Blog



"වෙනස්වීම" කියන්නෙ අපේ ජීවිතයේදී අපට මග හරින්න බැරි දෙයක්. වෙනස්වීම කියන දේත් වෙනස් වෙනස් විදියට සිද්ධවෙනවා. හැබැයි ඒ හැම අවස්ථාවකදීම අපි වෙනස් වෙන්නෙත් නෑ, වෙනස් නොවෙන්නෙත් නෑ. වෙනස් වුණොත් වගේම වෙනස් නොවී හිටියොත් අපට ලැබෙන අත්දැකීම් සහ ප්‍රතිඵලත් වෙනස් වෙනවා. ඒනිසා ජීවිතය තියෙන්නෙ කොතැනද, එතැන "වෙනස් වීම" තියෙනවා. හැමෝම එකම විදියට වෙනස් වෙන්නෙත් නෑ. සමහරු හිතාගන්න බැරි තරම් එක රැයකින් වෙනස් වෙනවා. සමහරු කාලාන්තරයත් එක්ක හෙමිහිට වෙනස් වෙනවා. අපට ඒ දෙවැනි කොට්ඨාශයේ අයගෙ වෙනස් වීම එතරම් කැපී පෙනෙන වෙනසක් විදියට නොපෙනුණත් සෑහෙන්න කාලයක් ගිහින් ආපස්සට හැරිල බැලුවාම අපට තේරෙන්න පටන්ගන්නවා මේ අපිත් කොයිතරම් වෙනස්වෙලාද කියලා. ඉතින් මේ "වෙනස" කියන්නෙ ජීවිතයට හරිම සමීප දෙයක්. මිනිස්සුන්ට වෙනසක් ඕනෑ වෙන අවස්ථා බොහොමයි. "වෙනසක් ඕනෑ ය" කියන එක ම සටන්පාඨයක් වුණු සමාජයක තමයි අපි ජීවත් වෙන්නෙ. ඒ වෙනස සමාජයීය, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික වගේ විවිධ සන්දර්භයන්හි අපට වර නගන්න පුළුවන්. ජීවිතයට වටිනාකමක් ලබාදෙන්නේ "වෙනස්වීම" කියල මට හිතෙනවා. ජීවිතය එකම තැන පල්වෙන වතුර වලක් වගේ වුණොත් ද ලස්සන? එහෙමත් නැත්තම් ගලා යන දිය පහරක් වගේ ගල්පරවල හැපෙමින් පෙණ කැටි වගුරුවනකොට ද ලස්සන? සියපත් බවුන් වඩන තඩාගයක් ද ජීවිතය අට ලෝ දම් අවසාදිත ගලෙහි හැපෙන නදියක් ද? ඩාබිඳු උප්පැන්න ලබන අමර ස්වප්නයක වේගය කටුකොහොලින් පිරි ලොවකට යුද ඇඳුමක් ය ජීවිතය ෆැන්ටසිමය ඝටිකාවකි ජපකරන පැය මන්තර අතට හසු වී අතැරුණු තිළිණයක් ද ජීවිතය? ඔප දැමූ කෙළි බඩු සම නැවුම් දිවියක පැහැසර "වෙනස" මිතුරකි ගුණබර හිතට ළං වී හිනැහෙන හොඳයි...ඔබ අහලා තියෙනවාද මෙහෙම කියමනක්: "ඔබ ඔබ ම වන්න" (Be yourself) මේකත් කෙනෙක්ට දෙවිදියකට තේරුම්ගන්න පුළුවන් කියලයි මගේ කල්පනාව. "ඔබ ඔබ ම වන්න" කියලා අපි කෙනෙකුට කිව්වාම, ඒ කෙනා හිතන්න පුළුවන්, "මම මම ම වෙනවා. මම මෙහෙම ම ඉන්නවා කියලා." එතැනදි ඔහු විසින් වෙනස්වීම ප්‍රතික්ෂේප කරනවා. අපි හිතමු මුරණ්ඩු ළමයෙක් මෙහෙම හිතුවොත් ඒ ළමයා ඒ විදියටම ඉඳීවි. ඔහු කවදාවත් ඒ ඉන්න තැනින් වෙනස් වෙන එකක් නෑ. තවත් විදියකට මේ කියමන කෙනෙකුට අර්ථදක්වගන්න පුළුවන්. "ඔබ ඔබ ම වන්න" කියලා අපි කිව්වාම, "ඔබ ඔබ ම මිසක් වෙනත් කෙනෙකු වගේ විය යුතු නෑ" කියල කෙනෙක් හිතුවොත්? වෙනත් කෙනෙකු කරන දෙයක් අපි කරන්න ඕන නෑ, වෙනත් කෙනෙකුගේ හැසිරීමක් අපි අනුගමනය කරන්න ඕන නෑ, අපි මෙතෙක් හිටපු විදියට ම ඉන්නවා කියලා හිතුවොත්? එහෙම හිතුවාම අපිට කෙනෙක්ගේ කථා විලාසයෙන්, වචන භාවිතයෙන්, හැසිරීමෙන් ගන්න පුළුවන් ආදර්ශයක් තියෙනවානම් අපිට ඒක ගන්න බැරිවෙනවා. අපි අපිවම වාරණය කරගන්නවා වගේ දෙයක් ඒක. වෙනස්වීම හෝ එසේ නොවී සිටීම අපේ තීරණයක්. නමුත් වෙනසෙහි අවශ්‍යතාවය අප තුළින් ම පැන නගිද්දි ඊට පිටුපාන්නට අපි හදිසි විය යුතු නැහැ. "ඔබ ඔබ ම වන්න" කියන එක මම තේරුම්ගත්ත විදිය තමයි, අපි අපේ ම අනන්‍යතාවයක් ඇතුව, අපේම ජීවන ලාලසාවක් ඇතිව ජීවිතය ගෙනයන්න ඕන කියන එක. එතැනදි අපේ අවට පරිසරයෙන්, අපට ඇසුරු කරන්න ලැබෙන පුද්ගලයන්ගෙන් අපට උගත හැකි යමක් වේ නම් එය පරමාදර්ශ කොට ගත යුතු යි. හොඳ අතට වෙනසක් වෙනවා නම් ඒ වෙනස වෙනුවෙන් පසුබට වීම නුවණට හුරු නැහැ. අද ලෝකයේ දැනුම පවා මොහොතින් මොහොත යාවත්කාලීන වෙද්දි අපි එකම විදියට හිටියොත් අපිත් කල් ඉකුත් වූ පුද්ගලයෙක් වනවා නොඅනුමානයි. නැවුම් බව රැකෙන්නට නම්, ජීවය රැඳෙන්නට නම් වෙනස අපේ ජීවිතයට නැතුවම බැරි දෙයක් කියලා අවසන් වශයෙන් මම ඔබට කියන්නට කැමතියි. ඒ මක්නිසාදයත්, වෙනස කියන්නෙම ජීවය නිසා!

NEWS

හිතට දැනෙන දේ | වෙනස යනු ජීවය යි

  • Date: 2022-07-25