Blog



එදත් සරත් සමයේ හොඳටම වැහිබර දවසක්. සරත් සමයේ උදාවත් එක්කම ගිම්හානයේදී පවා කලාතුරකින් නිල් අහසක් දකින එංගලන්ත වැසියන්ගෙ මුහුණුත් අඳුරු වැහිවලාවලින් වැහිබර වුණත් සමකයට ආසන්න රටක ඉපදුණු මම නම් වස්සානයේ තෙතබරිත හුළඟත් එක්ක හේමන්තයේ වියළි කොළ මවන රටාවලට පුදුමාකාර විදියට ඇලුම් කළා. වැහිබර අහස තරම්ම අළු පාට ඇඟට හිර කාර්යාලීය ඇඳුමෙන් මිදිලා, හිතටත් දිවටත් එක වගේ හුරුපුරුදු කහට කෝප්පයක් තොල ගාන ගමන් මගේ දකුණතේ ඇඟිලි සැරිසැරුවේ ජංගම දුරකථනයේ තිරය උඩ. රාජකාරි ගනුදෙනුවලට අදාළ “ගෲප් චැට්” කිහිපයකට වචනයෙන් දෙකෙන් කෙටි පිළිතුරු ටයිප් කරන ගමන්, මගේ අතැඟිලි දහවල් වරුවේ මගඇරුණු සංවාදයක් සොයාගෙන පහළට ගමන් කළා. කාර්යාලීය ඇඳුමින් සැරසිලා, උසස් පෙළ කරන වයසෙදි ම මතුවුණු සුදු කෙස් ගස් එකක් නෑර කළු කරගෙන, වයස අවුරුදු දහයකින් අඩුකර පෙන්වන වත්සුණු තට්ටුවකට මුවා වෙල‌ා, ලිපි ගොනු, පරිගණක තිර සහ රාජකාරියටම සීමා වුණු කාර්යාලීය හිතවත්කම් අතරේ දුර බැහැර රටක ගතවුණු මගේ වෘත්තීය ජීවිතයේ රජ කළේම හුදෙකලාව. කලාතුරකින් ලැබුණු විවේකයකදි උපන් රටට ඇවිත් අම්මගේ පරණ බාච්චු ගවුමකට බැහැලා, කිරි හොද්දක ලුණු ඇඹුල් බලන අතරෙ නංගිලා නෑනලා ලුණු ඇඹුල් දමා කියන ඕපාදූපයක් රස විඳිනකොට, නංගිලා මල්ලිලාගෙ පොඩ්ඩන්ගෙ හුරතල් බලනකොට, අවුරුදු විස්සකටත් එහා මහගෙදර වත්තෙ පැළ කරපු මල් ගස්වලට සාත්තු කරනකොට දැනුණේ දරාගන්න බැරි තරමේ සැහැල්ලුවක්. ඒ විවේකය අවුරුද්දකට වතාවක් ලැබෙන නත්තල් නිවාඩුවට සීමා වුණත්, නොදැනීම කර දඬු උස්මහත් වෙන පවුලේ පොඩිත්තන් ගැන, මහගෙදර වත්තේ ගස් කොළන් ගැන, පවුල් පහකට වරින් වර එකතු වෙන බලු පූස් සුරතලුන් ගැන උණුසුම් ම පුවත් අවුරුදු විසි පහක් පුරාවටම මග නොහැරුණේ අන්තර්ජාලයට පින් සිද්ධ වෙන්නට යි. තිරය පීරූ මගෙ අතැඟිලිත්, ඇස් දෙකත් “අපි හයදෙනා” ළඟ නැවතුණා. (දින, සති, මාස, දශක ගණනක ඇවෑමෙන් “අපි හයදෙනාගේ” ජංගම දුරකථන හිමි නිත්‍ය සාමාජික සංඛ්‍යාව දාසයක් දක්වාම ඉහළ ගියත් මුල් නම වෙනස් නොවීම පැවතුණා.) කියවාගන්න බැරි වුණු කෙටි පණිවුඩ 170ක් අතරින් සංවාදයට නිමිත්ත වුණු හඬ පටය තෝරාගන්න ටික වෙලාවක් ගතවුණා. “හිත රිදෙන හිත බිඳෙන මගේ නපුරු කතා මැද සදහටම ළඟ හිඳින මගෙම සඳකඩපහණ...” අභිෂේකා විමලවීර මහත්මියගේ මුල් ගැයුම අනන්‍යා