Blog



කැලණි ගඟ මේ පිහිය අරගෙන හිමින් පහළට ඔයා යන්න සරමේ ලේ ගඳ කැළැල් නොගියොත් මාව පතුළෙ ම තියාගන්න මුහුද හම්බෙන තැනදි අම්මට අපේ විස්තර කියල දෙන්න එයා යනකොට කියපු විදියට නංගි රැක්කය කියල ඔන්න වළං තුනපහ තමයි දන්නෙ ඒකි කරනා හරියෙ විස්තර ඉදල් කොහුමිටි තියපු හැටියෙ ම බදාගත්තේ කිළිටි රෙදි උර හවස් වෙනකොට රිදුම් කෑවත් කකුළ් අතපය කොන්ද පතෝර මමයි කිව්වෙ නොනිදා හිටපං ඇහෙනතුරු උගෙ නින්දෙ ගොරගොර සිංහබාහු කතාවේ වගේ මමත් බැලුවෙ ලෙන කඩන්න සිංහයා, ගේ නැති වෙලාවක නංගිත් බේරං පැනලා යන්න එහෙම හිතලා දවස් ගාණක් ඇඟිලි ගැන ගැන ඉද්දි ඔන්න මං පරක්කුයි එදා සිංහයා පැනලා තිබුණා ඒකි කන්න අතීතෙට මට යන්න හැකිනම් සිංහබාහුව වෙනස් කරනවා සුප්පා දේවිය නැති ගුහාවෙ සිංහසීවලී නොදා ඉන්නවා සිංහයා මත්වෙලා එනකොට මන්න පිහියක් අතට ගන්නවා සිංහබාහු යද්දි වැලිකඩ තිරය හෙමිහිට වහලා දානවා පද රචනය : ජනිත් විතාරණ ගායනය : දිල්ශාන් උමයංග සංගීතය : දිල්ශාන් උමයංග & Gandhar Musing අම්මට ගෙදර බුදුන් වෙන්න පෙරුම් පිරුවේ අපේ පියවරුම යි. අම්මා ගෙදර අරටුව වෙනකොට ඒ අරටුව රකින්න හයියට හිටිය පොත්ත වුණේ අප්පච්චිලා. අම්මා තාත්තා කියන්නෙ ම අපට සසරක්. ඒත් ඇත්තටම හැම අම්මම තාත්තම ඒ වගේ ද ? ඔව් එහෙම ප්‍රශ්නයක් නැඟෙන තරමට ම ආන්දෝලාත්මක සිද්ධි මේ සමාජය තුළ දැන් දැන් මැවෙමින් තියෙනවා. මේ එහෙම සිද්ධියක අනාවරණයක්. සමහර ඛේදයන් කෑ ගහල කොයිතරම් කිව්වත් ඒවා මිනිස්සුන්ට ඇහෙනවා විතරයි. අහන්න කවුරුත් ලෑස්තිත් නෑ. ඉතින් එහෙම කෑගහල කියන්න ඕන ගොඩක් තැන්වල ඇතැම් මිනිස්සු ඒ දැනෙන හැඟීම්වලට පණදෙනවා. අකුරු කරල ඒවට හුස්ම දෙනවා. මේ එහෙම අවස්ථාවක්. එහෙම පණ දුන්න මේ නිර්මාණය හදවතින් මොළේටයි, මොළෙන් හදවතටයි විවිධ විදියට සංක්‍රමණය වෙනවා. මේක කොළඹ අවට කැලණි ගඟ ආශ්‍රිතව ජීවත් වූ පුංචි පවුලක කඳුළු කතාවක්. මං හරියට එහෙම කියන්නෙ කැලණි ගඟයි - වැලිකඩයි මූලික කරගනිමින් මේ කතාව ගෙතී ඇති නිසයි. කැලණි ගඟ මේ පිහිය අරගෙන හිමින් පහළට ඔයා යන්න සරමේ ලේ ගඳ කැළැල් නොගියොත් මාව පතුළෙ ම තියාගන්න මුහුද