Blog



සුසානෙට තව ටික දුරයි* සුසානෙට තව ටික දුරයි මේ ගමන යන්නේ කා නමින් දැයි දන්නේ නුඹ විතරයි මහා සෙනගක් ඇවිත් හිටියත් නාවෙ නුඹ විතරයි පිඬෙන් පිඬ පස් පිඬු වැටෙද්දී දැන් එතැයි සිතුනා මාව යට කළ පස් කන්ද උඩ නුඹ හැපෙයි හිතුනා අඳුර බෝ වූ සොහොන් බිම මත පහන් දැල්වූවා එකම පහනක් නුඹෙ අතින් දැල්වේවි සිතුණා මහා සෙනඟක් ඇවිත් හිටියත් නාවෙ නුඹ විතරයි දන්නෙ නුඹ විතරයි පද රචනය :අමිල තේනුවර සංගීතය : දර්ශන රුවන් දිසානායක ගායනය : කරුණාරත්න දිවුල්ගනේ ගීතයක් වඩාත් සාර්ථක නිර්මාණයක් බවට පත්වන්නේ එම ගීතය තුළ ඇති අත්දැකීම මොහොතකට හෝ සහෘදයා වෙත සමීප කරමින් එම අත්දැකීම තුළ ඔවුන් ජීවත් කරවීම හා ඔවුන් විසින් එම ගීතය කෙතරම් දුරට වැළඳගන්නේ ද යන්න පිළිබඳව විමසා බැලීමෙනි. ගීතයක් රසවිඳින පුද්ගලයෙකු වෙනම ලෝකයකට කැඳවාගෙන යාමට ගීත නිර්මාණයකට හැකියාව පවතී. එමෙන්ම අර්ථ පූර්ණ හා ශබ්ද මාධූර්‍යයෙන් යුත් ගීත එය රස විඳින්නන් ගීත කෙරෙහි ඇබ්බැහි කරවනසුලු ය. එබඳු ගීත තුළින් ඉදිරිපත් කරන අත්දැකීම් ස්වකීය අත්දැකීම් නොවූව ද සිය අත්දැකීම් ලෙසින් වැළඳගැනීමට සහෘදයාට අවකාශය විවර කරයි. ප්‍රවීණ ගේය පද රචක අමිල තේනුවර මහතාගේ පද රචනයෙන් හා දර්ශන රුවන් දිසානායක මහතාගේ සංගීතයෙන් හැඩවුණු කරුණාරත්න දිවුල්ගනේ ජ්‍යෙෂ්ඨ කලාකරුවාණන් විසින් ගායනා කරනු ලබන "සුසානෙට තව ටික දුරයි" ගීතය ද සහෘද සිත් සතන් වඩාත් සංවේගයෙන් යුක්තව වැළඳ ගැනීමට සමත් ගීතයකි. ප්‍රේමය හා විරහව පුද්ගල සන්තානගත පොදු හැඟීම් ද්විත්වයකි.ඒ අනුව ප්‍රේමයේ විරහව තුළින් පුරුෂාත්මයක හටගන්නා සන්තානගත හැඟීම් සමුදායක් මෙම ගීතය තුළින් මනාව ඉදිරිපත් කරයි. "සුසානෙට තව ටික දුරයි මේ ගමන යන්නේ කා නමින් දැයි දන්නේ නුඹ විතරයි මහා සෙනගක් ඇවිත් හිටියත් නාවෙ නුඹ විතරයි " ප්‍රේමයෙන් බැඳුණු යුවලක් ජීවිතයේ අවසානය තෙක් ම ඔවුන් එකිනෙකාට හිමිකරදුන් ජීවිතයක් නිරන්තරව අපේක්ෂා කරයි. එහිදී සියලු ඥාති හිතමිත්‍රාදීන්ගේ ආශිර්වාදය මැද එකී ජීවිතයට උරුමකම් කීම ඔවුන්ගේ ප්‍රධානතම පරමාර්ථයක් වේ. නමුත් එදිනෙදා ජීවිතය තුළ බාධක ලෙසින් පැමිණෙන නොගැළපීම් සහ නොයෙකුත් හැලහැප්පීම් හමුවේ සිය ප්‍රේමය ජය ගන්නවුන් සිටිනුයේ අතලොස්සකි. එබැවින් බොහෝමයක් ප්‍රේම සම්බන්ධතා කෙළවර වනුයේ ඔවුන් කිසි විටෙක නොපැතූ විරහවෙන් බව කිව