දුවගේ හඬින්. අනන්‍යා මගේ මල්ලිගේ ලොකු දුව. වෘත්තියෙන් විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් වුණු මල්ලිත්, පශු වෛද්‍යවරියක වුණු ඔහුගේ බිරිඳත් විදෙස් රටක සැපවත් ජීවිතයක් ගෙවන්න උවමනාවටත් වඩා සුදුසුකම් තිබියදීත් නැවතත් ලංකාවටම ආවේ තමන්ගේ සේවය වෙනත් කිසිම රටකට වඩා මව් රටට අවශ්‍යයි කියන හැඟීමෙන්. දශක තුනක් ගතවුණාට පස්සෙත් ලංකාවේ විභාග ඉලක්ක කරගත් තරඟකාරී අධ්‍යාපන රටාවේ සැලකිය යුතු වෙනසක් නොවුණත් තමන්ගේ දරුවන් කලාවට, සාහිත්‍යයට නැඹුරු කරන්නත්, පරිසරයට සතා සීපාවාට ආදරය කරන්න හුරු කරන්නත් මේ අපූරු දෙමව්පියන් දරපු උත්සහය අසාර්ථක නොවන බව දකිනකොට මටත් දැනුණේ තමන්ගේම දරුවන් ගැන අම්මා කෙනෙකුට දැනෙන විදියේ නිහතමානී සතුටක්. “හරිම ලස්සනයි පුතේ. ඔයාටත් තාත්තගෙ හැකියාව ඒ විදියටම පිහිටලා තියනවා. ඔයාට නැන්දගේ සුබපැතුම්.” මම ලොකු නැන්දා කෙනෙකුට ගැළපෙන විදියේ පරිණත සුබපැතුමක් අකුරු කරන්න වෙහෙසුණත් කලක් නොදැනුණු නුහුරු කැළඹීමක් සිතේ මුල්ලක තෙරපෙමින් තිබුණා. “මට හුඟක් සතුටුයි. පුතාලගෙ නැන්දත් කැම්පස් යන කාලෙ කවි, ලිපි, කෙටිකතා හුඟක් ලියපු කෙනෙක්. අපි ඔයාලගෙ වයසෙදි නැන්දා සාහිත්‍ය සංගමයෙන් පළ වෙන කවි අපිට එවනවා. ඒවයෙ තේරුම ගැන අපිත් එක්ක සාකච්ඡා කරනවා. ඒ දවස්වල අපි හය දෙනා ගමේ ගෙදරට එකතු වුණාම රෑට සින්දු කියනවා. ඔයාලගෙ අත්තම්මලා සීයලත් සමහර වෙලාවට එකතු වෙනවා. ගීතයක් ගායනය කරද්දි හොඳ කටහඬක්, නිවැරදි උච්චාරණය, ගායන හැකියාව විතරක්ම තිබුණට මදි. ගීතයේ අර්ථය ගැනත් හොඳ දැනීමක් තියෙන්න ඕන. ඊළඟ නිවාඩුවට නැන්දා ආවම අපි ඒ වගේ හොඳ ගීත රසවින්දන වැඩසටහනක් කරමු. පුතාට මම සුබ පතනවා.” ස්ටිකර්, ඉමෝජි, “Wow” “Amazing!!!” “සුබ පැතුම් පැටියෝ”, “සුපිරියි නංගි” වගේ කෙටි පිළිතුරු තැන තැන විසිරලා පිරිලා තිබුණු සංවාද මණ්ඩපයට මල්ලි එකතු කරපු වචන ටික බරසාර යි. විශ්වවිද්‍යාලයේ සමවයස් සහයක පුහුණුවට සහභාගී වෙලා තිබුණු නිසා දුවට එවූ සුබපැතුමක මුවාවෙන් යොවුන් වයසෙ දරුවන්ට දීපු පණිවුඩය අස්සෙ සැඟවුණු සැන්විච් ආකෘතිය මට අඳුනගන්න අපහසු වුණේ නැහැ. අපිට ළමා වයසෙදි නොලැබුණු සැප පහසුකම් විඳිමින්, තාක්ෂණික උපාංග එක්ක ඇතිදැඩි වෙන දරුවන්ට අපිට ඒ වයසෙදි තිබුණු ජීවිත අවබෝධය නොලැබෙන බව මල්ලි නිතරම කිව්වෙ වෘත්තීය ජීවිතේ අත්දැකීම්වලටම සීමාවෙලා නොවන බව මට ඉවෙන් වගේ තේරිලා තිබුණා. පාසල් සමයෙදිම මුණ ගැහුණු ප්‍රථම ප්‍රේමය පවුලෙන් එල්ල වුණු දහසකුත් එකක් බාධකත්, (මගේ රහසිගත ආශිර්වාදයත්) මැද්දේ විවාහය දක්වා ගෙනියන්න අතරම වෘත්තීය ජීවිතයේත් හිණිපෙත්තටම නගින්න සමත් වුණත් හිරුට හොරා නිළි වැස්සට පෙම් බඳින වයසට සේන්දු වුණු දුවෙකුගේ තාත්තා කෙනෙකුට දැනෙන බර මල්ලිගේ හිතටත් දැන් දැන් දැනෙමින් තිබුණා. වෘත්තියෙන් මනෝ වෛද්‍යවරයෙකු වුණත් මල්ලිට පුංචි සන්ධියේදී වගේම අක්කගේ උපදේශන සැසියක උවමනාව තදින්ම දැනෙන බවත් ඊට හෙට අනිද්දාම වෙලාව වෙන්කරගත යුතු බවත් මම දිනපොතේ නොලිව්වත් හිතේ කොනක සටහන් කරගත්තා. “නැන්දේ මම ආපූ. ගිය නිවාඩුවට ගමේ ගියපු වෙලාවෙ මායි අම්මයි නැන්දගෙ රෝස ගස් සේරම කප්පාදු කළා. මේ වතාවෙ එකක පුංචි පොහොට්ටුවක් හැදීගෙන එනව‌ා. අපි ෆොටෝස් ගත්තා. නැන්දට මම පස්සෙ එවන්නම්කො...” අක්කට පරදින්න අකමැති නිසාද මන්දා අම්මාගේ ජංගම දුරකථනය අත්පත් කරගත්තු කොලු පැටියාත් ගෲප් එකට කෙටි නොවන කෙටි පණිවුඩයක් එවලා තිබුණා. අම්මත් තාත්තත් එක්ක බෙදාගන්න බැරි මොකද්දෝ ලොකු රහසක් නැන්දට කියන්න පොඩ්ඩා නැකැත් බලන බව තේරුම්ගන්න “පස්සෙ එවන්නම්කො” කියන වචන දෙක මට ප්‍රමාණවත් වුණා. දුවගෙ ගායනයත්, පුතා කියපු කතාවත් මගේ හිත මතකයේ වල් වැදී තිබුණු මං පෙත් ඔස්සේ වසර තිහක අතීතයේ කලකින් නොගිය ඉසව්වකට ගෙන ගියා... එදත් හොඳටෝම වැහිබර දවසක්. කොහෙන් ආවා දැයි නොදන්නා වෛරසයක් අපේ විශ්වවිද්‍යාල ජීවිතය හතරැස් තිරයකට කොටු කරලා තිබුණා. දේශනවල කාලසටහන්, සූම් සබැඳි, ශිෂ්‍ය සංගම්වල නිල පණිවුඩ... මේ හැම දෙයක්ම සංසරණය වුණේ වට්ස්ඇප් මාර්ගයෙන්. වැස්සත් සමග පළාත් කිහිපයකටම බලපාපු විදුලි කප්පාදුව නිසා දවල් වරුවේ දේශනය නොපැවැත්වෙන බව දැන දැනත් මම ඇස් දෙක තිරයෙන් ඉවතට නොගෙනම බලා සිටියේ නොඉවසිල්ලෙන්. තවත් ඉවසන්න බැරිම තැන හිතට නැගුණු ආවේගය පිට කළේ ස්ටිකරයකින්: බුම්මාගත් බළල් පැටික්කියෙකුගේ හිසට ගෑවී නොගෑවී කළු කුරුල්ලෙක් ඉගිලෙනවා දැක්වෙන ඒ ස්ටිකරයේ අදහස මගේම වචනයෙන් කිව්‌වොත් “මම ඔයත් එක්ක තරහම තරහම තරහයි”. ඒ කළු කුරුල්ලා මට නම් පෙනුණේ නිතර දෙවේලේ මගේ බළල් පැටව් දෙන්නාට අරියාදු කරන නොසණ්ඩාල කපුටුබාලයා වගේ. ඔය ස්ටිකරය මහා බැනුම් වරුසාවක පෙර නිමිත්තක් බව අත්දැකීමෙන්ම දන්න නිසා ඔහුට නම් ඌව වැහි ලිහිණියෙකු වගේ පෙනෙන්නට ඇති. “Again???” (මේ මොකද ආයෙමත්)- අත්දැකීමෙන් අවදානම අඳුනාගත් නිසා හැරෙන තැපෑලෙන්ම පිළිතුරක්. “Where’s my rose?!” (කෝ මගේ රෝස මල?)