Blog



මගෙ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් ඔබටමයි සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි රන් තාරකා බිම බලාගෙන වැව් දියට පෙම් බැඳි වෙලාවයි මේ පොළව කොතරම් සුන්දරද මගෙ දූත් තනියම හිනාවෙයි මගෙ දුවේ ඔබ අවදියෙන් නම්... ගන කළුවරට අපි අප පෙම් කළොත් ඉර හඳ තරුවලට ණයගැතියි ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරළා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි මගෙ දුවේ ඔබ අවදියෙන් නම්.... මගෙ දුවේ නුඹ අවදියෙන් නම්... ____________ මේ නිමක් නොමැති සංසාර චාරිකාව තුළ අනේක දෙනෙක් මා හට මව් වන්නට ඇත. පිය වන්නට ඇත.මා අදහන දහමට අනුව නිර්වාණය කරා යන තෙක් අනන්ත වූ අප්‍රමාණ වූ දෙනෙක් මට දෙගුරුන් වනු ඇත.එම අනාගතය පිළිබඳව සැබැවින්ම මා නොදනිමි.මන්දයත් යට කී නිර්වාණය යනු කුමක්දවත් එය සාක්ෂාත් කරගත් අයෙකුවත් මෙතුවක් මා හට මුණ නොගැසී ඇති බැවිනි.ඇතැම්විට, අනාගතයේදී මා හට එය දැන ගැනීමට හැකිවනු ඇත.කෙසේවතුදු එවන් වූ යමක් පවතින්නේ නම් ඒ දක්වා යන මේ දීර්ඝ භව චාරිකාවේ දී මතුවටත් මා පතනුයේ එක් දෙයකි.එනම් මව් සෙනෙහස අහිමි මා හට මව් සෙනෙහසත් පිය සෙනෙහසත් නොමදව ලබා දෙන මාගේ පියාණන් මතු මතුත් මගේම පියාණන් වේවා යන්නයි. මව සහ පියා යනු සැබැවින්ම කියා නිම කළ නොහැකි ගුණ සමුදායකින් හෙබි මෙලොව සිටින්නා වූ උත්තුංගම චරිත ද්විත්වයයි.කෙසේ වුවද මව් සෙනෙහස නිබඳවම දෘශ්‍යමාන වුවද පිය සෙනෙහස එලෙස නොපෙනෙන මහා සාගරය මත පාවෙන අයිස් කුට්ටියක් බඳු වූවකි.පියවරුන්ද දරුවන් කෙරෙහි අප්‍රමාණ වූ සෙනෙහසකින් යුතු වුවත්, ඔවුන් එය නොපෙන්වන්නේ තම හදවතට පමණක් බොහෝ විට සීමාකර ගැනීම නිසාවෙන් යැයි මගේ හැඟීමයි.ඒ හේතුව නිසා ලොව පුරා වැඩිමනක් වර්ණනා වනුයේ මව් සෙනෙහසයි. එසේ වුව ද අප්‍රමාණ වූ සෙනෙහසක් හද තුළ කැටිකොට සිටින පියවරුන්ගේ සෙනෙහස ඔබටත් මටත් සංවේදනය විය යුත්තකි.එබැවින් මෙම ලිපිය තුළින් රත්න ශ්‍රී විජේසිංහ කිවිඳුන් විසින් රචනා කොට රෝහණ වීරසිංහයන්ගේ මධුර සංගීත රසය මුසු කොට අද්විතීය වූ හඬ පෞරුෂයක් හිමි කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ සුමදුර හඬින් ගැයෙන "මගෙ දුවේ ඔබ අවදියෙන් නම්" ගීතය විග්‍රහයට බඳුන් වන අතර ඔබටත් මටත් බොහෝවිට දැනුණත් නොහැඟුණු පිය සෙනෙහස නැවත සංවේදනය වේවා යනුවෙන්ද පතන්නෙමි. "මගෙ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් ඔබට මයි" පියකුට තම දරුවන් තරම් වටිනා තවත් දෙයක් මේ ලොව නොමැත.