හම්බෙන තැනදි අම්මට අපේ විස්තර කියල දෙන්න එයා යනකොට කියපු විදියට නංගි රැක්කය කියල ඔන්න මේ අහිංසක තරමට ම නංගිට පණවගේ ආදරේ කරන අයියෙක්ගෙ කතාවක්. සහෝදර බැඳීම කියන්නෙ වචනවලට හරවන්න බැරි කොයිතරම් මරාගෙන හිටියත්, වෙන එකෙක් හරි රවල බැලුවත් ඇඟේ ලේ රත් වෙන එකට. බැඳීමක් වෙනුවෙන් පණ දෙන්න වගේ ම පණ ගන්න වුණත් තියෙන හයියට. ඒ තරම් කැක්කුමක් මේ බැඳීම ඇතුළෙත් තියෙනවා. ජීවත් කරවනවා වගේ ම තමා.. කෙනෙක් මරන්න වුණත් ආවේගයක් එනවා තමන්ගෙ ම එකාට අවැඩක් වෙනකොට. අයියගෙයි නංගිගෙයි බැඳීම කියන්නෙ හරි ලස්සන බැඳීමක්.. නංගියෙක්ට අයියෙක් කියන්නෙ ලෝකයක්. ඒ හෙවණැල්ල යට තියෙන ආදරේ, රැකවරණය කොයිතරම් ද කියල වචන කරන්න මං දන්න අකුරු මදි. නංගියෙක් කියන්නෙ ම අයියෙක්ට මහාලොකු ආඩම්බරයක්. ඒ ආඩම්බරේ දකින්න පුළුවන් අයියෙක්ගෙ ඇස්දෙකක් ඇතුළින් ම විතරයි. ඒවට වචන නෑ. ඒවා තනිකර ම හැඟීම් විතරයි. මේ අයියගෙයි නංගිගෙයි බැඳීමත් ඒ වගේ බැඳීමක්. අවාසනාවට මෙතන මහා විනාසයක් වෙලා තියෙනවා. මේ විනාශය ගැන අම්මට පණිවිඩය කියන්න වගේ ම තමන්ගේ දඬුවම තීරණය කරන්නත් අයියා ආමන්ත්‍රණය කරන්නෙ සර්වාගමිකයන්ගේ වැදුම්පිදුමට ලක්වන සමනල කන්දෙන් ඉපදිලා ගෙන්දගම් පොළොව සනහාගෙන මුහුදෙ ගිලෙන්න යන කැලණි ගඟට. අයියා කියනවා, " මෙන්න මේ පිහිය අරගෙන ඔයා හිමීට ගලාගෙන යන්න" කියල. ඒක ආයාචනයක්. ඊට පස්සෙ එයා කියනවා, "මේ මං ඇඳගෙන ඉන්න සරමේ ගඳ ගහන මේ ලේ පැල්ලම් ඔයාට හෝදලා යවන්න බැරි නම් ආයෙමත් මට ගඟෙන් මතුවෙන්න දෙන්න එපා, මාව මේ ගඟ පතුළෙ ම හංගන්න" කියල. ඒ කියන්නෙ මං කරපු වැරැද්දට සමාව දෙන්න පුළුවන් ද, බැරි ද කියලයි මේ අහන්නෙ. අපි කතාවටත් අහල තියෙනවනෙ කරපු පව් සමාකරගන්න පුළුවන් කියල වරක් වැන්දොත් කැලණිය. එහෙනම් මේ අයියා පාපයක් කරල. පවක් බව දැන දැන ම කරපු පවට සමාව දෙන්න කියන එක තමයි මේ ව්‍යංගයෙන් කියන්නෙ. ජීවිතේ කියන්නෙ ගඟක් ඉතින් මේ ජීවන ගංගාව ගලාගෙන යන කෙළවර ගඟ මියැදෙනවා. ඒ මුහුද ළඟදි. අයියා කියනවා ඔයා මරණය දකින තැන ඒ කියන්නෙ මුහුද හම්බෙන තැන අපේ අම්ම ඇති කියල.. ඒ කියන්නෙ මේ දරු දෙන්න