Blog



නැවතීමක් නැතිව ඔහේ කඩන් හැලෙන වැස්ස දිහා මන් බලන් හිටියෙ හේතුවක් නැතුවම.වැස්සේ සීතලට ගුලි වී සිටින පොඩිත්තෙක් දෙස නෙත් අයා සිටින මවක් දරුවාගේ හිස සිපගත්තාය.නේවාසිකව දිගු කාලයක් සිටි මව්වරුන්ට නම් වැස්සේ සනීපයට ම නින්ද ගොස් ඇත.වාට්ටුව තුළ ඇත්තේ මද ආලෝකයකි.නින්දෙන් හඬන දරුවෙකු තුරුළු කරගත් මවක් මොනවදෝ කියමින් නළවමින් සිටියි.මට මගේ දරුවා මතක් විය.ඔහුත් ඒ වයසේ ම ය. එහෙත් ඔහුව තුරුළු කර නිදන්නට ඉස්පාසුවක් ඇත්තේ සතියට ම දිනයක් හෝ දෙකකි.අන් සියලු දවස් ඔහුව උණුසුම් කර නිදන්නේ මගේ මවය. මගේ සිතුවිලි දාමය බිඳුණේ කොරිඩෝවෙන් ආ කලබලකාරී ශබ්දයන් හේතුවෙනි.වේගයෙන් දුවගෙන ආ පුද්ගලයෙක් කරපින්නා ගත් දරුවා සයනයෙහි තැබුවේ කලබලයෙනි. අවුරුදු හයක පමණ දියණියක හතිය වැඩි වී බොහොම අපහසුවෙන් සිටි අතර හුමාලය ආශ්වාසයත් සමඟ තරමක් පහසුවෙන් හුස්ම ගත්තාය.වෛද්‍ය සමන්සිරි ද පැමිණ රෝගියා බලා ප්‍රතිකාර නියම කර ගියේය.තත්ත්වය මඳක් සමනය වූ පසු මම දෙමව්පියන් දෙස බැලුවෙමි.තත්පර කිහිපයක් ගතවන තුරු මට කතා කරගත නොහැකි විය.නිහඬතාවය බින්දේ දරුවාගේ මව යැයි සිතිය හැකි තැනැත්තියයි. "ගොඩක් තැන්ක්යූ මිසී.අපි ගොඩක් බයවෙලා ඉඳියේ.මෙයාට ටක්ගාලා වීස් එක එනවා.මන් නැතිවෙලේ අයිස්ක්‍රීම් කාලා..." "දරුවට මෙච්චර අමාරු වෙනවනම් ඇයි පරෙස්සම් කර නොගන්නේ?"මා ඔහු දෙස බලා ඇසුවෙමි. එවර ද පිළිතුරු දුන්නේ ඇයයි. "දුවට හෙම්බිරිස්සාව ටිකක් තිබ්බා.මන් ටියුෂන් කරලා එනකොට හුස්ම ගන්න බැරි තරම් මහන්සිය.එතකොටයි දන්නෙ ඉස්කෝලෙදී අයිස්ක්‍රීම් කාලා කියලා..."ඇය කීවේ කනස්සල්ලෙනි. "යශෝධා දැන් මෙහෙද වැඩ කරන්නේ..?"අවසානයේදී ඔහු කතා කළේය.පෙර හඳුනන්නේ ද යන බැල්මක් ඔහුගේ බිරිඳගේ ඇස්වල විය. "ඔව් දැන් අවුරුදු තුනක් විතර.මහත්තයා මෙහෙනේ.මෙහෙට ට්‍රාන්සර් වුණා.ඒත් මේ අසංකම ද කියලා තමයි මමත් මෙ කල්පනා කළේ."මම වචන එකතු කරමින් කියාගතිමි. "නිරාෂා , යශෝධා මගේ ඉස්කෝලෙ කාලේ යාළුවෙක්.අපි එක පංතිවල ඉඳියේ.එලෙවල් ලිව්වෙත් එකට..."ඔහු ඔහුගේ බිරිඳට මාව හඳුන්වා දුන්නේ එලෙසය. "අනේ කොච්චර දෙයක්ද?"ඇය සිනාසෙමින් කීවාය.මිනිසුන් සිතේ කොතෙකුත් හැඟීම් අවුළුවා ගනිමින් පිටතින් සාමාන්‍ය ලෙස රංගනයක නිරත විය යුතුදැයි මට දැනුණේ එවිටය. "පුතාට නින්ද ගිහින්.දැන් අසංකත් ගියානම් හරි.ලොකු අමාරුවක් නැත්නම් හෙට ඩිස්චාජ් කරයි."හිස් පුටුවක් නිරාෂා වෙත පෑ මම නැවතත් මගේ අසුනට ගියෙමි.වැස්ස නැවතී ඇත.පිටු පෙරළේ යැයි සිතා තැබූ පැන්සල් පෙට්ටිය ඉවත් කළ මම කියවීම නැවැත්වූ තැන සෙව්වෙමි.එහෙත් මඳ ආලෝකයෙන් මට ඔවුන් පෙනෙයි.දරුවාගේ හිස අතගා ඔහු පිටත් වන බව දැනුණෙන් මම නැවත පොතට හිස ඔබා ගත්තෙමි.කියවූ තැන සොයා ගත නොහැක.එකම තැන වටා කිහිපවරක් ඇස් දිවෙයි. "තාමත් ඉස්සර වගේ පොත් කියවනව නේද?" මා අසල ඔහු සිටගෙන සිටියි. "ඉස්සර වගේ?"මම සිනාසෙමින් කිව්වෙමි. ඔහු නිරුත්තරය. "ඔයාගේ නෝනා ටීචර් කෙනෙක්ද?" "හ්ම්ම්..."බරැති සුසුමක් සමඟ ඔහු කිව්වේය. "සුභ පතනවා" "ඔයාටත්"මා දෙස මොහොතක් බලා සිටි ඔහු ඉදිරියට ඇඳුණි.මගේ දෑස් ඔහු පිටිපසින් යන බැව් දැනුණ තත්පරෙන් මා දෑස් ඉන් ගලවා ගතිමි.තවදුරටත් අප අපේ නොවෙයි.මා බලා සිටියේ ඇය දෙසය.ඇගේ දෑස් ද ඔහු යන ඉසව්ව කරා යොමුව ඇති බැවින් මම නැවතත් නැවත්වූ තැන සෙවීමට පොතට එබුණි. --------------------------------------- "ආයෙත් විභාගෙ ලියනවද?" "අනේ මන්දා ඉවරවුණා විතරයිනේ...මට කෝමත් කැම්පස් යන්න ඕන නෑ" "මේ බදාදා ඉඳන් කේසිරි සර් රිවිෂන් පටන් ගන්නවා මන් බැලුවෙ යන්න කියලා...." "ඔයා යන්න මන්නම් තව මාසයක් දෙකක් යනකන්වත් නිදහසේ ඉන්නවා.නිදහසේ පොතක් කියෙව්වේ නෑ මාස ගාණකින්...." කොහොම කොහොම හරි ප්‍රතිඵල පැමිණියේය.විශ්වවිද්‍යාල පෙනෙන නොපෙනෙන මායිමෙන් අපේ ලකුණු නැවති තිබුණි.අපේ හිත් ද ගොඩක් දුර ඇවිත් තිබුණේ අපටත් නොදැනීමය.එහෙත් විශ්වවිද්‍යාලයට ගොස් උපාධිධාරියෙකු ලෙස එළියට එනවට වඩා මගේ කැමැත්ත තිබුණෙ හෙදියක් වෙන්න.විශ්වවිද්‍යාල පාඨමාලා තෝරද්දි මුලටම හෙද පාඨමාලා ඉල්ලුම් කළත් ඒ සඳහා ලකුණු ප්‍රමාණවත් වෙලා තිබුණේ නැහැ. දරුවෙකුගේ කෙඳිරිල්ලෙන් සිතුවිලි දාමයෙන් පිබිදුණු මම ඒ දෙසට පියමැන්නෙමි.අවසන් ව තිබුණු සේලයින් කටුව සිනිඳු අතින් මුදා දැමූ මම දරුවාගේ හිස අතගෑවෙමි. "මිසීටත් කරදරේ..."දරුවාගේ මව විස්සෝපයෙන් කියනු මට ඇසෙයි. "එහෙම කියන්නෙපා.මේක මගේ රස්සාව..." මහ රාත්‍රියේ වුවද අවදි වීමට සිදුවුණ ද මට මන් පිළිබඳ ව ම තෘප්තියක් දැනෙයි.මෙම සුදු නිළ ඇඳුමට ආදරය කරන තරම දන්නෙ මා ම පමණි.එහෙත් ඒ වෙනුවෙන් මට මා සතු සියල්ල කැප කළ යුතු ව ඇත.නිරාෂා අවදි ව සිටියෙන් මා ඈ අසලින් නැවතුණෙමි. "ආයෙනම් ඉස්කෝලෙ ඇරුණම මන් ගාව තියා ගන්නව මිසක් ගෙදර යවන්නේ නෑ." ඇය පුතා දෙසත්,මා දෙසත් මාරුවෙන් මාරුවට බලමින් කීවාය. "ඔයා නිදාගන්න.හෙට වෙද්දි යන්න පුළුවන් වෙයි."මම ඇය අස්වසමින් කිව්වෙමි.ඇය ලස්සන මවක් යැයි මට සිතෙයි.මව්වරුන් තම දරුවන් සේවා ස්ථානයකට ගෙන ගියද හෙදියකට එසේ කළ නොහැක.ඔහුගේ තේරීම ද නිවැරදිය.මට සිනාවක් පහළ වෙයි. ඔහුත් මමත් රජරට විද්‍යා පීඨයට තේරුණි.මට සතුටක් දැනුණේ නැත. "මන් කැම්පස් යන්නෙ නෑ" "ඇයි?"මහත් විමතියෙන් ඔහු ඇසු වග මට මතකය. "මන් ආස නර්ස් කෙනෙක් වෙන්න." "අනේ මේ විකාර නැතුව කැම්පස් යමු.නර්ස් කෙනෙක් වෙනවට වඩා හොඳ නැද්ද ටීචින් යනවා.දවස් පහයි.මාස තුනක් නිවාඩුයි.මන් ආස නෑ ඔයා හැමදාම වැඩට යනවට..." "ඔයා කැම්පස් යමු.මන් ආස නෑ..." "අන්තිම තීරණේ ඒකද?" "හ්ම්" ඔහු සරසවියට ගිය අතර හෙද විදුහල් ගැසට් කරන තුරු අවුරුද්දක් පමණ ගෙදර සිටීමට විය.ඒ අතරවාරයේ ද ඔහුට නිවාඩුවට පැමිණිවිට පැවසුවේ තේරුමක් නැති බලාපොරොත්තුව අතහැර නැවත වරක් විභාගය කරන ලෙසය. ඔහු සරසවියට ගොස් ද වසරකට ආසන්න ව පැවති අතර එදින ඔහු එනතෙක් මා බලාසිටියේ මහත් නොඉවසිල්ලෙන් වග මට අද වුවද මතකය. "අපි කැළණි පන්සල් යමුද?" "ඇයි හදිසියෙ ම?" "මන් ආසයි" "ඔයාගේ ආසවල් නිසා තමයි ඔයාට ඔහොම වෙලා තියෙන්නෙ.." ඔහු කීවා මට මතකය.එහෙත් සිත නොරිද්දා ගෙන ඔහුගෙ කොපුල් තදින් සිපගත්තා මතකය. "මට ට්‍රෙනින් ස්කූල් ආවා." මෙතෙක් කල් බලා සිටි ඔහුට ස්තූති කළ යුත්තේ මාය.ඔහු පුදුමයෙන් මෙන් මදෙස බලා සිටියේය.ඉන්පසු සෙමෙන් මෙසේ කිව්වේය. "මන් හිතන්නෙ ඔයා වෙන ජොබ් එකක් කරන එක හොඳයි.ඔයා ට්‍රෙනින් ඉවර වෙලා එද්දි මන් ඩිග්‍රිය අරගෙනත් අවුරුදු තුන හතරක් වෙයි.ඊට හොඳ නැද්ද බැංකුවකට යනවා?" එතැන් පටන් බොහො දේ වෙනස් විය.සරසවියේ මෙන් සති අන්ත නිවාඩු මට තිබුණේ නැත.නීති ද තද වූ අතර අපට හමුවීම පවා දුෂ්කර විය.කෙමෙන් කෙමෙන් අප වෙතින් අප ගිලිහෙමින් තිබුණි.