ඔවුන්ගේ අමිල වස්තුව තම දරුවන් ය. ඒ අතරින්ද දියණියක හා පියෙකු අතර ගොඩනැගෙන්නා වූ බන්ධනය මේ ලොව පුද්ගලයින් දෙදෙනෙකු අතර ගොඩනැගෙන බැඳීම් අතරින් සුන්දරතම බැඳීම වශයෙන් දැක්වුවහොත් මා නිවැරදිය. ඔබ මා බහ තෝරා ගැනීමටවත් නොහැකි සමයේදී ඇතැම් විට නිරතුරුවම ශබ්ද නගන්නට ඇත්තේ 'තාත්', 'තා' යනුවෙන් විය හැකිය.මා එය කුඩා දරුවන් මුමුණනු දැක තිබේ.එමෙන්ම සෘජුව ඇවිද ගන්නට පාද අවසඟ සමයේ අඩියෙන් අඩිය අපව පෙරට ගෙන ගොස් නැගී සිටින්නට වෙරදුන්නේ ද පියවරුන්ම ය.ඔබ මා හඬන විට සිනාසෙන්නට කුරුල්ලන් පෙන්වූයේත් ගහට වැලට ඔබ මා සංවේදී කරවූයේත් අපගේ පියවරුන්ම ය.එසේ නොවුණේ නම් ඔබත් මමත්, මේ පරිසරයත් මේ සමාජ බැඳීමුත් මායිම් නොකරන පුද්ගලයන් වනු ඇත.මෙහි සඳහන් වන පියාණන් මේ විචිත්‍රවත් වූ ලෝකයේ සුන්දරත්වය විඳීමට තම දියණියට ආරාධනා කර සිටියි.රාත්‍රියේ ආකාසය පුරා දිලිසෙන තාරකාවන්,විටෙක ඒ අතරින් කඩා වැටෙන තාරකාවන්,රාත්‍රියේ ගනඳුර කපා හරින පූර්ණ වූ චන්ද්‍රයා,පිපී සුවඳවත් වන සේපාලිකා , කුමුදු මල්වල විචිත්‍රත්වයත් දියණියනි ඔබ සඳහාමයි.මේ සියලු දේවල් ඒ ආකාරයෙන්ම අදට ද පවතී.නමුත් කුමක් හෝ කරුණක් හේතුවෙන් එකී සුන්දරත්වය විඳීමට අපට අමතක වී තිබේ.මෙහි එන පියාණන් තම දියණියට එම සුන්දරත්වය විඳ ගැනීමට ආරාධනා කර සිටියි.රාත්‍රිය සුන්දරයි.එය සැබෑවක්.එසේ වුවද බියක් සැකක් නොමැතිව ගැහැනු දරුවෙක්ට රාත්‍රියේ සුන්දරත්වය විඳීමට ඉඩ ප්‍රස්ථාව පවතීද? ඔව් පවතී.නමුත් ඒ එකම තැනක පමණි.ඒ ඇයගේ පියාගේ සමීපයෙහි ය.මේ ලොව සුන්දර වන තරමටම එහි අසුන්දර වූ දෑ ද පවතී.එකී අසුන්දර දෑ තම දියණියගේ සමීපයට පැමිණීමටවත් ඉඩ නොදී ආරක්ෂා කරන එකම ආරක්ෂකයා වනුයේ පියවරුන් ය.පියෙකුගේ ආරක්ෂාව මා හට හැඟෙනුයේ මේ ආකාරයෙනි, මා මේඝයක් වන විට ඔබ සොඳුරු පවනක්... මා අන්ධකාරයට බිය වූ විට ඔබ අරුණු එළියක් ... මා විඩාවෙන් පීඩිත විට ඔබ පවස නිවන ජල බඳුනක් ... මගේ අහේතුක මුරණ්ඩුකම් ඉදිරියේ ඔබේ නොසැලෙන පර්වතයක් ... අප්පච්චි, ඔබේ උරතලය මට තනිකරම 'ආරක්ෂිත කලාපයක්' එමෙන්ම මෙම ගීතය රස විඳින කල මා හට හැඟෙනුයේ එහි සංගීත භාවිතය මාගේ මනස සුවපත් කරන බවයි.රාත්‍රියක පවතින අපූර්වත්වය මා මනස තුළ චිත්‍රනය කිරීමට එකී සංගීතය මඟින් ලබාදෙන දායකත්වය අතිමහත් ය. "සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි නිල් තාරකා බිම බලාගෙන වැව් දියට පෙම් බැඳි වෙලාවයි මේ පොළොව කොතරම් සුන්දරද මගෙ දූත් තනියම හිනාවෙයි" ගෙවෙන විඩාබර ජීවිතය තුළ ඇත්තෙන්ම අද වන විට අපට සේපාලිකා මලක සුවඳ විඳ ගැනීමට අමතක වී තිබේ.එසේ නමුත් ජීවිතයේ නිශ්චිත අරමුණක්, බලාපොරොත්තුවක් නොමැතිව මිතුරු මිතුරියන් සමගින් ගෙවූ අපේ කුඩා කාලය ඒ සෑම මිහිරක්ම අප කරා ගෙන ආ බව සැබෑවකි.එබැවින් මා නිතැතින්ම ඒ සමයට සහේතුකව ප්‍රේම කරමි.මෙම ගීතයේ සඳහන් වන පියාණන් ද තම දියණියට ඒවායේ සුන්දරත්වය විඳගැනීමට ආරාධනා කරයි. සැබෑ ලෙසම රචකයා මෙහි දී සිදු කරනුයේ අව්‍යාජ වූ පරිසර වර්ණනාවකි.එම පරිසර වර්ණනාව මත ඔහු තවරනුයේ පියෙකුගේ සෙනෙහසයි.ජල තලාවක් මත සිත්තම් වන රාත්‍රී අහසක සුන්දරත්වය ශ්‍රාවක මනස කරා ගෙනයාමට මෙම ගීතය සමත් වේ.එමෙන්ම පියෙකු තම දියණියට තමා දකින විචිත්‍රවත් ලෝකය නැතහොත් තමා අපේක්ෂා කරන විචිත්‍රවත් ලෝකය මෙතුළින් පෙන්වීමට උත්සාහ දරයි. අපට උරුමව ඇත්තේ ඉවත දමන දඬුව වුවද දළු ලා යළි පැලවෙන භූමියකි.රචකයා දක්වන ආකාරයට මේ පොළොව කොතරම් නම් සුන්දර ද? නමුදු අප සැබෑ ලෙසම එහි ප්‍රතිඵල භුක්ති විඳින්නේද? ඔබටත් මටත් පැවරී ඇති භාරදූර කර්තව්‍යය එයයි.මේ සොඳුරු භූමිය වල් වැදීමට ඉඩ දිය නොහැක.එය මතු මතුත් අස්වනු පිරි සශ්‍රීක වූ භූමියක් කිරීම අප සතු පරම යුතුකමකි.වසර පුරා වැසි ලැබෙන එමෙන්ම වසර පුරා නොඅඩුව සූර්යතාපය ලබන ආන්තික වූ කාලගුණයක් නොපවතින ලොව පවතින සුන්දරම දිවයිනක් වශයෙන් මේ භූමිය හැඳින්විය හැකිය.එහි වටිනාකම අමිලය.අනාගතයේ මේ භූමිය මත උපදින දරුවන්ට තවදුරටත් මේ භූමිය ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් නම් කිරීමට ඉඩ තැබීමට ඔබටත් මටත් නොහැකිය.එය අප පරපුරෙහි නිගාවට කරුණකි.එසේ නම් අප එය වෙනස් කළ යුතුය.ඒ සඳහා අප එක්ව එකා මෙන් කටයුතු කළ යුතුය.එදිනට නියතවම මේ ගීතයේ දැක්වෙන ආකාරයට පුංචි දරු සිඟිත්තන් නිර්ලෝභීව සිනාසෙනු ඇත. "ගන කළුවරට අප පෙම් කළොත් ඉර හඳ තරුවලට ණය ගැතියි ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරළා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි" ඝන අන්ධකාරයට අපි පෙම් කරන්නේ නම් ඒකාන්තයෙන්ම ඉර හඳ තාරකා වලට ණය ගැත්තෝ වෙමු.මන්දයත් ඉර හඳ තාරකා නොපවතියේ නම් එහි වෙනසක් නොපවතින බැවිනි.ඉරහඳ තාරකා පවතින රාත්‍රින් අප ගෙවා ඇති බැවින් ඝන අඳුරු රැයක වෙනස අපිට දැනෙනු ඇති.මේ ලෝකයේ පවතින සෑම දෙයක්ම පාහේ එකිනෙක හා බැඳී පවතී.මෙහි පැවැත්ම සැබෑ ලෙසම රඳා පවතින්නේ ඒ මතය.සියල්ල එකම දාමයක පුරුක් මෙන් එකට බැඳී පවතී.අපි ද මේ බන්ධනයෙන් කොටස්කරුවන් වෙමු.එබැවින් එම බන්ධනය බිඳීමට තැත් කිරීම අපගේ ද විනාශයට අතපෙවීමකි. අප ජීවත්වන ජීවිතකාලය තුළ පෝෂණය වනුයේ මේ ලෝකය ලබාදුන් දෑ වලිනි.