටේ පන්තියෙදි. ඒ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ලියපු "විද්‍යා විනෝද කතා" කියන පොත කියවලා. කූඹින්ට හින්නො කියන පළාත්වල අය මුන්ට කියන්නෙ කූඹි කියලලු. වලට වැටෙන කූඹි යාළුවො යහතින් නොඑන බව දැනගත්තත් බිංකුණ්ඩො ගැන තරහක් නම් ඇතිවුණේ නෑ. බිංකුණ්ඩෙක් අල්ලගන්න විදියත් පොතේ කියලා දීලා තිබුණා. ඒත් ඒ වෙනකොට බිංකුණ්ඩො ගේ අතඇරලා යන්න ගිහින්. ඊට අවුරුද්දකට පස්සෙ අපිටත් එහෙන් යන්න වුණා. ඊට පස්සෙ බිංකුණ්ඩෙක්ගෙ ගෙදරක් දැක්කෙ අප්පච්චිලගෙ ගම් පළාතෙ කවිකාර ඡායාරූප ශිල්පියෙක් වැස්සකට පස්සෙ ගත්තු පින්තූරෙක. ඇයි උන් ගැන කවියක් නොලියන්නෙ කියලා මම ඇහුවා. ලියලා අපිට පෙන්නන්නෙ නැතුව හංගගෙන ඉන්නවද දන්නෙ නෑ. මේ සටහනේ මුල් කොටස ලියවුණේ හිතවතෙක් කොහෙන්දෝ බිංකුණ්ඩෙකුගෙ පින්තූරයක් සොයාගෙන මට එවපු දවසක.ඉංග්‍රීසියෙන් උන්ට කියන්නෙ antlions/ doodle bugs කියලලු. ආසාවට පින්තූරයක් බලාගන්න ඉංග්‍රීසි නම දැනගෙන හිටියෙ නැහැනෙ. ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණේ වැලි බත් ඉවිල්ලට සදහටම සමුදීලා නිවාඩුවට ගමේ යනකොටත් ජංගමයෙන් ගැලවිල්ලක් නැති අවිවේකී වයසකට පා තැබුවට පස්සෙ. ජංගමයට මොහොතකට සමුදීලා පොද වැස්සේ තෙමි තෙමීම දුම් කවුළුව යට වැලි ගොඩ ළඟට ගියේ බිංකුණ්ඩෙක් හැබැහින් ම දැකගන්න තිබුණු ආසාව අවුරුදු ගණනක් අළු යට තිබුණු ගිනි පුපුරක් වගේ ආයෙමත් දැල්වුණු නිසාමයි. මේ වතාවෙ නම් බිංකුණ්ඩෙක් හැබැහින් දකින්න තරම් මම වාසනාවන්ත වුණා. පුරුදු වැලි ගොඩේ උණුසුමෙන් මිදිලා මගේ අල්ලට කොටුවුණු බිංකුණ්ඩා ගෑටුවෙ ම පස්සෙන් පස්සට. කවදහරි දවසක තමන්ම හාරගත්තු වලේ අන්ධකාරයට සමුදීලා ඉගිලී යන්න වෙන බව, ඉර එළියට, සැඩ සුළංවලට මුහුණ දෙන්න වෙන බව ඌට තේරුමක් නැතුවා වගෙයි. වැහි නැති හෙණපතම කඩා පාත් වුණු දිග ඉඩෝරයක දි මාත් අඳුරු බිලයක මුලුගැන්වුණේ බිංකුණ්ඩෙක් වගේම යි. ඒත් වැඩිකල් නොගිහින් ම ඒ අඳුරට සමුදෙන්න සිද්ධ වුණේ බිංකුණ්ඩෙකුට වුණත් දවසක පියාපත් හිමිවෙන්න ඕන කියලා විශ්වාස කරපු, ඒ වෙනුවෙන් පතුලක් නොපෙනෙන අඳුරු බිලයකට ඇතුළු වෙන්න තරම් නිර්භය වුණු අරුම පුදුම කුහුඹු රෑනක් නිසා බවත් නොකියාම බැහැ. බිංකුණ්ඩන් අඳුරට සමුදීලා වැලි ගසා දාලා ඉගිලෙද්දි හිස්වෙන අඳුරු වලවල්වල සදාකාලිකව නවාතැන් ගන්න කුරා කුහුඹුවනුත් අපි අතරත් නැතුවාම නොවෙයි. බිංකුණ්ඩෙකුගේ බහ කනකට නොගෙන අඳුරු අගාධවලම ලැගුම් ගන්න කළු කුහුඹුවන්ගේ හිතුවක්කාරකම ඉදිරියේ තටු තිබුණත් අපි අසරණයි...

NEWS

හිතට දැනෙන දේ | බිංකුණ්ඩෝ

  • Date: 2022-06-22