- වචනයක්වත් නොකියා කතා බහට තිත තියන්න හිතුවත් මගේ නොඉවසිල්ල හරහට හිටියා. “අයියෝ සොරි සොරි. චුට්ටක් ඉන්න.” සිදුවුණු වැරැද්දේ බරපතලකම තේරුම්ගත් නිසා ඔහු වහාම ක්‍රියාත්මක වුණා. අකුරු හතරකට රාමු නොවුණු අපේ බැඳීම අවුරුදු එකහමාරක් තිස්සේ නිම්නයක නැවතුමක් නොදැන කඳු හෙල් අතරින්ම ගලා ගියා. කිසිම බැඳීමකදී දෙවනි තැන ගන්නට අකමැති හිතුවක්කාර මටත්, රාමුවෙන් පිටත පැවැත්ම තම ජීවන දර්ශනය කරගත් ඔහුටත් සම්මතයටත් අසම්මතයටත් රාමු නොවුණු මේ බැඳීම කදිමට ගැළපුණා. අවුරුදු එකහමාරකට ඉස්සර හන්තාන අඩවියේ සරසවි බිමේදී සිදුවුණු අපේ මුල්ම හමුවීම සිහිවෙන හැම විටකම මගේ මුවගට නැගුණේ හිනාවක්. හොඳටෝම වැහිබර සිකුරාදාවක හැන්දෑවක දේශනයක් අවසන් වෙලා එන ගමන් මම මග අයිනේ මොහොතකට නැවතුණේ ගසු යට සිය දහස් ගණනින් විසිරිලා තිබුණු රතු පාට මදටිය ඇට නොදැක්කා වගේ යන්න හිත හදාගන්න බැරිවුණු නිසයි. දුරකථන සංවාදයක් නිසා නැවතුණු බවක් මවා පාමින් දේශනයට සහභාගී වූ අය හැමදෙනාම පාහේ විසිර යනකම් ඉඳලා මම බිම දණගසාගෙන දිග සායේ ඔඩොක්කුවට මදටිය ඇට ඇහින්දා. උප සංස්කෘතියේ නියමයට අවනත නොවී බැරි තැන දිග සාය අඳින්න හිත හදාගත්තත් ස්වභාවයෙන්ම නොදැමුණු ගති තිබුණු මට ඒ ඇඳුම අඳින්න වුණු හැම තැනකදීම දැනුණේ අන්ත පරාජිත හැඟීමක්. නමුත් එදා නම් මදටිය ඇට රාත්තල් ගණනින් අහුලන්න ඒ ඇඳුම මට උදව් වුණා. “ආනේ වැලි බත් උයනවද?” පිටිපස්සෙන් ඇහුණු නුපුරුදු කටහඬක් නිසා මම තිගැස්සුණා. ඒ හඬ ස්වර පුවරුවේ මන්ද්‍රම ස්වරය තරම් ගැඹුරුයි; ගුප්තයි. මම දණිපනි ගා කලබලයෙන් නැටිටිද්දී ඔඩොක්කුවේ තිබුණු මදටිය ඇට සේරම බිම හැලුණා. පිටුපසින් සිටි නාඳුන්නාගේ මුහුණුවර හරි හැටි නොදැක්කත් ඔහු හතර රියනක් විතර උස බව නම් යාන්තමින් පෙනුණා. දරාගන්න බැරි ලැජ්ජාවත්, රැස් කරගත් වස්තුව අහිමි වීමත්, මගේ මනෝ ලෝකයට අනවසරයෙන් පිවිසුණු ආගන්තුකයා ගැන ඇතිවුණු කෝපය දෙගුණ තෙගුණ කළා. හොඳ හැටි මඩ තැවරී තෙතබරිත වුණු සාය මදක් ඉහළට උස්සාගෙන දිය කඩිති මැද්දෙන් අඩිය ඉක්මන් කරද්දී ඒ කටහඬ කොක් හඬලා සිනාසෙන ගමන් මෙහෙම කියනවා ඇහුණා: “චූටිම