Blog



පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වෑහෙනවා නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වෑහෙනවා සිනාසුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලුවා හිරුට සඳුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා හිරුට සඳුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි කෙමෙන් මැකී යනවා එදා වගේ තවමත් වැට අද්දර නාමල් පූදිනවා එදා වගේ තවමත් වැට අද්දර නාමල් පූදිනවා නොකා නොබී දුක් වින්ද අතීතය යළි මට සිහිවෙනවා පද: සුනිල් සරත් පෙරේරා සංගීතය හා ගායනය: අමරදේව සූරීන් සරල පද මාලාවකින් සමන්විත මෙම ගීතය මුල දී පෙනෙන අර්ථය අවසානය වන විට වෙනස් වී වෙනත් මගකට යොමු වෙයි. ඉතා සෞම්‍ය නාද මාලාවකින් ගැයෙන මේ ගීතය මැදි වයස පසුකර ජීවිතයේ සැඳෑ සමයට පිය නගන පුරුෂයෙකුගේ මනෝභාවයක් සුන්දර ලෙස ගෙනහැර දක්වයි. එය ගීතය මුලදී ම එතරම් නොවැටහුනත් අවසානයෙන් පසු සමස්ත ගීතයම සැලකීමේ දී හොඳින් පැහැදිලි වේ. පෙරදිනයක ඔහුගේ ප්‍රේමවන්තිය වූ ඔහු පෙම් කළ තරුණිය ඇයගේ පුතුව නැතිනම් දරුවාව නළවන බව පවසයි. ඔහුගේම ගීතයක් නැළවිලි ගීයක් කොටගෙන තාලයට ගයමින් පුතු නළවන බව ඔහුට පෙනෙයි. ඈතින් ඒ ගී තාලය ඔහුට සවන් වැකෙයි. මේ සිද්ධිය සිතින් මවා චිත්ත රූපයක් ඇඳගතහොත් තම පැරණි පෙම්වතිය දරුවෙකු නළවන දෙස ඉතා උපේක්ෂා සහගත සිතින් යුතුව සිහින් සිනාවක් මුව රඳවාගෙන බලා සිටින පුරුෂයෙකුගේ රුවක් මැවේ. ඇත්තෙන්ම එය සුන්දර හැඟීමකි. ඈත දිනක තමා සමඟ පෙමින් බැඳුණු යුවතිය දැන් පෙනෙන මානයේ දරුවෙකු නළවමින් සිටිනු දැකීම විටක කෙනෙකුට කෝපයක් , විටෙක දුකක් ගෙන දිය හැකි සේම මෙහි කවියා දක්වා ඇති සේ මෙහි සිටින පුද්ගලයාට එය මඳ සිනාවකින් නරඹන සොඳුරු සිද්ධියකි. කවියා පවසන ලෙස පෙර දී තමා සමග දෑසින් ඉඟි බිඟි කළ, නුරා හැඟුම් ගලා හැලුණු ඒ නිල් මැණික් බඳු දෙනෙත් අද දරු සෙනෙහසින් පිරී දයාව ගලා වෑහෙයි. ඒ සොඳුරු බව දකින පුද්ගලයාට පෙර තමා සමඟ දොඩමළුව නුරා හැඟුම් පිරුණු ඒ දෙනෙත් නැවත සිහිපත්ව ඔහු අතීතයට ඇදී යයි. දරුවෙකුට සෙනෙහසින් බැඳුණු මව සිය පංචස්කන්ධයම දරු සෙනෙහසින් පිරී ඉතිරී සෙනෙහේ වගුරයි. අතීතයේ තමා දුටු ඒ සුන්දර තරුණිය