Blog



මාගේ දේශය අවදි කරනු මැන... පටු අදහස් නම් පවුරෙන් ලෝකය කැබලි වලට නොබෙදී ඥානය නිවහල් වී බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහෙදෝ එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ ගතානුගතික ව පැවතෙන සිරිතේ මරුකතරට වැදිලා නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ පසු නොබසින වීරිය පිරිපුන් බව ලෙසට දෑත විදහා සදා දියුණු වන සිතිවිලි උදෙසා කම් කටයුතු පුබුදා ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ පටු අදහස් නම්... ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව හා සුනිල් එදිරිසිංහ පද රචනය - මහගමසේකරයන් සංගීතය - ඩබ්ලිව්. ඩී. අමරදේව --------------------------------------- ඉන්දියානු නොබෙල් ත්‍යාගලාභී රබින්ද්‍රනාත් තාගෝර් මැතිදුන් විසින් රචිත "ප්‍රාර්ථොනා" නම් කාව්‍ය මංජුසාවේ "මනස බියෙන් තොර තැන" (බෙංගාලි: Chitto Jetha Bhoyshunno) නම් කවිය පාදක කරගෙන මහගමසේකරයන් විසින් "පටු අදහස් නම්" ගීතය සිංහලට අනුවර්තනය කර ඇත. " පටු අදහස් නම් පවුරෙන් ලෝකය කැබලි වලට නොබෙදී... ඥානය නිවහල් වේ බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහෙදෝ එහෙව් නිදහසේ ස්වර්ණ රාජ්‍යයට මගේ දේශය අවදි කරනු මැන පියාණනේ " ස්වභාවධර්මය විසින් රචිත "මානව ජීවන කතාව" නමැති දෛවෝපගත කෘතියේ මුල්පිටුව සියලු මිනිසුන්ට සමතැනක් ලබාදෙමින් ලියැවී අැත. ඩිම්බයක් හා ශුක්‍රාණුවක් එකිනෙක පෑහීමෙන් සෑදෙන යුක්තානුවක් ලෙසින් ඔබත් මමත් අපගේ දිවි ගමන ආරම්භ කළෙමු. දස මසකට ආසන්න කාලයක් මව් කුසේ සිරවී සිටි අප නිර්වස්ත්‍රවම මෙලොව එළිය දුටුවෙමු. ස්වභාවධර්මය තුළ සියල්ලන්ට උපතේ සිටම සමතැනක් ලබාදී ඇති ආකාරය අපූර්වය. නමුත් මිනිස්සු මෙලොව උපන් දා සිටම ඔවුන් විසින් ම ඇති කරගත් "පටු සම්මුතීන්" ඔස්සේ ජාති ,ආගම් ,කුල, වර්ණ ,පක්ෂ , පාට ලෙසින් බෙදෙමින්, අප උපන් අභිමානවත් දේශය සෑම තලයකින්ම වැටවල් ගසා කැබලි කරමින් සිටිති. මෙම බෙදීම් කෙතරම් ව්‍යසනකාරී ද යත්, ජාතිවාදය ,ආගම්වාදය , වර්ගවාදය ලෙසින් මුල් ඇදගෙන, පසුව ඒවා ගැලවීමට ඉතා අපහසු අන්තවාදී ත්‍රස්තවාදී වෘක්ෂයන් බවට පත්වේ.එලෙස ඇතිවූ ගැටුම්වලින් මිල කළ නොහැකි වටිනා මානව ජීවිත විශාල ප්‍රමාණයක් අපට අහිමි වූ බව අතීතයෙන් උගත් පාඩම්වලින් අපි දනිමු. නමුත් මේ සියල්ලටම මූලබීජ වන්නේ මිනිසාගේ සිතෙහි බෙදීම් ඇති කරවන "පටු අදහස්" නොවේ ද? වෘක්ෂයක පැවැත්මට හේතුසාධක වන මූලබීජ විනාශ වූ කල්හි යළි හට ගැනීමක් සිදු නොවන ලෙසම එකිනෙකා ජාතීන් අතර ආගම් අතර වන සැකය, අනවබෝධය, දුරු වූ විට අනාගතයේ දී ඇති විය හැකි අර්බුදකාරී ගැටුම් රාශියක් මඟහරවා ගත හැකි වනු ඇත. ආර්ථික හා සමාජීය වශයෙන් ඇතිවන පන්ති පරතරවලට අමතරව , වෘත්තීයමය වශයෙන් විවිධ වෘත්තීන් උසස් සහ පහත් කොට සැලකීම ද වර්තමාන ජන සමාජය තුළ දක්නට ලැබෙන ප්‍රබල ගැටළුවකි. ගොවියාත්, වෛද්‍යවරයාත්, නගර සභා සේවකයාත් සියලු දෙනාම එකම ආකාරයෙන් පිළිගන්නා පුළුල් දැක්මක් ඇති හෙටක් කවදා උදා වේවිද ? ගොවියා ජීවිතය පවත්වාගැනීම සඳහා බත සපයන අතර වෛද්‍යවරයා ජීවිතය රැකගැනීම සඳහා අවැසි ඔසු සපයයි. නගර සභා සේවකයා ජීවිතය පවත්වා ගැනීම සදහා අවශ්‍ය සෞඛ්‍යයට හිතකර සුවදායී පරිසරයක් නිර්මාණය කරයි. අපට නිදහසේ හුස්ම ගැනීම සඳහා බොහෝ හමුදා නිලධාරීන් තම අවසන් සුසුම් හෙලා ඇත. ඉහත සියලුම වෘත්තිකයින්ට අවශ්‍ය දැනුම,ආකල්ප කුසලතාවලින් කුඩා කල සිට ළමයාගේ මනස පුරවාලමින් ගුරුවරයා අති විශාල කාර්යභාරයක් සිදුකරයි. ඔවුන් සියල්ලන්ටම නිසි පරිදි තම රාජකාරි කටයුතු පවත්වාගෙන යාමට "අටපාස්" බස් රියදුරු මහතා සහ කොන්දොස්තර මහතා ඇප කැප වී සිටිති. එබැවින් අධ්‍යාපනික, වෘත්තිමය, සමාජ-ආර්ථික හා සංස්කෘතිමය වශයෙන් තවදුරටත් අප බෙදී වෙන් වීමෙන් ඇති ඵලය කුමක්ද ? එවන් පටු අදහස් ප්‍රාකාරයකින් වටවී ළිඳේ ඉන්නා මැඬියෙකු සේ නොසිටිය යුතු බවත්, මනුෂ්‍යත්වය ,ආදරය, සෙනහස වැනි ගුණධර්මවලට සෑම විටම ප්‍රමුඛතාව දිය යුතු බවත් මින් අර්ථ දැක්වේ. ජීවිතයේ අපට සුවදායකම ස්ථානය කුමක්දැයි ඇසුවොත් ඔබෙත් මගෙත් බහුතරයකගේ පිළිතුර ගෙදරයි. අපේ ආදරණීයයන් සිටින, කුඩා කල සිටම එක්රැස් කරගත් මතක ගොන්නකින් පිරී තිබෙන අපූර්ව ස්ථානය ගෙදරයි. නිදහසේ ඇසිපිය වසා ගෙන විවේකී සුවයෙන් සිටීමට ගෙදරට වඩා තවත් හොඳ තැනක් තිබේද ? කිසිද බියක් නැතිව අපේ "ගෙදර" තුළ දී අපිට ඕනෑම දෙයක් කළ හැකියි. නමුත් මිතුරෙකුගේ හෝ නෑදෑයෙකුගේ "නිවසේ" අපිට එතරම් නිදහසක් නොදැනෙයි. ඒ අයුරින් ම පුද්ගලයකුට තම හිස හා කොඳු නාරටිය සෘජුව තබාගෙන නිදහසේ කිසිදු බයක් නැතිව ඕනෑම දෙයක් කළ හැක්කේ තම මාතෘ භූමිය තුළ නොවේද ? කුඩාකල සිට නිදහස් අධ්‍යාපනය හා නොමිලේ සෞඛ්‍ය පමණක් නොව සංස්කෘතිය, සභ්‍යත්වය, පරිසරයට ඇලුම් කිරීම, ආචාරධර්ම වැනි බොහෝ දේ සඳහා අප පෝෂණය ලැබුවේ ද මාතෘභූමියෙනි. එහෙව් නිදහසක් ඇති ස්වර්ග රාජ්‍යයක් බඳු වූ මාතෘභූමියක් කරා යන ගමනට අත්වැල් බැඳගන්නට මාගේ දේශයේ වැසියන්ව අවදි කරවන ලෙස කවියා දෙවියන්ගෙන් ඉල්ලා සිටියි. "සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ ගතානුගතික ව පැවතෙන සිරිතේ මරුකතරට වැදිලා නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ එහෙව් නිදහසේ ස්වර්ණ රාජ්යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ.." "සත්‍යය" තරම් පිරිසිදු කිසිවක් තවත් මේ ලෝකයේ ඇද්ද ?" සත්‍යය යන වචනය සමඟ ම ඇලී බැඳී ඇති ඊළඟ වචනය වන්නේ විශ්වාසයයි. රටක ජාති,ආගම්,කුල ලෙසින් හෝ පාලක පාලිත පන්ති, සමාජ ස්ථර වශයෙන් හෝ බොහෝ ගැටුම් ඇතිවීමට ප්‍රධානම හේතුවක් වන්නේ එකිනