Blog



දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංඟාගෙන මා ඔබ තෙමුණා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණ දා බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇළේ නැම්මේ ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළඟ හඬලනකොට ඔටුන්න බිම දා දුවගෙන එන්න ද එක පිම්මේ මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවා ද අම්මේ ”කවිය වූ කලී ජීවිතය පිළිබඳ මිනිසාගේ ප්‍රතික්‍රියා සටහන් කරවන සූක්ෂම උපකරණයකි.” යනුවෙන් ලුයී වැක්නීස් කවිය හඳුන්වා ඇත. කවියා කවිය නිර්මාණය කිරීමේදී ප්‍රස්තූත විවිධාකාරයෙන් උපයුක්ත කොට ගනී. ඒ අතර සිය අත්දැකීම් පාදක කර ගනිමින් රචිත විශිෂ්ට නිර්මාණයක් ලෙස ”දවසක් පැල නැති හේනේ” ගීතය හඳුන්වා දිය හැකි ය. ගීතයෙහි අර්ථ රසය හා ශබ්ද රසය ගීතය සහෘදයා වෙත සමීප වීමට අනිවාර්යයෙන්ම බලපානු ලබයි. ගීතය නවමු ආකාරයේ අත්දැකීමක් ලෙස පද රචනය කර ඇත්තේ රන්බණ්ඩා සෙනෙවිරත්න සූරීන් විසිනි. එයට අතිශයින් ගැළපෙන සංගීතය සුසංයෝජනය කරමින් ගායනා කරනු ලබන්නේ අසහාය කවීත්වයක් හිමි විශාරද ගුණදාස කපුගේ මහතා විසිනි. කවියා සිය පෞද්ගලික අත්දැකීම් පාදක කර ගනිමින් ගීතය රචනා කර ඇති අතර මව් ගුණය පාදක කර ගනිමින් කවිය රචනා කර ඇත. දරුවන්ගේ සතුට තමාගේ සතුට කරගත් මව්වරු තමා නොවිඳි, නොදුටු සැප සම්පත් දරුවන්ට දායාද කිරීමට අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් විඳිති. පුංචි සීරීමකින් පවා කෑ ගසා හඬන කාන්තාව වුවද මාතෘත්වය ලැබූ විට ශක්තිවන්තම ගැහැණිය බවට පරිවර්තනය වන්නේ දරු සෙනෙහස නිසා ම ය. ”දවසක් පැල නැති හේනේ - අකාල මහ වැහි වැස්සා” තුළින් අතීත කතාවක් කවියා කියාපායි. හේනක් ආරක්ෂා කිරීමට ගොවියා පැල් රකියි. වන සතුන්ගෙන් වන්නා වූ හානිය වළක්වා ගන්නේ දිවා-රෑ පැල් රකිමිනි. පැලක් නැති නම් හේනට ආරක්ෂාවක් නැත්තා සේ සැමියා අහිමි වූ විට බිරිඳට ද ආරක්ෂාව නැති වී යන්නේ ය. දරුවා ද සමඟ තනිවන අම්මාව ”දවසක් පැල නැති හේනේ” යන පද්‍ය පාඨයෙන් ව්‍යංගාර්ථවත් කර ඇති ආකාරය අපූර්ව ය. මොහුගේ පියා මිය යන්නේ අකාලයේ ය. පැලක් නැත්තම් අව්වේ පිච්චීමටත් වැස්සේ තෙමීමටත් සිදු වන්නා සේ දුප්පත්කම, අසරණකම යන වැසිවලින් කථකයාට හා මවට තෙමීමට සිදුවිය. අවස්ථාවාදී වූ වැඩිහිටි පිරිමි ඇයට අයුතු යෝජනා මෙන්ම මංගල යෝජනා ද ගෙනෙන්නට ඇත. නමුඳු ඇය ඒවා විඳ දරා ගනිමින් සිය පණනළ වන් දරුවා වෙනුවෙන් තනිකඩව දුක් විඳ සිප්සතර ලබා දුන්නා ය. ”පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ”, ඇය ස්ථීරවම දරුවා වෙනුවෙන් තනිකඩව සිටීමට තීරණය කළේ දරු සෙනෙහස නිසා ම ය. දුප්පත්කම කෙතරම් තිබුණ ද ඇය එම වැස්සෙන් තෙමුණ ද දරුවාට දුප්පත්කම නොදැනෙන්නට කටයුතු කළ බව ”තුරුලේ හංඟා ගෙන