Blog



නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි අද මට ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගෙ හඬින් නොව අනේපිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසා වදාහල මැනවි බුදුබණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහර ද කැපී වෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා එයින් හිමි හුරු කළා වූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මා හට මලක් වූ දා මගේ ජීවය ඔබේ පාමුල පරවුණාවේ නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි අද මට ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගෙ හඬින් නොව අනේපිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මට ද දැන් දෙසා වදාහල මැනවි බුදුබණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් ගායනය : වික්ටර් රත්නායක ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය : වික්ටර් රත්නායක බෞද්ධ දර්ශනයට අනුව මිනිසත් බව යනු ඉතාම කලාතුරකින් අපට හිමිවන අවස්ථාවකි. එයිනුත් විකලාංග රහිත මිනිසත් බව ලැබීමට තරම් ඔවුන් කෙතරම් පිං කර ඇති ද? එසේම සිත, කය, වචනය සංවර කරගැනීමට මඟ පෙන්වන, ඉපිද මැරී, යළි ඉපිද යන මේ දුක් පිරුණු සංසාරය කෙළවර කර ගැනීමට වරම් හිමිවන බුදු දහම ඇහෙන අහන රටේ බෞද්ධයකු වී ඉපදීම අතිමහත් භාග්‍යයකි. මේ ගීතය ඇසෙන විට මට සිහිවන්නේ පෙර බුදු දවස බුදුන්ගේ රූපශ්‍රීයට වශීකෘත ව, බුදුන්ගේ ශ්‍රී මුඛයෙන් වදාළන දහම් හඬට වශීකෘත ව බුදුන් සරණ යාමට පැමිණි ඒ සිව්වනක් පිරිස ය. මෙම ගීතයද එබඳු යැ'යි මට හැඟේ. "නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි අද මට ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගෙ හඬින් නොව අනේපිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මට ද දැන් දෙසා වදාහල මැනවි බුදුබණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් " මෙම සැදැහැවත් පිංවතා තමා ලද උතුම් වූ මිනිසත් බව පිළිබඳ සතුටු වී පින් රැස් කර ඉන් තම සසර කෙළවර කරගන්නවා වෙනුවට සිදුකරනු ලබන්නෙ ආත්ම කළකිරීමෙන් පසු තැවීම ය. ඔහු යැදීමක් කරයි. කිසිදා කිසිවෙකුට කිසිකලෙක සමකළ නොහැකි, නමුත් එවන් බුදු කෙනෙකුට ම පමණක් සමකළ හැකි මහා කරුණා ගුණයක් හිමි බුදු හිමියනි, ඔබගේ ඒ කරුණා ගුණය මා වෙත හෙළා අනේපිඬු සිටු පුතුට ඔබවහන්සේ වදාළා සේම මට ද බුදු වදන් දෙසනු මැනවි. බුදු හිමියනි ඔබ දෙසූ බණ මං ඕනෑ තරම් අසා ඇත. නමුත් ඔබේ හඬින් මට අසන්නට ඇත්නම්.... අද මට ඉතිරිව ඇත්තේ ඔබ වෙනුවට තනන ලද මේ පිළිරුව පමණි. බුදු දහම යමෙක් වටහා ගනී ද, එය තේරුම් ගනී ද, එය බුදුන් දුටුවා වැනි ය. එය තේරුම් නොගැනීමට තරම් කථකයා පෘතග්ජන ය. "ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහර ද කැපී වෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා එයින් හිමි හුරු කළා වූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන් මහා කරුණාවෙන්" මං මහා ගලක් වුණේ නම් ඒ වදින රළු කුළුගෙඩි පහරවල් පවා මා හට දරාගත හැක. ඔබවහන්සේගේ රුව කැටයම් වන තුරු ගැලවී යන පතුරු පවා දරාගත හැකි ය. පසුව එම රුවෙන් උතුරා ගලා යන ශාන්තියෙන් සැනසෙන්නට මට හැකි ය. "මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මා හට මලක් වූ දා මගේ ජීවය ඔබේ පාමුල පරවුණාවේ" මිනිස් ආත්මයක් ලැබුණු නිසා මාහට ඔබේ ශ්‍රී පාදය පාමුල නිවී සැනසී පරවී යන්නට තිබූ වරම් අහිමි වී තිබේ. මා මලක් වූවා නම් මීට වඩා මට සැපකි. සතුටකි. කථකයා සිතන්නෙ එලෙස ය. යම් දිනෙක මා මලක් වුවහොත් එදිනට මගේ ජීවය ඔබේ පාමුළ පර වී ගියාදෙන් කියා කථකයා ප්‍රකාශ කරයි. මෙහි අන්තර්ගත ව්‍යංගයට මා බෙහෙවින් ඇලුම් කරමි. ගීතයේ ප්‍රබලම යෙදුම මෙයැයි මට හැඟේ. ධර්මය පිළිබඳ මනා අවබෝධයකින් තොරව බුදු රුවට, බුදු වදනට ඇලී ගැලී පැමිණෙන්නා පවා අවසන උතුම් වූ නිවන අවබෝධ කරගන්නේ ය. එපරිදෙන් මේ කථකයා ද මලක් වනවා යැයි ප්‍රකාශ කරන්නෙ ධර්මය වටහා ගෙන උතුම් වූ නිවන අවබෝධ කරගත් දිනක, එනම් එදිනට ඔහුට ඔහුගේ ජීවය සංසාර ගමන බුදුන් ඉදිරිපිට නවතා දැමිය හැක. මා මෙය දකින්නෙ යමක් වටහා නොගෙන, ඇලීම නිසා වුවද අප ඇබ්බැහි වන්නේ, ලැදි වන්නේ යහපත් දෙයකට නම් එයින් අපට යහපතක් මිස අයහපතක් සිදු නොවේ යන යථාර්ථය උකහා ගත හැකි නිර්මාණයක් ලෙස ය. එය බුද්ධාලම්බනයෙන් වර්ණ ගැන්වී ඇති නිසා මෙය බෞද්ධ දර්ශනය අදහන විශ්වාස කරන බොහෝ දෙනාගෙ සිත් සතන් සෞම්‍ය ලෙස සන්තර්පණය කිරීමට සමත් වේ.

NEWS

හඬ මත පැටළුණු අකුරු | 92 වන දිගහැරුම

  • Date: 2022-08-11