Blog



විභාගයත් ඉවර වුන නිසා තනියට ලඟ ඉන්න යාලුවා වෙච්ච ස්මාර්ට් දුරකතනයේ බර සැහැල්ලු කරලා එයාටත් නිදහසක් දෙන්න හිතපු මම, ස්මාර්ට් දුරකතනය අතට ගත්තේ නිතරම ඉතින් දීපු බර නිදහස් කරලා දෙන්න කියලා කරන ඉල්ලීම් උපරිම මට්ටමට ඇවිත් තියන නිසාමයි. එකින් එක එයාට පටවපු අධික බර නිදහස් කරපු මට නිතරම හිතුනේ ඇත්තටම අපිටත් මේ අතේ තියන ස්මාර්ට් දුරකතනය වෙන්න තිබ්බානම් කොච්චර හොඳද කියලා. ජීවන හුස්මේ තියන බර ඇහිපිල්ලමක් ගහන ඉක්මනින් එකම එක විධානයකින් නිදහස් කර ගන්න පුලුවන් උනානම් මිනිස්සුන්ට බරක් කියලා එකක් දැනෙන එකක්ම නෑ..... එතකොට, කාගේ හරි ජීවිතේකට දුන්න බරක් නිදහස් කරන්න හිතන්නේ කීයෙන් කී දෙනාද? අපි මිනිස්සුන්ගේ හුස්ම බර කරලා කර ගන්නේ කොච්චර නම් පාප කර්මයක්ද?, ඒ බර කරපු හුස්ම මේ තරම් ඉක්මනින් මකලා දාන්න මිනිස්සුන්ගේ හිත් සෙල්ලම් බඩුද?, හැඟීම් මැකුණොත්, කැඩුනොත් , පළුදු උනොත් ලේසියෙන් ආයේම හදන්න පුලුවන්ද? ඒ මිනිස්සුන්ට ඒක දරා ගන්න බැරි උනාමත් කොච්චර නම් විධාන දෙනවාද? නමුත් ඒ විධාන ගනන් ගන්නෙ නැති කොට......?? ඔව්, සමහරු සදහටම ජීවන ගමන අක්‍රීය කරලා දානවා. ඔහොම එක එක විදිහේ අදහස් ඔළු ගෙඩිය ඇතුලේ එහා මෙහා යද්දී ඉබේම මගේ මතකෙට ආවේ whatsapp. මට ලැබෙන හැම විශේෂ note එකක් ම තරු ලකුණක් දාලා ගබඩා කර ගන්න එක මගේ පුරුද්දක්. ඉතින් එතන කාලයක් තිස්සේ එකතු කරන්, තරු දාගෙන ලොකු තැනක් දීලා තිබ්බ ඔක්කොමත් මම මගේ කැමැත්තෙන්ම මකලා දැම්මේ කිසිම ගානක් නැතුවමයි. ඔන්න එතකොටත් අර ඉස්⁣සෙල්ලා වගේම ඔළුව ඇතුළේ අදහස් ගොඩාක් එහා මෙහා වෙන්න ගත්තා. අපේ ජීවිතත් මෙහෙමයි නේද?? මොහොතකට ආයෙත් එහෙම හිතුනා... අපි කාලයක් තරු දමාගෙන උඩින්ම පරිස්සමට අරං තියා ගන්න සමහර අපිට නැතුව ම බැරි වුණ මිනිස්සු, සමහර දේවල් කාලයත් එක්ක හරිම පුදුම විදිහට අපි "නොවැදගත්ය" ලේබලයට කොටු කරන හැටියක්? එපා වෙලා යන හැටියක්? අමතකම වෙලා යන හැටියක්? ඉතින් එහෙම එකින් එක මකලා දාපු මගේ ඇඟිලි තුඩු නිකන්ම නතර වුණේ කාලෙකට කලින් එහෙම තරුවක් දාලා පරිස්සමට අරන් තියපු පුංචි කවියක් ලඟ...... "සොඳුරු ගණ අඳුර පහන් සිත් සිසිල හන්තානය දෙසට ඇඳී යයි සිත් යාය..... කටුකය නගර බද සොඳුරු නැත නිතර අපේ ජීවිත ගෙවෙයි දෙතැනක........." කාලෙකට කලින් හරිම ලස්සනට මුළු හදවතටම දැණුනු, ලස්සනම මතකයකට අද උත්තරක් හොයන්න ඕන වුනාම මට ලැබුණේ මෙච්චරමයි. "ඉඳින් අප කොහිද අද?............ ඔව්............ දෙතැනක" කියා ගන්න බැරි වේදනාවක් කැටිවුණ ඉහළට ගත්තු ලොකූ හුස්මක් බොහෝම අමාරුවකින් පහතට දා ගන්න ගමන් මට හිතුනේ මේ පරිස්සමට අරන් තියා ගත්ත පුංචි කවියේ බරත් සැහැල්ලු කරන්න ඕනමද කියලා. එහෙම කරන්නමයි කියලා බල කරන මගේ යටි හිතේ දඩබ්බර ඉල්ලීමට මගේ ඇඟිලි තුඩු නතු වෙයි කියන බයටම හීයක වේගයෙන් දුරකතනය ක්‍රියා විරහිත කරපු මම හරිම අමාරුවෙන් කොට්ටයට ගුලි උනේ නිදි දෙව්දුවට ඉක්මනටම ලඟට එන්න බල කරන ගමන්මයි. මොකද ඒ මතකයට මං ඒ තරම්ම ලෝබයි.

NEWS

හිතට දැනෙන දේ | හැම මතක මකනවාද?

  • Date: 2022-07-14