වාතාශ්‍රයට අවශ්‍ය ඔක්සිජන්, ශක්තිය සඳහා අවශ්‍ය කාබෝහයිඩ්‍රේට්, ජීවය රඳවා ගැනීමට අවශ්‍ය ජලය, ජීවත්වීමට අවශ්‍ය භූමිය ආදී සියල්ලක්ම පාහේ අපට ලබා දෙනුයේ මේ ලෝකයයි.රචකයා මෙහිදී පවසා සිටිනුයේ ලෝකය අපට අද ලබාදුන් දෑ නැවත පෙරළා ලෝකයට ලබා දිය යුතු බවයි.එය අප සතු යුතුකමකි.එමෙන් ම වගකීමකි.අප සෑම දෙනෙක්ම මේ ලෝකයට පැමිණ ඇත්තේ කුමක් හෝ හේතුවක් සහිතවය.තනි තනි පුද්ගලයා වශයෙන් ගත් කල අපිට මේ ලෝකයට ඉටුකිරීමට කුමනාකාර හෝ කාර්‍යයක් පවතී.යම් භූමිකාවක් මත පදනම්ව අප එය ඉටු කළ යුතුය.මේ ලෝකය රඟමඩලකි.අපි එහි රංගනයෙහි යෙදෙන නළුවෝ වෙමු.එසේ නම් අපට නිශ්චිත වූ අපේම චරිතයක් පවතී.එයට අපි සාධාරණයක් ඉටු කළ යුතුය.මෙහි සඳහන් වන පියාණන් තම ආදරණීය දියණියට එම යුතුකම් වගකීම් පිළිබඳ මෙහිදී මතක් කර දෙනු ලබයි.එමෙන්ම ඔහු පවසා සිටිනුයේ ඔබ මේ ලෝකයට ආදරය කරයි නම් මේ ලෝකය ද ඔබට ආදරය කරන බව ය.ආදරය වූ කලී මේ ලෝකයේ පවතින සුන්දරම හැඟීම වේ.ඒ සඳහා මුදලක් වැය නොවේ. එසේනම් ඔබට ලැබුණු ජීවිත කාලය තුළ මේ ලෝකයේ පවතින සෑම සියලු දෙයකටම ආදරය කරන්න.ලෝකය පුරා ආදරය බෙදා හරින්න.ආදරයේ පණිවිඩය බෙදාහරින්න.අප ජීවත් වනුයේ ඉතා කෙටි කාලයකි.ඇතැම්විට ඔබට අද හමු වන පුද්ගලයෙකුට ආදරය කිරීමට නොහැකි වුවහොත් නැවත හෙට දිනයේ ඔහුට ආදරය කිරීමට අවස්ථාවක් නොලැබීමට ඉඩ ඇත.සියල්ල අවිනිශ්චිත වන මේ ලෝකයේ ගෙවන මේ කෙටි කාලය තුළ අනෙකා පීඩාවට පත් කොට ලබන සන්තෘෂ්ඨිය සැබැවින්ම සුන්දරද? හැකි සෑම විටම සැමට ආදරය කරන්න ...රචකයා මෙහි දී ලබාදෙන පණිවිඩය එයයි. මේ ගීතය පුරා දිවෙන්නේ සුන්දර පරිසර වර්ණනාවකි.මේ පරිසර වර්ණනාව අප මනසේ චිත්‍රණය කරන්නටත් පංචේන්ද්‍රයන්ට දැනෙන ලෙස ඉදිරිපත් කිරීමටත් මෙහි උපයුක්ත භාවිතය උපකාරී වී ඇති බව මගේ හැඟීමයි. රාත්‍රියක පවතින නිස්කලංක භාවයත් ඒ අතරින් නැගෙන කුඩා කුඩා ශබ්ද ආදී වූ රාත්‍රි පරිසරය ශ්‍රාවකයා හමුවේ ගෙන හැර දක්වන්නට උපකාර වී ඇත්තේ මෙහි යොදා ඇති සංගීතයයි.එමෙන්ම පියෙකුගේ නොනවතින දාරක ස්නේහය නිර්මාණය තුළ තවරා ඇති අතර ගායකයාගේ මධුර හඬ එම ස්නේහය ශ්‍රාවකයාට දැනෙන්නට සලස්වයි.පියෙකු තම දියණියට ආමන්ත්‍රණය කරන ළගන්නා සුලු භාෂාවත්, දයාන්විත වූ හඬත් මෙහි අපූර්ව ලෙස සංකලනය වී තිබේ.ඒ හේතුව නිසාවෙන් මෙම ගීතය යුග යුග සිත් සතන් නිවාලන ගීතයක් බවට පත්ව තිබීම පුදුමයට කරුණක් නොවේ.

NEWS

හඬ මත පැටළුණු අකුරු | 94 වන දිගහැරුම

  • Date: 2022-08-15