Blog



දරුවන් වෙනුවෙන් තම ආත්මය මෙන් ම ජීවිතය ද, කැප කිරීමට දෙවරක් නොසිතන්නේ දෙමාපියන් ය. ඒ, ඔවුන් තම දරුවන් කෙරේ වූ අපමණ ආදරය නිසාවෙන්. තමන්ගේ දරුවා වෙනුවෙන් තම ගරුත්වය මෙන් ම අවසානයේ දී ජීවිතය ද අතැර යන මවක් හා ඇගේ ධෛර්යවන්තභාවය කතාවට නගපු ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙස "Nude" චිත්‍රපටය හැඳින්වීමට පුළුවන්. මරාති භාෂාවෙන් පැය දෙකකට ආසන්න කාලයක් පුරා දිවෙන මෙම ඉන්දියානු චිත්‍රපටය 2018 අප්‍රේල් මස 27 දින දී සිනමාවට එකතු විය.  කතානායිකාව "යමුනා", ඇය පිටිසර ගමක ජීවත් වුණු ආදරණීය මවක්. ඇයට යොවුන් වියේ පසුවන පිරිමි දරුවෙක් සිටිනවා. කතාවේ මුල සිට ම ඇය තම පවුල් දිවිය ගැටගසා ගැනීමේ ලොකු ප්‍රයත්නයක් දරණ බවක් පෙන්වනවා. එයට හේතුව වන්නේ ඇගේ ස්වාමියාගේ අනියම් සම්බන්ධතා, නොමනා හැසිරීම් හා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයයි. අවසානයේ ඇය තම දරුවා රැගෙන මුම්බායි බලා පිටත් වන්නේ නැන්දනියකගේ නිවසක් වෙත ය. ඇය "චන්ද්‍රක්කා" ය. අන්ත අසරණ වූ යමුනා හට හව්හරණක් වන්නේ මේ චන්ද්‍රක්කා ය. ඇය යමුනාට පවසන්නෙ,  "Stop crying, You are with me now. Your aunt is a strong lady, she will take care of you."  මුම්බායි ජීවිතය ද සිතූ පරිදි සුවදායක නොවූයේ ඇයට කිසිදු රැකියාවක් සොයා ගැනීමට නොහැකි වූ බැවිනි. ජීවිත් වීමට නම් මුදල් අවැසි ය. කෙසේ හෝ රහසිගතව නිරත වී සිටි ඇගේ නැන්දනියගේ රැකියාව වූයේ චිත්‍ර විෂය ඉගෙනගන්නා ශිෂ්‍යයින්ට සහ ප්‍රවීණ චිත්‍ර ශිල්පීන්ට ස්‍ත්‍රී සිරුර සිතුවමට නැඟීමට හැකි ආදර්ශයක් (Nude model) ලෙස සිටීමයි. ඇයට එම රැකියාව රහසිගත ලෙස සිදු කිරීමට සිදු වූයේ ගතානුගතිකත්වයෙ ගිලී තිබෙන සමාජ පරිසරයක මෙවැනි දෙයක් කොහෙත්ම අනුමත නොකරන නිසාවෙනි. තම දරුවාගේ අනාගතය හා අධ්‍යාපනය වෙනුවෙන් යමුනා ද අවසානයේ තීරණය කරන්නේ නිරුවත් නිරූපිකාවක් වීමට ය. එය ඇයට ඉතා බැරෑරුම් කටයුත්තක් විය. එයට හේතුව වන්නේ ඇය ඇගේ නැන්දනිය මෙන් නොව ඉතා සියුමැලි කාන්තාවක් වීමයි. කෙසේ හෝ ඇය නිරුවත් නිරූපණය සඳහා පය තබන්නේ ඇගේ දරුවාගේ අනාගතය උදෙසා ය. ඇගේ ජීවිතය වඩාත් කටුක වන්නේ තම දරුවාගේ හිතුවක්කාර ක්‍රියාකලාපය තුළිනි. ඇගේ සියලු පරිත්‍යාගයන් ගඟට කැපූ ඉනි මෙන් විය. ඇයට තම දරුවා හට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට උවමනා කර තිබුණේ පසුකාලීනව දරුවා, තමන් කළ කැපකිරීම් තේරුම් ගනිවී යැයි පැතුමෙනි. යමුනා එය මෙසේ පවසයි. "With education, someday, he will respect me if he comes across my nude paintings." නමුත් අවසානයේ දී සිදුවන්නේ ඉතා ඛේදනීය සිද්ධි ධාමයන් පෙළකි.  මෙම චිත්‍රපටය තුළින් මවකගේ ආදරයත්, ධෛර්යවන්තභාවයත් හා නිර්භීතභාවයත් මෙන් ම කලාව යනු සීමා රහිත විශ්වීය දෙයක් බවත් හොඳින් නිරූපණය කරයි.  රවි ජධව් (Ravi Jadhav) විසින් අධ්‍යක්ෂිත මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන යමුනාගේ චරිතයට පණ පොවන්නෙ කල්‍යාණි මුලායි (Kalyanee Mulay) වන අතර ඇගේ නැන්දනියගේ චරිතයට පණ පොවන්නේ චායා කදම් (Chaya Kadam)වේ. දුක, සංවේගය වැනි හැඟීම් ප්‍රේක්ෂකයාට හොඳින් දැනෙන පරිදි භාවාත්මක ලෙස පසුබිම් සංගීතය සිදුකර ඇති ආකාරයද විශිෂ්ට ය. 7.4 ක IMDB අගයක් ඇති මේ චිත්‍රපටය ඉතා විශිෂ්ට නිර්මාණයක් බව පැවසිය යුතුම ය.

NEWS

විභව Unframed | Episode 65 | Nude 2018

  • Date: 2022-07-15