Blog



සිංහල සිනමාව සහ දකුණු ඉන්දියානු සිනමාව සඳහා නැවුම් ඇරඹුමක් ලෙස SECOND SHOW වැඩිහිටි චිත්‍රපටය හඳුන්වා දිය හැකිය. චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා සාකච්ඡා හා අවශ්‍ය කටයුතු 2019 වසර අග භාගයේදී ආරම්භ වූ අතර එංගලන්තයේ ලන්ඩන් හා බර්මින්හැම් නගරවල ප්‍රධාන වශයෙන් රූගත කිරීම් සිදු වී ඇත. දකුණු ඉන්දියානු අධ්‍යක්ෂක A.T. ඥානම්ගේ අධ්‍යක්ෂණයක් හා මහදේවන් ගනේෂ්ගේ නිර්මාණ කර්තව්‍යයක් ලෙස මෙය හැඳින්විය හැක. "ඩාක් රූම් ක්‍රියේෂන්" වෙනුවෙන් කෞෂල්‍යා වික්‍රමසිංහ සම නිෂ්පාදනයෙන් චිත්‍රපටය රූගත විය. මෙම චිත්‍රපටයේ විශේෂත්වයක් වනුයේ සිංහල සහ දමිළ භාෂා ද්විත්වයෙන්ම නිර්මාණය කිරීමයි. මෙම චිත්‍රපටය ඉන්දියානු සිනමාශාලවල සහ ලංකාවේ සිනමාශාවල මේ වන විට විකාශය වේ. SECOND SHOW චිත්‍රපටයේ රංගනය සඳහා මරාති නිළි පල්ලවී සුභාෂ් , තෙළිඟු නිළි අක්ශතා සොනාවනේ , ජනප්‍රිය නළු අජ්මල් අමීර් වැනි ඉන්දීය රංගන ශිල්පීන් රැසක් දායක වේ. එසේම මෙහි ප්‍රධානතම චරිතයක් සඳහා ශ්‍රී ලාංකීය සිනමාවේ ජනප්‍රිය සම්මානනීය නළු හේමාල් රණසිංහ රංගනයෙන් දායක වීම සුවිශේෂී වේ. ඔහු පුද්ගලයන් දෙදෙනෙකු ලෙස එකම අවස්ථාවක රංගනයේ යෙදීම මෙහි දැක ගත හැක. ආදරය , තරහව , කේන්තිය සේම නිවුනු හැඟුම් කීප ආකාරයකින් එකම චිත්‍රපටයක් තුළ නිරූපණය කිරීම ඔහු මෙහිදී සිදු කරයි. සාමාන්‍ය ආදරණීය පෙම්වතෙකුට වඩා වෙනස් ආකාරයක ද්විත්ව හැසිරීමක් දරන පෙම්වතෙක් නිරූපණයට ඔහු මෙහිදී සමත් වේ. ආදරය, ලිංගිකත්වය, මත්ද්‍රව්‍ය සඳහා පෙළඹීම ගැන ප්‍රධාන ලෙස තේමා වී SECOND SHOW චිත්‍රපටය නිර්මාණය වී ඇත. පුද්ගලයෙක් මුණගැහුණු පසු අපට ඇත්තටම ඔහුව ඇසුරු කිරීමේදී ඔහුගේ අවංකකම තේරුම් ගැනීමට හැකිද? මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීම ජීවිතවල අවසානය කෙසේ තීරණය කරනවාද ? කෙනෙක් කෙරෙහි ඇතිවන ආදරය යන හැඟීම හුදෙක් ලිංගික අවශ්‍යතා සඳහා පමණක්ද ? ගැහැණිය යනු සමාජයේ ගරුත්වය ලැබිය යුතු තැනැත්තියක් මිස පිරිමින් සඳහා නිමවූ අවශ්‍යතා පිරිමසා ගැනීමේ ක්‍රමයක් නොවන බව ද , කවදාම හෝ ස්වභාවධර්මය සත්‍ය සඳහා සාධාරණය ලබා දෙන බවද මෙම චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂක ජනයාට ලබාදෙන පණිවිඩ අතර වේ. සිංහල චිත්‍රපටයේ දෙබස් රචනය තිසර ඉඹුලාන මහතාගේ වන අතර ,මෙහි එන අලංකාරයෙන් යුත් ගී පද රචනය කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ විසිනි. කසුන් කල්හාර , උරේෂා රවිහාරි ඇතුළු ගායක ගායිකාවන් කීපදෙනෙක් සිංහල ගීත ගායනයෙන් සඳහා දායක වී ඇත. අලංකාර පසුතල නිර්මාණය , දක්ෂ කැමරාකරණය , උසස් මට්ටමේ තාක්ෂණයක් භාවිතා කර මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත. සමාජයට වැදගත් පණිවිඩයක් එක් කිරීමට මෙන්ම, සිංහල සිනමාව සහ ඉන්දීය සිනමාව යා කිරීමෙහිලා සඵලදායී පියවරක් තබන්නට සමත් වූ SECOND SHOW චිත්‍රපටය ඔබේ ,නැරඹිය යුතුම සිනමාපට ලැයිස්තුවට ඇතුලත් විය යුත්තකි.

NEWS

විභව Unframed | Episode 68 | SECOND SHOW

  • Date: 2022-08-12