චූටි නංගියෙක්නෙ” “හිතාගෙන ඇති මහ ලොකු අයියා කෙනෙක් කියලා. දිගංචියා!” දෙවැනි වෙන්නට අකමැති මමත් දෙවරක් නොසිතා කටහඬ අවදි කළේ මේ නාඳුනන්නා ජ්‍යෙෂ්ඨයෙකු විය හැකි බවවත් නොතකමින්. හෙළ බොජුන්හලේදී, රඟහලේදීත්, මහ මගේදීත්, ආ ගිය හැම තැනකදීත්, වසංගතය අපිව නිවෙස්වලටම කොටු කළාට පස්සේ සයිබර් අවකාශයේදීත්, පුංචි වුණත් ගම්මිරිස් ඇටය සැර බවත්, මගේ මනෝ රාජ්‍යයේ ඔහුට පුරවැසිකම් නොලැබෙන බවත් ඔහුට ඒත්තු ගන්වන්න මම නොදැරූ උත්සහයක් නැති තරම්. නමුත් දුර ඈත රටක සිට සීත කඳුකරයට ඇවිදින් ආදරණීය පවුලකත්, බලු බළල් කුකුළු ඉබි සුරතලුන්ගේත් සෙනෙහස විඳිමින්, ගස් කොළන්වලට ආදරය කරමින් ඇති දැඩි වුණු ඔහුගේ ලෝකයෙන් බිඳක් ඔහු මාත් සමඟ ස්වකැමැත්තෙන්ම බෙදාගත් හැම මොහොතකදීම මගේ හද උයනේ දොරටු පළුත් ඔහු වෙනුවෙන් අඟලින් අඟල විවෘත වුණා. හදවතින් කොයිතරම් සමීප වුණත් මම ඔහු සමග නොගැටුණු දවසක් නොතිබුණු තරම්. එවකටත් මතු පිටින් පරිණත බවක් ආරූඪ කරගත්තත් සිතින් ළදැරියක වුණු මගේ බොළඳකම් උපේක්ෂාවෙන් ඉවසා දරා ගන්න ඔහුට පුළුවන් වුණේ පොඩිත්තන් තුන් දෙනෙකුගේ ලොකු අයියා වීම නිසා වෙන්නැති. දෙදවසකට ඉස්සර සැකය දැල්වූ පුංචි ගිනි පුළිඟුවක් තුන්වෙනි ලෝක යුද්ධය දක්වා ඇවිලෙන්නට නොදී නිවා දැමූ ඔහු සාම සාකච්ඡාව අහවර කළේ මෙහෙමයි: “ඔයාට එදා පෙන්නපු රෝස පොහොට්ටුව අද උදේ පිපිලා තිබුණා. නංගි මට උදේම මතක් කළා ඔයාට ෆොටෝ එකක් යවන්න කියලා. දැන් රෑ වෙලා වැඩියිනෙ...මම හෙට උදේම එවන්නම්කො...” ස්ටිකරයක් යවමින් මම සටන් විරාමය අවසන් බව දැනුම් දුන්නේ පැය විසි හතරකුත් තවත් දොළහකුත් ගතවුණු තැනත් පොරොන්දුව ඉටු නොවෙද්දී අළු යට වැළලී තිබුණු කෝපයේ ගිනි පුපුරු යළිත් ඇවිලුණු නිසයි. ටූට් ටූට් හඬක් මගේ දැහැන බිඳ දැමුවා. සිදුවුණු ප්‍රමාදයට හිලව් වශයෙන් මම නම නොදන්නා තැඹිලි පාට වන මලක ඡායාරූපයකුත් ඔහු එවා තිබුණා. “Nice” මලට ගැලපෙන වර්ණයේ හදවත් තුනක් එක්ක මම ඔහුට යැව්වා. “වහිනවෝ!” බලාපොරොත්තු නොවුණු විදියේ පිළිතුරක්. “තෙමිලා හෙම්බිරිසාව හදාගන්නෙ නැතුව ගෙට දුවන්නෝ!” මම කඩිනමින් පිළිතුරක් යැව්වා. නියඟයේ බලපෑමෙන් ගමේ ජල සැපයුම අඩාල වුණු නිසා නිවසේ එදිනෙදා පාවිච්චියට අවශ්‍ය ජලය සැතපුම් ගණනක දුර ගෙවාගෙන ඔසවාගෙන එන්න වුණු බව ඔහු මට කියා තිබුණා. ඒ වගකීමෙන් ඔහුව ඉක්මනින් නිදහස් කළ අහසට මම රහසේ පින් දුන්නා. පොද වැස්සට තෙමුණු රෝස මලක් තිරය මත දිස්වුණා. රතු, දම් පාටත්, දුඹුරු, රෝස පාට මුසුවුණු ඒ මලේ පැහැය තිරය මත මැව්වේ මම මෙතෙක් කල් නොදුටු අපූරු චමත්කාරයක්. “That’s so beautiful. I’ve never seen that colour before…” (හරිම ලස්සනයි. මම ඒ පාට කලින් දැකලම නැහැ) මම සිතේ තෙරපෙන සතුට වචනවලට මුසුකළා. “No…It’s a red rose” (නෑ. ඒ රතු රෝස මලක්...) ඔහු ඊට දුන් පිළිතුර මට පැහැදිලි වුණේ නැහැ. ප්‍රශ්නාර්ථයකට ඉඩක් නොතබාම ඔහු තවත් කෙටි පණිවුඩයක් එව්වා: “ෆෝන් එක දැන් හුඟක් පරණයි. කැමරාවෙ ලෙන්ස් එක එක්ස්පයර් වෙලා දැන්...” “Oh” අනපේක්ෂිත පිළිතුර හමුවේ මම මොහොතකට ගොළු වුණා. “Sorry” සවනට නොවැකුණත් කලකට පෙර බැඡියේ ජනප්‍රියම ඡායාරූප ශිල්පියාගේ ස්වරය අද හැඟුම්බරයි; හැඬුම්බරයි. නුපුරුදු මීදුම් පටලයක් හිතුවක්කාර ඇස් දෙක වෙලාගනිද්දි, කොහෙන් ආවාදැයි නොදන්නා වැහි කෝඩයක් දෙකොපුල් තෙමද්දී, මම හිතට දැනුණු දේ අමාරුවෙන් අකුරු කළා, “එහෙම කියන්න එපා. මම ඒ පාටට ඇත්තටම ගොඩාක් ආසයි...” “වෛවර්ණ කවි ලියන කවිකාර බඹරු මැද කවි තාල නොදන්න මගෙම වැහි කවිය ඔබ” මගේ නොවන මගේ ගීය සමග දැහැනකට සම වැදුණු හැම මොහොතකම ඒ රුව හදවතේ සිතුවම් වුණා. ලොවට රහසින් නිතර මුමුණන ගී අතරට ඒ පද වැලක් එක් වුණා. ******************************************************************** පොද වැස්ස ටිකෙන් ටික මහ වැස්සකට පෙරලුණා. අහසේ ඇඳුණු විදුලි රේඛා දැවැන්ත නාගයින් සිහිපත් කළා. අහස දෙස නෙත් යොමාගෙන එළිමහනේ සිටගෙන සිටි ඔහුගේ කබාය සුළඟට ලෙළදුන්නා. “අකුණු ගහනවා හෙවණට එන්න!” අකුරු හතරක් සතර කොණට තබා අටවාගත් අතු පැළක සෙවනේ ඉඳන් මම මහ වැස්සේ ඝෝෂාවට වඩා හඬ උස් කරන්න වෙහෙසුණා. ඇස් නිලංකාර කරවන ගිනි ජාලාවක් අහස දෙබෑ කරද්දී කන් බිහිරි කරවන හෙණ හඬක් නැගුණා. සැඩ සුළි සුළඟක් මම අමාරුවෙන් අටවාගත් අතු පැළ ක්ෂණයෙන් සුණු විසුණු කළා. නිසල අහසක සෙවණ යට ගිරා පෝතකයින් දෙදෙනෙකු වගේ දොඩමළු වී සිටි අපි දෙදෙනාව සිත් පිත් නැති වා සුළිය දෙපැත්තකට පා කර හැරියා. මම සැඩ සුළඟත් සමග පොර බදද්දී ඔහු වරා මලක් සේ සුළං රැල්ලට නතු වුණා. “කපුටු කාක් කාක් කාක්...” කැදලි කැඩී ඉහිරී හවුහරණක් නැතිව සුළඟට ගසා ගෙන යන අපිට කාක රාවයක් සරදම් කළා. වියැලී ඉරිතැලුණු බිමට දිය