ගැන දැඩි ස්නේහයෙන් ආදරයෙන් ඉදපු, වදපු අම්ම මැරිලා ගිහින්. දරුවො වෙනුවෙන් මේ ජීවිතේ කෙළවර තවත් ආත්මෙකට නොයා අම්ම එතන ඉන්නවා ඇති කියන විශ්වාසය මේ අයියට තියෙනවා. ඉතින් එයා මේ කැලණි වතුරට කියනවා, "අම්මව ඔයාට හම්බෙන තැනදි ඔයා එයාට මේ අපේ කතාව කියන්න" කියල. ඒ එක්කම මෙයා තව ලොකූ පණිවිඩයක් කියනවා, ඒ තමා අම්ම අන්තිමට ඇස්වහ ගන්නකොට මට කියල ගියා වගේ , මං අම්මට පොරොන්දු වුණා වගේ "අපේ බෝනික්කිව එහෙම නැත්නම් අපේ චූටි රෝසමල, මගේ නංගි මැණිකව මං රැක ගත්ත අම්මේ" කියල හරි ආඩම්බරෙන් කෑ ගහල මේ අයියා කියනවා. කැලණි ගඟ දූතයෙක් කරගෙන අම්මට යවනවා එයා සවිස්තරාත්මක පණිවිඩයක්. වළං තුනපහ තමයි දන්නෙ ඒකි කරනා හරියෙ විස්තර ඉදල් කොහුමිටි තියපු හැටියෙ ම බදාගත්තේ කිළිටි රෙදි උර හවස් වෙනකොට රිදුම් කෑවත් කකුළ් අතපය කොන්ද පතෝර මමයි කිව්වෙ නොනිදා හිටපං ඇහෙනතුරු උගෙ නින්දෙ ගොරගොර නංගිව හැදුවේ චූටි සියුමැලි රෝස පෙත්තක් වගේ හරි පරිස්සමට. ඒත් දැන් එයා නැහෙන්නෙ මහාලොකු ගෑනියෙක් වගේ. ඒ නැහෙන නැහිල්ල දන්නෙ කුස්සියෙ වළං ටිකයි මිරිස් තුනපහ ටිකයි තමා. අම්මා නැති ගෙදර අම්මා වෙලා පවුලෙම බඩගිනි නිවන්න හිතේ ගින්දරෙන් ළිපේ ගින්දර දල්වලා පුදුම තරම් දුක් විදිනවා අපේ පුංචි රෝසමල. එහෙම නැහෙන මගේ මේ පුංචි කෙල්ලව හිටපු ගමං හිතපුවත් නැතිවෙලාවල්වල ඉදල් කොහුමිටි ඇවිත් බදා ගන්නවා. මේ කියන්නෙ ඇය ශාරීරික හිංසනයට ලක්වෙනවා කියන එක. ඒත් ඒ වගේ අහේතුකව ගුටි පාරවල් වදින්නෙ ඇයි කියන්න මට මුලින් මුලින් තේරුණේ නෑ. ඒත් ඒ එක්කම ඒකිට හිතෙන්න ඇති මේ ජීවිතේ අතාරින්න ඒ නිසා ම අද මං ඔයාට මේ පණිවිඩේ එවන ගඟේ පතුළෙ හැංගෙන්න හිතං ඒ හැම පාරම එන්න ඇති අනන්තවත්, කිළිටි රෙදි උර කන්ද බදාගෙන. ඒත් ආයෙමත් මොකක් හරි හේතුවකට, සමහරවිට මාව ම මතක් වෙලා ආයෙමත් ගෙදර එන්න ඇති අම්මෙ කියල මේ අයියණ්ඩි වේදනාත්මකව කියනවා. ගෙදර සුද්ද කරල කොයිතරම් කකුළ් අතපය වේදනා දුන්නත් මං ඒකිට කිව්වා නිදාගන්න එපා කියල වේලාසන. අයියා මෙතන බොහෝ හැඟීම්බරව විධානයක් වගේ නංගිට තියෙන ආදරේටම ඒක කිව්ව විදිය අම්මට කියනවා. ඌට