මවක් වී දකින විට කවියාගේ සිත පෙර තමා දුටු තරුණිය සමග මේ මව් සංසන්දනයක් කිරීමක් මෙහිදී සිදුකරයි. එසේම අතීතය සිහිපත් කරමින් ඈ දෙස බලා සිටින කවියා සිහින් සිනාවක් ඈ වෙත නංවයි. නමුත් දැන් ඇයගේ දෙනෙත් දරු සෙනෙහසින් පිරී අවසන්ය. අවිහිංසක ලෙස ඇයගේ කෝල ලැජ්ජා සහගත සිනහවකින් කවියාට සංග්‍රහ කරයි. දිගු කාලයක් තිස්සේ මුණනොගැසුණු දෙනෙත් යුගලයක් එකිනෙක මුණගැසුනත් කාලය ගෙවී ගොස් ඇත. දැන් ඇය ඔහුට හිමි නැති සෙයක් දැනේ. නමුත් කාලයකින් මුණගැසුණු ඒ නෙත් මෙන්ම ඒ සුන්දර අතීතය දෙදෙනාගේ මතකයේ තවමත් නිධන්ව ඇති සෙයක් ඒ කෝල සිනාවෙන් දැනවෙයි. කාලයක් පෙමින් බැඳී සිට දැන් එකිනෙකාට අහිමි සිත් නැවත නෙත් මුණගැසුණු ඒ සොඳුරු බැඳීම ,ඒ සොඳුරු හැඟීම වචනයට පෙරලීම ඉතා අපහසු බව එය අත්විඳීමෙන්ම වටහා ගත යුතු වෙයි. හිරුත් සඳුත් තවමත් පෙර සේමය. හිරුට සඳුට නොකියා හොර රහසේම කාලය ගෙවී ගොස් ඇත. බැඳීම් අලුත් වී ඇත. අලුත් බැඳීම් ඇති වී ඇත. නමුත් පැරණි මතකය හදවත් තුල තවමත් එලෙසම ය. කාලය වියැකී යයි. පෙර පැවති රූ සිරිමත් පෙනුමද එලෙසම දැන් වියැකී ගොසින් ය. තවදුරටත් කාලයත් සමග එය කෙමෙන් කෙමෙන් මැකී යයි. කවියා අතීතයේ දුටු ඇයගේ රූ සිරිය දැන් වෙනස්‍ ය. පෙරදා ඇස් ඇදී යන රූ සිරියෙන් අගතැන්පත් වූ ඇය දැන් දරුවන් දරනා මවකි. මෙසේ සිතන ඔහු ද එලෙසම පෙර දා ඇයට පෙම් කළ කඩවසම් තරුණයා නොවේ. කාලය වියැකීමත් සියල්ලේ අනිත්‍යභාවයත් ලෝක ධර්මතාවය යි. එයට එරෙහි විය නොහැක. එය හොඳින් දන්නා කවියා උපේක්ෂාවෙන් එය දරාගෙන ඇත. අතීතය සිහිපත් කරන ඔහු ඒ ගැන දුක් නොවෙයි. ඔහු එය සම සිතින් විඳී. එදා වගේම අදත් වැට අද්දර නා ගසේ නා මල් ද පිපෙයි. නමුත් නා මලක් පිබිදී වියැකීමට මිනිසෙකුට තරම් කල් නොගනී. ඒ තුළින්ද ලොවේ වෙනස් වීම දක්වන අතර ම පෙර ලෙසම නා මල් තවමත් ඇති බැව් කියා කවියා ඔහුට තවමත් හුරු පුරුදු පරිසරය ගැන කියාපායි. ගීතයේ අර්ථය සමස්තව දක්වන්නේ අවසන් පෙළින්‍ ය. නොකා නොබී දුක් වින්ද අතීතය ද ඔහුට සිහිපත් වන බව පැවසීම මගින් ඔහු මේ සුපුරුදු ජීවිතයේ මේ තරුණිය ඔහු පෙර පෙම් කළ යුවතියම බව පසක් කරයි. ඇය ඔහුගෙන් වෙන්ව ගොස් නැත. අලුත් බැඳීමක් ඇති කරගත් ඇය දැන් ඔහුගේ බිරිඳ යි. ඇයගේ දෑතේ ඔහුගේ ගී ස්වරයෙන් නැළවෙන්නේ ඔහුගේම ලෙයින් ඔහුගේ නමින් උපන් ඔහුගේම දරුවා යි. ජීවිතයේ මැදි නැවතුමක සිට ඔහු ආවර්ජනය කරන්නේ ඔහුගේ මේ සුන්දර පවුල ගොඩනැගුණු ආකාරය යි. ඔහුගේ ධෛර්ය නොකා නොබී කළ කැපකිරීම් මෙන්ම විඳි දුක් සියල්ල ඔහුගේ ඒ පෙර දිනයක පෙම් කළ යුවතිය වූ බිරිඳ හා ඔහු වෙනුවෙන් උපන් දරුවා වෙනුවෙනුයි. ඔහු ඉතා සතුටින් ඒ දුක සිහිපත් කරන්නේ ඒ සුන්දර ගමනේ එක් තැනක නතර වී ය. පෙරදී තමා පෙම් කළ යුවතිය සේම තමාත් රූසිරි වියැකී ගොසින්‍ ය. නුරා හැඟුම් වෙනුවට දයා සිත් වගුරුවමින් ය. ඒ සුන්දර අතීතය ඔහු සංසන්දනය කර සිහිපත් කරයි. ඔහු පසෙකින් හිඳ කල්පනා කරන්නේ තමා විඳි දුක් මෙන්ම කළ කැපකිරීම්වල අග්‍ර ඵලය ගැනයි. ඔහුට කිසිඳු පසුතැවීමක් හෝ දුකක් ඇති නොවන අතරම කාලයාගේ ඇවෑමෙන් සිදු වූ වෙනස්කම් ඔහු උපේක්ෂාවෙන් දරාගත් සේම මේ සුන්දර පවුල් ජීවිතයේ සොඳුරු වින්දනීය බව ගොඩනැගුනේ ඔහුගේ ධෛර්ය නිසා බව ඔහු දනී. ඒ නිසා ඔහු තුළ සිතින් නිරහංකාර ආඩම්බර හැඟීමක් ද මතු වන බවක් මෙමගින් හැඟෙයි. ඇත්තෙන්ම පවුලක, එනම් බැඳීමක සුන්දරත්වය ස්ථිරසාර බව රඳා පවතින්නේ එකිනෙකාගේ වගකීම්සහගත බව හා එකිනෙකා වෙනුවෙන් සිදු කරන කැපකිරීම් මත වේ. කවියා ඒ කැපකිරීම සිදුකර ඇත. ඔහු ඒ පිළිබඳ සතුටු වෙයි. එලෙසට ඔහුගේ බිරිඳ ද ඒ වගකීම ඉටු කරයි. පෙර දී ඇයගේ ප්‍රේමවන්තයා වෙනුවෙන් කැපවුණු ඇය දැන් ඔහුගෙන් ලද උතුම්ම දායදය වන ඔහුගේ දරුවා වෙනුවෙන් කැපවෙයි. බිරිඳකගේ මවකගේ ස්වභාවය එයයි. නමුත් කවියා දකින්නේ ඇයට ඔහුව අමතක වී ඇති සෙයක් ය . නමුදු කවියාගේ බැල්මට කෝල සිනා හෙලීමෙන් ඇයට ඔහු අමතක නොවුණු බව සියුම් ලෙස හඟවයි. ඔහු ද එය දනී. නමුත් කාලය ගෙවී ගොසින්‍ ය. මැදි වයසේ යුවලකගේ ප්‍රේමය ගෙනහැර දැක්වීමට කවියා අතීතය වර්තමානයත් සමඟ සංසන්දනාත්මකව දැක්වීම අපූර්ව සහගතය. මුලදී ගීතයෙන් හැඟෙන්නේ වෙන්වූ යුවලකගේ නැවත හමුවීමක් වෙසින් වුවද අවසානයේ එහි සැබෑ අරුත් ගැන්වේ. ඔවුන් වෙන්වී නොමැත. තවමත් ඒ හිත් තුළ ඒ ආදරය එලෙසම ය. නමුත් කාලය ගෙවී ගොස් ඇත. හැඟුම් වෙනස් වී ඇත. එනමුදු හිරුත් සඳුත් එලෙසම ය. ප්‍රේමයත් එලෙසම ය.

NEWS

හඬ මත පැටළුණු අකුරු | 88 වන දිගහැරුම

  • Date: 2022-07-04