Blog



වාදකයාණෙනි ඔබේ සිතාරය සත්සර නංවන සුමිහිරි රාවය කෙතක ගොයම් නෙළනා ළඳුන්ගේ දෙතොලේ ගීයට මුසුකළ මැනැවී අඩ අඳුරේ මන්මත් කළ රාගය තොල ගාමින් මෝහයේ සුරාවිත ආලිංගන නැටුමකට සාදයක කුමට වයන්නෙද එවන් සිතාරය නව ලොව එළිකළ අරුණාලෝකය රන්කෙත කරවන සඳ ආලෝකය සව්සිරි අස්වනු නෙළනා ගීතය රසවත් කළමැන වයා සිතාරය අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුනේ ඒ මිනිසුන්නෙ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදුකොඩි නැගුනේ රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ පන්හිඳෙන් ගිලිහුණු මේ පද පෙළ, ටී.එම් ජයරත්නයන්ගේ හඬින් අසා නැති කෙනෙකු නොමැති තරම්ය. ඔබ අප ජීවත් වන ලෝකය තමන්ගෙ දාඩියෙන් , ලෙයින් පෝෂණය කරමින් මහා විස්කම් දායාද කළ මහපොළොවේ සැබෑ මිනිසුන්ට සැබෑවට ම සමාජයේ හිමිවිය යුතු පුදසුන හිමිවූවා ද යන්න මෙම පද පෙළ විමසයි. "වාදකයාණෙනි" ගීතය මා දකිනුයේ එවන් සැබෑ මිනිසුන්ට යම් තරමක හෝ ගෞරවයක් ලබා දෙන මෙන් කරනා ආයාචනයක එක් පැතිකඩක් ලෙසයි. වාදකයාණෙනි ඔබේ සිතාරය සත්සර නංවන සුමිහිරි රාවය කෙතක ගොයම් නෙළනා ළඳුන්ගේ දෙතොලේ ගීයට මුසුකළ මැනවි දිව්‍යමය නාද සවනට ගෙනෙනා සිතාර් වාදනයේ උසස් බවත් එම වාදනය සිදුකරන්නාවූ වාදකයාගේ හැකියාවත් දක්ෂතාවයත් මෙහිදී මනාව විස්තර වේ. සදෙව්ලොව පවා කම්පනය කරන්නාවූ මෙම සුමිහිරි නාදය , කුඹුරක ගොයම් නෙළමින් සිටිනා කාන්තාවන් ගයනා නෙළුම් කවියකට මුසු කරන ලෙස පළමුව රචකයා ආයාචනය කරයි. එවන් වූ උසස් වාදනයක් කුඹුරක වැඩ කරන කාන්තාවන් තම වෙහෙස නිවාගනු පිණිස ගායනා කරන කවි පෙළකට එක්කරන මෙන් ඉල්ලා සිටීමෙන්, රචකයා මෙම කාන්තාවන් ඉතා උසස් මට්ටමෙ ගෞරවයකට ලක්විය යුතු බව අදහස් කරයි... රටකට ජාතියකට බත සපයනු වස් ජාතියක බර දරන්නාවූ මේ කාන්තාවන් කොතරම් ශ්‍රේෂ්ඨ ද යන්න මනාව පැහැදිලිය. සැබැවින්ම එය එසේම ය. අඩ අඳුරේ මන්මත් කළ රාගය තොල ගාමින් මෝහයේ සුරාවිත ආලිංගන නැටුමකට සාදයක කුමට වයන්නෙද එවන් සිතාරය ගීතයේ දෙවන කොටසෙන් සමාජයට ඵලදායි වැඩක හෝ තමන්ට ඵලදායි නොවන සිහින ලෝකවල ජීවත්වන නිෂ්ඵල මිනිසුන් කොටස එක්තරා ආකාරයක විවේචනයකට ලක් වේ. එසේම එවන් නිෂ්ඵල මිනිසුන් පිරුණු සාදයන් වල මෙවන් විශිෂ්ඨ වූ වාදනයක් කිරීමෙන් ඇති ඵලය කුමක්ද යන වග රචකයා ප්‍රශ්න කරයි. එසේම රටට ලෝකයට වැඩදායි නොවූ කුසීත මිනිසුන් ඉදිරියේ වාදනයක නිරතවීම වාදකයාටත්, වාදනයටත් අගෞරවයක් ගෙනෙන බව රචකයා අවබෝධ කර දෙයි. නව ලොව එළිකළ අරුණාලෝකය රන්කෙත කරවන සඳ ආලෝකය සව්සිරි අස්වනු නෙළනා ගීතය රසවත් කළමැන වයා සිතාරය ඔබට කවදාවත් එකම ගඟ හමුවන්නේ නැත . එසේම ඔබට කවදාවත් එකම ලෝකය, එකම සමාජය හමුවන්නේ ද නැත. අරුණාලෝකය සමඟ සැමදාම උදාවන්නේ අලුත් ලෝකයකි. එලෙස උදාවන අලුත් ලෝකය වඩා යහපත් ලෝකයක් කිරීම උසස් මනසක් ඇත්තවුන්ගේ වගකීමයි. මෙහිදී උදාවන අලුත් ලෝකය වඩා සුන්දර ලෝකයක්, වඩා යහපත් සමාජයක්, සතුටින් පිරුණු සිනහවන් ඇති කරන්නට දායක වන සියලු දෙනා ශ්‍රේෂ්ඨයන්, සැබෑ මිනිසුන් බව ප්‍රකාෂිත ය. හෙටට ගොඩනඟන සෞභාග්‍යයමත් ලෝකය ආලෝකමත් කරන්නෙ ඔවුන් බව සුපැහැදිලිය. අවසානයේ රචකයා දක්වන්නෙ වාදකයාගෙ වාදනය එක්කළ යුතු කවි පෙළ හුදෙක් නෙළුම් කවියක් ම නොවන බවයි. කුසගිනි නිවන අරගලයක එක් සංධිස්ථානයක් වන මෙහිදී කන්තාවන් ගයන්නෙ රටේම සෞභාග්‍යයේ ගීතයයි. ගී පද රචකයාගේ ආයාචනය එම සෞභාග්‍යයේ ගීතය දිව්‍යමය සප්තස්වරයෙන් රසවත් කරන ලෙසය. මෙම ගීතය සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් විසින් රචනා කර ඇත්තෙ 70-77ඇතිවූ ආහාර හිඟයට මූණදීමට ගෙන ආ " වගා සංග්‍රාමය" දිරිමත් කිරීම උදෙසායි. මිනිසුන්ගේ කුසගිනි නිවීම එක්තරා අරගලයකි. එවැනි ශ්‍රේෂ්ඨ අරගලයන් තුල කලාකරුවෙකුගෙන් ඉටුවිය යුතු භූමිකාව මෙම ගීතයෙන් ඉස්මතු කර දක්වයි. අරගලය පණ පෙවීමට පන්හිඳෙන් ගිලිහෙන වචන කොපමණ බලගතු ද යන්න සුපැහැදිලි ය .

NEWS

හඬ මත පැටළුණු අකුරු | 91 වන දිගහැරුම

  • Date: 2022-08-08