නින්ද ගිහින් ගොර අදිනකං මගෙ මැණික උඹ නැඟිටල මං ගාවින් ඉදපං කියලයි මං නංගිව රැක්කෙ. අපේ පුංචි රෝසමල මං රැකගත්තෙ එහෙම. හැමෝම හිතුවෙ අම්මෙක් නැතත් අප්පෙක් ඉන්නවනෙ හව් හරණට කියල. ඒත් අපි දෙන්නයි දන්නෙ මට නංගි , නංගිට මමයි විතර ම යි ඉන්නෙ කියල. අපිට හිටිය ලොකු ම හතුර වුණේ හව්හරණක් කියල හිතපු ඒ මහා හෙවණැල්ල ම තමා කියල ඔහු තව තවත් විස්තර කරනවා. සිංහබාහු කතාවේ වගේ මමත් බැලුවෙ ලෙන කඩන්න සිංහයා, ගේ නැති වෙලාවක නංගිත් බේරං පැනලා යන්න එහෙම හිතලා දවස් ගාණක් ඇඟිලි ගැන ගැන ඉද්දි ඔන්න මං පරක්කුයි එදා සිංහයා පැනලා තිබුණා ඒකි කන්න අම්ම ඉස්සර පුංචි කාලෙ තුරුළු කරගෙන අපිට කියල දුන්න ලස්සන කතා හුඟක් තිබුණා. ඒවගෙන් මං හුඟක් ආසම සිංහබාහු කතාවට. මට ඕන වුණේ නෑ පව් පුරවගන්න.. නංගිට මොහොතකට හරි මාවත් අහිමි කරවන්න. මට ඕන වුණේ අම්ම ඒ කියල දුන්න සිංහබාහු කතාවේ වගේ මේ පව්කාර ලෙන කඩාගෙන මෙතනින් එළියට පැන ගන්න. මේ පව්කාර සිංහයා ගෙදර නැති වෙලාවක මට මගේ මැණිවත් බේරගෙන කොහේ හරි පැනලා යන්න. මට ඕන වුණේ නෑ, තනියම මම බේරිලා යන්න. එහෙම හිතහිතා මං දවස් ගාණක් මාන බලබල හිටියෙ. ඒත් එක මොහොතක. ඔව් ඒ තමයි පව්කාරම තප්පර කීපය. මගේ ජීවිතේ මං අකමැතිම තප්පර කීපය. මං එදා පරක්කු වුණා. ඒ පරක්කුවට අර පව්කාර සිංහයා පැනලා තිබුණා මගේ එකී කන්න. ඌට පුළුවන් වුණේ පනින්න විතරයි. කන්න පුළුවන් වුණේ නෑ . අම්මගෙ වචනෙ මේ වෙලාවෙ අයියට රැව්පිළිරැව් දෙන්න ඇති. නංගිව රැකගනිං කිව්ව වචන කෑ ගගහා බුරබුරා ඇහෙන්න ඇති ඒ පපු කුහරෙ අස්සෙන්. ඉතින් ඔහු පනින්න ඇති දෙවරක් නොසිතා ම. මගෙ මැණිකව ගිලින්න දුන්නෙ නෑ මං. අම්ම මට දීලා ගිය වස්තුව මං රැක ගත්තා. අතීතෙට මට යන්න හැකිනම් සිංහබාහුව වෙනස් කරනවා සුප්පා දේවිය නැති ගුහාවෙ සිංහසීවලී නොදා ඉන්නවා සිංහයා මත්වෙලා එනකොට මන්න පිහියක් අතට ගන්නවා සිංහබාහු යද්දි වැලිකඩ තිරය හෙමිහිට වහලා දානවා අනේ මටත් අතීතෙට යන්න පුළුවන් වුණානම්. මං එහෙම වුණා නම් යනවා. ගිහින් මේ ආත්මාර්ථකාමි ආශාවෙන් අන්ධ වෙච්ච සිංහබාහුව වෙනස් කරනවා. එහෙනම් මං