හැකිය. විරහවේ අත්දැකීම් කෙතරම් වේදනාකාරීද යන්න සැබැවින්ම හඳුනන්නේ එකී වේදනාවට මුහුණ දුන් අයෙකු ම පමණි. මෙම ගීතය පුරාවට ම වැයෙනුයේ ශෝකී ස්වරයකි. ගීතයේ පදවැල් තුළින් මැවෙන සංකල්ප රූප තුළින් මළගමක ස්වරූපයක් පෙන්නුම් කරයි. මෙහි මියගිය තැනැත්තා කවුරුන් විය හැකිද? එය සැබැවින්ම ප්‍රේමයෙන් බැඳුණ යුවලකගේ ප්‍රේමයේ මළගම බව සිතිය හැකිය. ප්‍ර්‍රේමයේ මළගම වෙනුවෙන් මේ මොහොතේ එහි විශාල පිරිසක් රැස්ව සිටින බව පවසයි. එයට හේතුව ඔවුන්ගේ සිත් සැනසීම හෝ මෙකී සබඳතාවයට පක්ෂව හෝ විපක්ෂව ඔවුන්ගේ මත දැක්වීමට විය හැකි ය. කෙසේ හෝ වේවා මේ වන විටත් ප්‍රේමයේ විරහවට හේතුසාධක නිර්මාණය වී ඇති හෙයින් ප්‍රේමණීය යුවළ ගේ විශේෂයෙන්ම මෙම පෙම්වතාගේ සිත ශෝකයෙන් පීඩිත ව පවතින බව හඳුනාගත හැකි ය. ගීතය පුරාවටම ඔහුගේ හිත වෙළාගත් තනිකමක ස්වරූපයක් දැකගත හැකි ය. එයට හේතු වී ඇත්තේ විශාල පිරිසක් මේ වනවිටත් ඔහු වටා රැස් වී සිටිය ද මේ මොහොතේ ඔහුට අවැසිම සෙනෙහස ඔහු අසල දැක ගත නොහැකි වීමයි. ප්‍රේමයේ මළගමට හේතු සාධක වූ කාරණාව ද හිත දරන් පෙම්වතිය ඔහු කෙරෙන් දුරස් වී හිඳියි. පෙම්වතාගේ සිත පෙළන ප්‍රධානතම කාරණාව ද එයම වී ඇත. හේතුවක් නොදැන ම සිය ප්‍රේමය ට සමුදීමට ඔහුට සිදු වී ඇත. හේතුව දන්නේ ඇය ම පමණකි. එබැවින් මෙම අසම්පූර්ණ ආදර කතාවේ පවත්නා හිස් බව නිසාම ඔහුට ඇය අමතක කිරීම බොහෝ සෙයින් අසීරු වී ඇත. එය සැබැවින් ම ගැටලුවකි.ඒ පිළිබඳව දැන සිටිය යුතු වුවද මේ වන තෙක් ම හෙළිදරවු නොවූ හේතුවද එයම ය. සුසානය යනු ජීවිතයක නිමාව සනිටුහන් කරන ස්ථානයයි. මෙම යුවල අතර පැවති ප්‍රේමය ද සුසානය කරා යාමට තව ඇත්තේ සුළු මොහොතකි. එහෙත් අවසාන මොහොතේ වුව ඔහු අපේක්ෂා සහගතව බලා සිටිනුයේ ඇය පැමිණ තමාට සියල්ල හෙළිදරව් කරාවිය යන විශ්වාසයෙනි. "පිඬෙන් පිඬ පස් පිඬු වැටෙද්දී දැන් එතැයි සිතුනා මාව යට කළ පස් කන්ද උඩ නුඹ හැපෙයි හිතුනා " ප්‍රේමයේ සියලු පැතුමන් නිමා කරමින් බිඳෙන් බිඳ එක් වූ හේතු සාධක යළි නැගී සිටිය නොහැකි ලෙසින් ප්‍රේමය වළලා දමා තිබේ. ඇතැම් විට සමාජ තත්ත්වය, ආර්ථිකය, සංස්කෘතික සමාජ පරිසරය සහ වෙනත් සමාජ මතිමතාන්තර හේතුවෙන් එකී සම්බන්ධය කෙරෙහි දෙපාර්ශ්වයෙහි බලපෑම් එල්ල වූවා විය හැකිය. නො එසේ නම් සම්බන්ධතාවය අසම්මතයක් වීම හේතු කරගෙන මේ අයුරින් ඊට විරෝධය