පොදක් නොදී වැසි දිය මුහුදට ගලා ගියා. කඩාකප්පල්කාරී වැහි කෝඩය තුරල් වෙද්දී ඔහුත් මමත් එකිනෙකට සමාන්තර විදුලි තරප්පුපෙළවල් දෙකක සිටගෙන සිටියා. මා වෙත දුර සිට පාවීගෙන එන ඔහුගේ මුහුණ දුර සිට දකිද්දී මුහුණේ සිනහවක් ඇඳුණේ නිරායාසයෙන් වුණත් ඔහු හිස් බැල්මෙන් ඉදිරිය බලාගෙන හිටියා. වැහි කෝඩයටත්, උතුරු සුළඟටත් නතුවුණු ඔහුගේ හදවත මිදී ගොස් ඇති බවත්, ඔහු දැන් මිනිස් වෙස්ගත් සෙල්රුවක් බවත් අවබෝධ වෙද්දී ආයාසයෙන් මුවගට නගාගත් වචන ගොළු වුණා. ඔහු රැගත් තරප්පිය පොළොව ගිලගන්න සූදානම් වෙද්දී මම මොහොතකට දෑසම පියාගත්තා. ගමනාන්තයක් නොපෙනෙන තරප්පු පෙළ ඔස්සේ මම කාක රාවය නෑසෙන මානය තෙක් නොනැවතී ඉහළටම ගියා. “දැන් කවි ලියන්නේ නැද්ද?” කියා විටින් විට අසන බඹර කොවුල් රාවයත් කාක රාවය තරම් ම කන්දොස්කිරියාවක් වෙද්දීත් මම මුනිවතම රැක්කා. බඹරු මලින් මලට ඉගිලෙද්දී, කපුටු කැදලිවල කොවුල් බිජු පුපුරද්දී ඒ හඬත් ටිකෙන් ටික නෑසී ගියා. “If you see the wonder Of a Fairy Tale You can take the future Even if you fail” මම සෝපාව උඩම නිදි කුමරියගේ ග්‍රහණයට නතු වුණු බව තේරුම් ගියේ ජංගම දුරකථනයේ රින්ගිං ටෝනය මගේ සිහිනයට බාධා කළ නිසයි. ගතවුණු කාලය ගැන අවබෝධයක් නැතත් බාගයක් පමණක් තොල ගාපු තේ කෝප්පය ඇල් වතුර වී තිබුණා. “Radha Nangi” දුරකථනයේ තිරය මත ඒ නම දිස්වුණා. මල්ලිගෙන් බලාපොරොත්තු වුණු ඇමතුම ඔහුගේ බිරිඳගෙන්? මම ඇමතුමට සම්බන්ධ වුනේ තරමක කුකුසකින්. “හෙලෝ නංගි...” “නැන්දෙ මම අපූ. නැන්දට ෆොටෝස් ටික යවන්න කියලා අම්මගෙන් ටිකකට ෆෝන් එක ඉල්ලගත්තෙ. තාත්තට කියන්න එපා හොඳද?” පොඩ්ඩාගේ කුසුකුසුව මගේ කුතුහලය ඇවිස්සුවා. “නැන්දෙ අපෙ අක්කට එයාගෙ ඉස්කෝලෙ අයියා කෙනෙක් රෝස මලක් දීලා තිබුණා. අම්මයි තාත්තයි දන්නෙ නෑ ඒ බව. දැන් මල නම් පරවෙලා. නැන්දා ගිය වතාවෙ කිව්වෙ අර ලොකු රෝස ගහ පැළ කළේ මල් පොකුරක තිබුණු අතු කෑල්ලකින් කියලා… යූ ටියුබ් එකේ තිබුණා රෝස අතු කෙසෙල් ගෙඩියක ගහලා පස්වලට යට කරාම ඉබේම පැළ වෙනවා කියලා. එහෙම කරාම හරියනවාද නැන්දෙ?” කලකින් නොදැනුණු උද්‍යෝගීමත් උණුසුමක් මගේ ගත සිත දෙකම වෙලාගත්තා. ඇසෙන මානයේ කවුරුවත් නොහිටියත් මමත් කටහඬ උපරිමටයම බාල කළා. “පැටියෝ... ඒ මල… ඒ මල මොන පාටද?”

NEWS

විභව කෙටිකතා | වැහි කවිය

  • Date: 2022-08-05