මා ඔබ තෙමුණා අම්මේ” පද්‍ය පාඨයෙන් මනාව විෂද කෙරේ. මව දැඩි අධිෂ්ඨානයකින් යුතුව තම පුතු උස්මහත් කර විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය ලබා දෙන්නේ අනේක දුක්ඛ දෝමනස්සයන් විඳිමිනි. පිටිසර ගම්මානයකින් විශ්වවිද්‍යාලයට පැමිණි තරුණයා නගරයට හුරු වේ. ඔහු තම දුප්පත් මව, කුඩා කල ගැන කතා කිරීමට පවා මැළි වෙයි. වෙනත් තරුණ සිත්වල මෙන් ආදර සිතුවිලි ඔහුගේ සිතෙහි ද ඔඩු දුවයි. තරුණියක් සමඟ ආදරයෙන් බැඳී ඇය සමඟ යුග දිවියට පැමිණිය ද මව බැලීමට හෝ යාමට ඔහුට අවශ්‍ය නොවීය. තරුණ සිතට අනුව ඔහු දැන් සර්ව සම්පූර්ණ ය. ගමක වැරහැලි අඳිමින් දුක් විඳින මව තම බිරිඳට හඳුන්වා දීමට පවා ඔහු ලැජ්ජා වූයේය. නමුඳු ප්‍රේම ලෝකයේ දී මෙන් නොව යුග ජීවිතයේ යථාර්ථවත් බව දැනෙන්නේ විවාහ වූ පසුව ය. තම මව පවා අමතක කර දමා සිය ලෝකයම කර ගෙන සිටි බිරිඳ ඔහු හැරදමා යයි. ”නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණ දා”, බිරිඳ දමා යෑම ඔහු වන් ප්‍රසිද්ධ පුද්ගලයෙකුට සැබැවින්ම අපකීර්තියකි. නින්දා අපහාස වල ද නිමක් නැත. යෝධ ඇළේ වේගය මැනිය නොහැකි සේ බිරිඳ ද ඔහුට නවත්වාගැනීම කිසිසේත් කළ නොහැකි විය. ”ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ”, දරුවන් මොන වරද කළත් සමාව දීමට තරම් සිව් බඹ විහරණයන්ගෙන් සපිරි මව් හදවත සැබැවින්ම උත්තරීතර ය. බිරිඳ හැරදා ගිය පසු ඔහුට මවගේ සෙනෙහසෙහි අගය දැනෙයි. ඔහු මව සොයා නැවත යයි. ඔහු ගමට ගිය ද ඔහුගේ දුප්පත් අම්මා ජීවතුන් අතර නැත. විශ්වවිද්‍යාලයට ගිය පුතු රස්සාවක් රැගෙන එනතුරු ඇය ඇඟිලි ගනින්නට ඇත. පුතු ප්‍රසිද්ධ පුද්ගලයෙකු බව දැනගත් විට සිය පුතුට එක හිතින් ඇය ආශිර්වාද කරන්නට ඇත. පුතු කළ වරද ඔහුට දැන් වැටහේ. නමුඳු ඔහු දැන් ප්‍රමාද ය. ”කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළඟ හඬලනකොට”, ඔහුගේ ජීවිතය අන්ධකාරයෙන් වෙළාගත්තා සේ ඔහුට දැනේ. අද මව සිටියා නම් එදා කුඩා සන්ධියේ මෙන් ඒ සෙනෙහස ම ඔහුට ලබා දෙනවා නොඅනුමාන ය. ”ඔටුන්න බිම දා දුවගෙන එන්න ද එක පිම්මේ”, බලය, ධනය, ප්‍රසිද්ධිය ඔටුන්නක් ලෙස දක්වන ඔහුට ඒ කිසිවක් දැන් නිෂ්ප්‍රයෝජන බව දක්වයි. හිතේ ඇති පසුතැවීම, දුක ව්‍යංගාර්ථවත් කරන ඔහු ”මා එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ” යන්නෙන් විමසන්නේ සහෘද සිත්සතන් තුළ සංවේදී හැඟීම් ජනිත කරමිනි. තමන් මොන තත්ත්වයක සිටිය ද මව්පියන්ට ඇප උපස්ථාන නොකරනවා නම් ඔහු සැබැවින්ම වසලයෙකි. අවසානයේදී පසුතැවීමට එය හේතුවකි. තමා වෙනුවෙන් ජීවිතය පවා කැප කරන්නා වූ මව්පියෝ සිටිති. මව් ගුණය පාදක කරගනිමින් රචිත ”දවසක් පැල නැති හේනේ” ගීතය ඉතා අගනා නිර්මාණයක් ලෙස මෙසේ ඇගයිය හැකි ය.

NEWS

හඬ මත පැටළුණු අකුරු | 89 වන දිගහැරුම

  • Date: 2022-07-19