Blog



"ඔයා අද නිවාඩු කියලනෙ කිව්වෙ. තව ම සනීපත් නෑ නේද ?" බිරිඳ එහෙම ඇහුවෙ මම ලෑස්ති වෙන දිහා බලාගෙන. "ඔව්. ඒත් හදිසියේම එන්න කියල. මොනා කරන්න ද කොල්ලට උගන්නයි අපිට ජීවිතේ ගැටගහ ගන්නයි තියෙන්නෙ මේ රස්සාවනෙ." කාලයක් ආසාවෙන් කරපු රස්සාවෙ තරු එක දෙක වැටිලා මේ කාකි ඇඳුම බර වෙද්දි එදා මගෙ හිතට ආවෙ මහාලොකු ආඩම්බරයක්. "මං ගිහිං එන්නම් එහෙනම් . " එහෙම කියාගෙන එළියට බැස්ස මම. "අනේ මන්දා කාලත් නෑ. යන්නෙ නෑ කිව්ව නිසා මං මොකුත් හැදුවෙත් නෑ. බඩගින්නෙනෙ." මගේ බඩ ගැන හොඳට ම දන්න එයාට ඉබේටම හීල්ලුණා. "නෑ නෑ.. මං එද්දි රෑ වෙයි. සමහරවිට හෙට වෙයි. එනකං බලං ඉන්න එපා උයල කන්න. දරුවා ආවම කන්න දෙන්න.. ඌටත් හුරු නෑ බඩගින්නෙ ඉන්න. මගෙම පුතානෙ. " කියල බිරිඳගෙ හිස අතගාලා මහා බරකුත් එක්ක මං සේවයට වාර්තා කළා. අද මහා උද්ඝෝෂණයක්. හැම පැත්තෙන් ම මහා කූඹි රැලක් ඇවිත්. මමත් හිටියෙ කැරලිකරුවන් ළඟින් ම තිබුණ බාධක අතරින් ඒ මූණු දිහා බලාගෙන. භය ගෑවිලාවත් නෑ ඒ මුණුවල. මොකද්දෝ මහා ලොකු කැක්කුමකින් කෑ මොර දීගෙන ඉදිරියට ම ආවා එක රොත්තට. එක නියෝගයයි ආවෙ. ඒ කඳුළු ගෑස් අධි පීඩන ජල ප්‍රහාර හරි ගහල නවත්තන්න කියල මුන් රැළ ම. උනුත් පසු බහින්න සූදානමක් නෑ. අපිටත් එක පිට එක නියෝග. කෑ ගැහිලි ගෙරවිලි තව මොනමොනව ද සද්ද. එකපාරටම කඳුළු ගෑස් එකක් ඇවිත් එක කොල්ලෙක්ගෙ ඔලුවට ම වැටුණා. තුවාල වුණා ද කොහෙද ? ඔලුව බදාගෙන ම වාඩිවෙනකොට රොත්තක් ඇවිත් ඌ උස්සං දිව්වා. මගේ පපුව සුසුම්වලින් ද, ඇස් කඳුළින් ද, කලින් ම බර වුණේ කියල මට ම මතක නෑ. එක කොල්ලෙක් ඉස්සරහට ම පැනල මගේ ඉස්සරහ හිටගෙන කෑ ගහන්න ගත්තා."දැන් සතුටු ද. මේ කෑ ගහන්නෙ අනාගතේ වෙනුවෙන්. දැන්වත් ඔය හොරු රකින්නෙ නැතුව හිටගනිල්ලා අපේ පැත්තෙන් ඇවිත්. මේ වැටෙන්නෙ අපේම උන්. මේකෙන් තැලෙන්නෙ අපිමයි. " තව මොන මොනවදෝ කියකියා කෑ ගැහුවා. මට ඒ මොකුත් ඇහුණෙ නෑ. "උඹ දන්නෙ නැතුවට පුතේ ඒ ඔලුව අල්ලං බිම බදාගත්තෙ රටේ අනාගතේ විතරක් නෙවෙයි, මගේ මුළු ලෝකෙ ම. " කියල මං මට ම කියාගත්තා. පියකඳුළු හංගං පපුවෙම. තාත්තයි පුතයි එකම අරගල භූමියෙ දෙපැත්තක ඉස්සර ම හිටගත්තම පුතාගෙත් හිත ගැහෙන්න ඇති. මේ ඇඳුම්වලට හදවත මරල දාන්න වෙන වෙලාවල් එනවා. මට පුළුවන් වුණා නම් කෑ ගහගෙන ගිහින් මගේ එකා බදාගෙන ඌ ගාවින් ඉන්න මේ වෙලාවෙ. ඒත් ඒ හැමදේම යට වෙලා. අපිට අපි නැති රට ගැන කැක්කුමක් තියෙන ආදරේ පිරිච්ච ලේ ඇඟ පුරාවට පොම්පකරන මස් ගුලියක් ලබ්ඩබ් ගානවා කියල තවම.

NEWS

විභව කෙටිකතා | කඳුළු ගෑස්

  • Date: 2022-08-17