Blog



රාත්‍රිය කළුවරට ම සින්න කරදෙමින් ටවුමේ දැල්වෙමින් තිබූ විදුලි පහන් එකින් එක නිවී ගියේ කඩ සාප්පුවල නම් ලියූ බෝඩ් ලෑලිවල දුබල එළිය පමණක් ම ඉතිරි කරමිනි. කැම්පස් එකේ ඉඳන් ගෙදර එන හැම සිකුරාදා හවසකම මට දැන් මේ අඳුර හුරුවෙමින් ඇත. එක පැයක් හෝ කලින් විත් දරු පැටවුන්ගේ මූණු බලන්නට හීන දකින තාත්තලා කීපදෙනෙක්ම බස් හෝල්ට් එකේ මාත් සමඟ ය. බස් එකක් පේන මානෙක නැත. කුමක් කළ යුතු දැයි අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. එන වාහනයක එල්ලී පුළුවන් තරමක් දුර යා ගත යුතු ය. එකිනෙකා එසේ නික්මගිය මා පමණක් ම ඉතිරිවුණ දවසක් මට මතක ය. කැන්ඩෙලා බර ගාණක එළියකින් හෙණ ගහමින් ඇදීගිය කිරිපාට කෝටි ගණන් වාහන නිකමටවත් නොනවතිණ බව ඉරහඳ වගේ ම දනිමි. එක අතකට ඒකත් හොඳ ය. ඒකකට නැගගත්තොත් තැම්බුණ දාඩිය ගඳ බඩේ ඇති දේවල් යළිත් කටට ගේනු ඇත. මගේ හීනවල ද පොලිෂ් කළ වාහන ඇත. එහෙම වාහනයක මට ඉගිල්ලෙන්නට ලැබේ දැයි අඩමාන ය. කොහොම වුණත් එහෙම දවසක ඒ දාඩිය සුවඳ මේ මතකයත් එක්කම ආඝ්‍රාණය කරන්නට තරයේ ඉටා ගත්තෙමි. යන්තම් කණාමැදිරි එළියකින් පැමිණ මා අසල නැවැත්වූ ක්‍රීම් පාට ඩිමෝ බට්ටා ලොරිය මට හොඳටෝම මතක ය. බුලත් විට කහට බැඳුණු දත්වලින් "මල්ලි මං සියඹලාගස්කොටුවට යනවා ඉස්සරහින් ම නගින්න" කියූ මිනිසා මට දැනුදු මවා ගත හැකි ය. ආගිය තොරතුරු හාරා අවුස්සන කල කැම්පස් එකේ ඉඳන් එන බව කියූ විට මල්ලි, පුතා වුණ හැටි මට මතක ය. අනුන්ගේ වාහන දවසේ පඩියට රෑ ගණන් කරකවන්නේ පොඩි එකාට උගන්නන්නට බව කියූ යන්තම් අටේ පන්තියට ඉස්කෝලේ ගිය සෙනෙහෙබර තාත්තා මට මතක ය. සරලවම මේ මනුස්සකම යි. පෝස්ටර් බැනර් සහ කතිර ඉදිරියේ නොතිබූ මනුස්සකම යි.

NEWS

හිතට දැනෙන දේ | අප්පච්චී

  • Date: 2022-07-06