කවදාවත් සුප්පාදේවි නැති මේ ගුහාවෙ මොහොතකටවත් සිංහසීවලී තියලා යන්නෙ නෑ . මං එහෙනම් ඒකිව මගේ ඇහේ මූණෙ තියාගෙන යනයන තැන අරං ගීන් රකිනවා. මං එහෙනම් මේ සිංහයාව මට්ටු කරනවා. එදා මං හිතුවෙ නෑ මේ වගේ විනාශයක් කරයි කියල. මං හිතුවෙ සිංහබාහු කතාවේ වගේ හැම සිංහ පියෙක් ම පීතෘ ස්නේහයෙන් යුක්තව ඇති කියල. මට ඉව වැටුණනම්, එදා ඒ මත්වෙලා ආව පළවෙනිම දවසෙම තමා මම මේ මන්නෙ අතට ගන්නෙ. එහෙනම් මං ඒ සිංහබාහු වැලිකඩට යද්දි හිමීට මේ කතාව ඉවර කරල දානවා. එහෙනම් මේ කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුණා. මේ ඇත්තටම වැඩිමහල් සහෝදරයකු සතු වගකීම් සහගත උතුරායන ස්නේහය ගලායන නිර්මාණයකි. තම එක ම නැඟෙණිය වෙනුවෙන් මුළු ජීවිතේ ම කැපකළ අයියණ්ඩියකගේ කතාවක්. ඒ හඬ පෞරුෂය හදවතේ ගැඹුරු ම තැන ස්පර්ශ කරනවා. ඒ වචනවලට ඔහු පණ දෙනවා. මං දන්නෙ නෑ ලෝක ස්වභාවය මොනවගේ ද කියල. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම පියවරු ඝාතනය කිරීමත් ආනන්තරීය පාපකර්ම ගොඩට වැටෙනවා ම ද කියන එක. අපි ජීවත් වෙන්නෙ අම්මා සඳක් වෙලා ඒ සඳටත් එළිය දෙන්න දිනකර වගේ පියවරු ම ඉන්න පොළවක නෙවෙයි.. කව් ගී ලියවුණා මදි වෙන්න ඇති මව්පිය ගුණවලට. ඒත් ඒ හැමතැනම දරුවන්ට උප්පැන්නෙ ඉඩක් නැතත් ශුක්‍රාණුව දුන්න පුරුෂ ලිංගය අයිති මිනිහයි, ඒ ශුක්‍රාණුව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් , දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන්ගෙ ගර්භාෂෙ තියාගත්ත ගෑනී එක ම ආදරෙන් එක ම ස්නෙහසින් රැක්ක ද? දරුවො හදන්න වදන්න පුළුවන් උන් රැකගන්න ආදරේ දෙන්න හැමෝටම එක වගේ පුළුවන් ද? මෙහෙම පව් ඇත්තටම පව් ම ද? මේ ජීවිතවලට වගකිවයුත්තන් වගවිය යුත්තන් කවුරුන් ද? එහෙම මවකගේ පියකගේ නොවී උතුම් මවක් පියෙක් ලද දරුවන් ඒ මව්පිය ගුණ මනාව තේරුම් ගෙන ඔවුන් පණමෙන් රැකිය යුතු නොවේ ද? පුංචි වචන කීපයක් තුළ සිරවෙච්ච මේ මහා කතා ගොන්න මීටවඩා සමාජ ගත විය යුතු ම ය. මේ නිර්මාණ ම පමණක් ලෙස ගැනීම සාධාරණ නොවේ.

NEWS

හඬ මත පැටළුණු අකුරු | 93 වන දිගහැරුම

  • Date: 2022-08-13