මානසික වශයෙන් පසුබෑමක් තිබුණද මට මා කෙරෙහි පසුතැවීමක් නොවීය. ඔහු සරසවියේ අවසන් වසරේ දී මා සිටියේ දෙවන වසරේය.පළමු වසරේ මෙන් නීති දැඩි නොවූ අතර මම එයට කෙමෙන් හුරු වෙමින් සිටියෙමි.ඔහුත් මමත් පෙර ලෙසට නොවූ අවුරුදු නිවාඩුවේ එක් සැදෑවක අප හමුවිය. "යශෝධා මන් ආවේ වැදගත් දෙයක් කතා කරන්න." මා ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි.ඔහු මගේ අතක් තදින් අල්ලාගත්තේය. "අම්මලා ළඟදි වෙලාව බලලා.ලබන අවුරුද්දේ අගෝස්තුවෙන් පස්සෙ බඳින්න නැකත් නෑලු.ඩිග්‍රියත් කම්පීල්ට් වෙන නිසා ඉක්මනට බඳින්න කියලා බල කරනවා.ඔයා මොකද කියන්නේ?" "මන් මොනව කියන්නද?ඔයා දන්නවනේ මගෙ ට්‍රෙනින් ඉවර නෑ කියලා." "අපි හැමෝටම කැමති රස්සාවල් කරන්න බෑ යශෝධා.අනික රෑ තිස්සේ නිදි මර මර ඉන්නකොට ඔයාට තේරෙයි මන් කියපු දේවල්..." "ඒකට කමක් නෑ අසංක මන් ඒකට ආසයි..." "එහෙනම් ඕන එකක් කරගන්න...මෙතන ඉඳන් අපි යන්නෙ පාරවල් දෙකක" ඔහුගේ විවාහ මංගල්‍යයදා මම හෙදියක ලෙස පත්වීම් ලැබුවෙමි.දරාගත නොහැකි ශෝකයක් සමඟ අසාමාන්‍ය සැනසීමක් මට දැනුණි.පහනක් අතැතිව නයිටිංගේල් ප්‍රතිඥාව දෙනවිට දෑසින් කඩාහැලුණේ කුමන කඳුලුදැයි මම නොදනිමි. ----------------------------------- දිගු රාත්‍රියකට පසු නව අරුණෝදය වැටෙමින් තිබුණි.වාට්ටුව ක්‍රියාකාරී වී ඇත.දරුවා බැලීමට අසංක එනු පෙනෙයි. "ගුඩ් මොනින්!යශෝධා ඇහැපියෙව්වෙම නෑ මන් හිතන්නෙ.. සැරෙන් සැරේ වෝඩ් එක වටේට ම ඇස් යනවා..."නිරාෂා මා පෙන්වා කිව්වාය. "ඒක මගේ රස්සාවනේ"මම පෙරළා කිව්වෙමි. "දූට දැන් හොඳයිද?" දියණිය හිස වනයි. "එයාටත් නැන්දි වගෙ නර්ස් කෙනෙක් වෙන්නලු ඕනි." නිරාෂාත් සිනාසෙමින් කිවාය. "ඔන්න තාත්තේ චූටි දූටත් නිදි මරන්න වෙයි එහෙනම්.." මම අසංක දිහා බලාගෙන කිව්වෙමි.ඔහු දරුවාගේ හිස අතගෑවේය. අසංක දරුවා බලා යනවිට මා හමුවිය. "මන් හිතනවා යශෝධා සන්තෝෂයෙන් ඇති කියලා.මට සමාවෙන්න නර්ස්ලා ගැන හිතන් ඉඳපු විදියට.නර්ස් කෙනෙක් කියන්නෙ කවුද කියලා, මට හරියටම දැනුණෙ ඊයේ..." "ඔව් මන් බොහොම සන්තෝෂයෙන්...බොහොම ස්තූතියි" රෝගීන් පිරුණු කාමරයක බොහොම සන්තෝෂයෙන් සිටිය නොහැක.එහෙත් නයිටිංගේල්ට කැප කළ හදවතක එය තෘප්තිමත් හැඟීමකි.

NEWS

විභව කෙටිකතා | නයිටින්ගේල් සිහිනය

  • Date: 2022-06-24