Blog



අවන්හල වැසීමට තවත් ඇත්තේ එක් හෝරාවක් පමණයි. මිනිස්සු ලහි ලහියේ ඒ මේ අත යමින් ඔවුන්ට අවැසි අඩුම කුඩුම තෝරන්නට වෙති. දණහිසටත් අඟලක් තරම් උඩට කොට සායක් හැඳ සිටි තරුණිය ඇගේ ප්‍රියතම අයිස්ක්‍රීම් ඇණවුම් කළ වෙලාවෙම, තවත් තරුණ යුවලක් සීතල දොඩම් යුෂ වීදුරුවක රස බලමින් ප්‍රේමණීය පිළිසඳරක යෙදී සිටියමුත්, ජනේලයෙන් පෙරෙන හීනි අව් රැල්ල විටෙන් විට ඔවුන්ගේ කතාබහට බාධා කරන සෙයක් දිස්වෙයි. තව ද, අපට ඉදිරියේ වූ අසුනේ සිටි මව ඇගේ කුඩා දරු දෙදෙනාගේ රණ්ඩුවක් විසඳීමට සැමියාගේ සහය පතන බවක් පෙනෙයි. අවන්හල සම්පූර්ණයෙන්ම පාහේ වායු සමීකරණය කර ඇති මුත්, ඔහුට තරමක් දුරින් සිටියද, ඒ දැනුණු උණුසුම වචනවලට පෙරළීම උගහට කරුණකි. මගේ විසිවන උපන්දිනයට ගෙනා හුරුබුහුටි උපන්දින ආසිරිපතත්, පළමුවරට මා වෙනුවෙන් ලියූ කුඩා ලියමනත්, ස්විච්චිය පණ ගැන්වූ විට අලංකාර එළි විහිදුවන; වීදුරු කොපුවක් තුල සිටින; විසිතුරු ටෙඩීබෙයා කෙනෙකුත් මේසය මත අතුරා ඇත. සැරින් සැරේ අපි දෙදෙන ඒ දෙස බලා නැවත අහක බලා ගන්නෙමු. කීමට දහසක් දේ තිබුණ ද, ඒ දෑස් දෙස බලන විට සියල්ල අමතක වී යයි. ඒ දෑස් සැබවින් ම මායාකාරයි. තවද, පෙනුමෙන් තරමක් මහත වුණත්, ඇත්තෙන්ම ඒ රූපයෙන් ඉවතට ඇස් ගැනීමට නොසිතෙයි. එවර, ඔහු කුමක් හෝ ඇසීමට අර අදිනවා වගෙයි. කලබලෙන් එහෙ මෙහෙ දුවන නොසන්සුන් දෑස්, සෙරෙප්පු අඩි එක දිගට එක මත එක ගැටෙන හඬ, යමක් පැවසීමට මෙන් සැරසී නැවත ගිලගන්නා දෙතොල්, රත් පැහැ වූ නාස්පුඬු... ඇත්තෙන්ම මේ ඔහු දඟලන්නේ කුමක් පවසන්න ද? සිතත් දෙගිඩියාවෙන්... ලබ්ඩබ්... ලබ්ඩබ්... මගේ දෑත් දහදියෙන් තෙත් වෙන්නෙ මටත් නොදැනිම වගෙයි. සැණෙකින්, ඒ උණුසුම් ඇඟිලිතුඩු හරි සීරුවට මගේ අත ස්පර්ශ කළේ, කිසිදා නොහැඟුණු හැඟුමන් සමුදායක් මැද මා අතරමං කරවමින්. අපේම හදවත්වල සියුම් හඬට එබිකම් කරන්නට දෙවියන් දුන් වරමක් ලෙසට විටෙක දැනුණු ඒ මොහොත, තවත් විටෙක ආදරණීය ගනුදෙනුවකට ඉඩහසර වෙන් කරවන්නක් ලෙස දැනෙන්නට විය. සෙමෙන් සෙමෙන් ඔහුගේ දකුණත මගේ කරවටා යැවෙනු සිහිනෙන් මෙන් දැනෙන්නට වූයේ, ඒ වනවිටත් මා මුළු ආත්මයෙන් ම ඔහු හා බැඳී සිටි නිසාවෙන් විය යුතු ය. ඉන්පසු මගේ හිස ඔහුගේ උරමත තබන්නට සැරසෙද්දී ම නළලට වැටුණු අකීකරු කෙහෙරැල්ල, ඔහුගේ අවධානය සැණෙකින් උදුර ගන්නට විය. මල් පෙත්තක් ස්පර්ශ කරන්නාක් මෙන් ඉතා සීරුමාරුවට හිස පිරිමදින්නට වූ ඔහු, ඒ අතර වූ අකීකරු කෙහෙරැලි අවුල් ව ගිය හිසකේ අතර සඟවන්නට විය. දෙවියනේ...!!! ඔහුගේ දෑසින් මට මගේ රුව පෙනෙයි. ඔහුගේ උණුසුම් සුසුම් මාගේ නාස්පුඩුවල වැදෙන තරමට ම, ඔහුගේ හදගැස්ම පැහැදිලිව ඇහෙන තරමට ම අප දැන් එකිනෙකාට සමීප වී හමාරය. ඒ තරම් සමීපව කිසිවෙකු හා මින් පෙර ඇසුරු කර නොතිබුණු මට, මෙය සැබෑවට ම සිදුවන්නක් ද නැද්ද යන්න පවා විස්මය දනවන සුලු කාරණාවක් විය. හින්දි චිත්‍රපටියක රූප වැලක් සේ, අවටින් ඇසෙන්නට වූ සමහරෙකුගේ කසුකුසුව, මගේ සවනත වැකුණේ මිහිරි සංගීත වාදනයක සිරි කැඳවමිනි. හාත්පස පැවති ගැඹුරු නිහැඬියාව, අපේ හදවත් තව තවත් අප වෙත ළං කරන්නට සැරසුණි. සිහින ලෝකයක සැරිසරමින් අතරමංව සිටි මා, එකවරම සිහින් ස්පර්ශයකින් අවදි කරවන්නට විය. නළල්තලය උණුසුම්ය. දෙපා සීතල වී ඇත. මැෂිමක් පණ ගැන්වූවාක් මෙන් හදවත වේගයෙන් ගැසෙයි. ඔහුගේ දෑස් දෙස එවෙලෙහි, කෙලින් බලන්නට තරම් මට හයියක් ආවේ කොහෙන්දැයි මා නොදනිමි. නමුත් ඒ දෙනෙත් අග, ජීවිතකාලය පුරාවට ම මා අසලම සිටින බවට සාක්ෂි දකින්නට හැකිවිය. ඒ සුන්දර සැන්දෑව, සුන්දර නිමේෂය සිහිවන හැම මොහොතකම අදටත් මා සිත ඔහු කෙරේ ආදරයෙන්, ස්නේහයෙන් බැඳී යයි. ඒ රහ සැමදා මා ජීවත් ක්වර්.

NEWS

හිතට දැනෙන දේ | පළමු හාදුව කොයිතරම් රහද?

  • Date: 2022-06-29