එල්ල වූවා විය හැකි ය. මෙකී විප්පයෝගය කෙරෙහි සැබෑවටම හේතු සාධක වූ කාරණය කුමක්ද යන්න හඳුනා ගැනීමට ශ්‍රාවකයා ද සැබැවින්ම අපොහොසත් වී තිබේ. කෙසේ නමුත් විප්පයෝගයට බලපාන එකී සාධක මදින් මද එකතුවන අවස්ථාවේ පවා ඔහු අපේක්ෂා කරනු ලැබුවේ ඇගේ පැමිණීමයි. ඇය එම හේතු සාධක සමග ගැටී ඔවුන්ගේ ප්‍රේමය ආරක්ෂා කරගනීවි යන හැඟීම නිරතුරුව ඔහු හද තුළ බලාපොරොත්තුවක් ලෙසින් මිහිදන් වී පැවතිණි. බාධක ලෙසින් පැමිණි එකී හේතු සාධක වල බලපෑම මෙහි පස් පිඩු තුළින් අර්ථවත් කර ඇති බව හැඟී යයි. එමෙන්ම එකී හේතු සාධක මතින් මියෙන ප්‍රේමය හමුවේ ඇය දුක්වේ ය, තැවුලට පත් වේ ය යන හැඟීමෙන් යුක්තව ඔහු තවමත් ඇය එනතෙක් පෙරමං බලා හිඳියි. "අඳුර බෝ වූ සොහොන් බිම මත පහන් දැල්වූවා එකම පහනක් නුඹෙ අතින් දැල්වේවි සිතුණා" ප්‍රේමය නව බලාපොරොත්තුවක් සමඟින් පුද්ගල ජීවිතය ආලෝකමත් කරනවා සේම පුද්ගල හැඟීම් බලාපොරොත්තු ක්ෂණයකින් සුණු විසුණු කර දැමීමට ද ප්‍රේමයට හැකියාවක් පවතී. ප්‍රේමයෙන් තොර ජීවිතයක් තුළ ආලෝකයක් නැත. එය සැබවින්ම පාලු සුසානයක් හා සමානය. ප්‍රේමය අහිමිව ගිය තරුණයාගේ ඉරණම ද මෙ බඳු ආකාරයකි. සියල්ල අවසානයේ ඔහුගේ සිත සනසමින් සිත තුළ ලැගුම් ගත් අඳුරු බව දුරලන්නට ඔහුගේ හිත මිතුරාදීන් නොයෙකුත් උත්සාහයන් දැරුව ද ඔහු තවමත් බලා සිටින්නේ ඈ යළි පැමිණ තම හිත සනසාවිය යන අපේක්ෂාවෙනි. ඇය පැමිණ ඔහුට ආලෝකයක් වනු ඇතැයි යන අපේක්ෂාවෙන් සොවින් වේදනා භරිත සිත අවසාන තත්පරයේ වුව මග බලා හිඳින විරහවක් ඔහුට උරුම කර දී ඇත. ප්‍රේමය ට අර්ථකථන සැපයීම අසීරු ය. නමුත් ප්‍රේමය ඒ ඒ පුද්ගලයාගේ දැනීම හා ප්‍රේමය පිළිබඳව ඔවුන්ගේ කියවීම මත ඊට නිර්වචන සැපයීමට බොහෝ දෙනෙක් උත්සාහ ගනිති. ඒවා හුදෙක් ඔවුන් සිය දිවිය තුළ ලැබූ අත්දැකීම් හා ඔවුන් තුළ පවත්නා හැඟීම් මත පදනම් වේ. ඒ අනුව සැබෑ ප්‍රේමය හිමිකර ගැනීම හෝ අයිතිකර ගැනීමක් නොවන බවට බොහෝ විට අරුත් ගන්වයි. යථාර්ථය එසේ වුව ද හදවතට වඩාත් තදින් කා වැදුණු ප්‍රේමයක ස්මරණයන් වඩාත් පහසුවෙන් අමතක කළ නොහැකි ය. ප්‍රේමයේ විරහව වඩාත් වේදනාකාරී වනුයේ එහෙයිනි. ඒ අනුව විරහවේ එකී හැඟීම හදවතේ ගැඹුර ස්පර්ශ කරමින් සහෘද හදවත් තුළට වඩාත් සමීප කිරීමට මෙම ගීතය සමත් වූ බවට සැක නැත.

NEWS

හඬ මත පැටළුණු අකුරු | 95 වන දිගහැරුම

  • Date: 2022-08-20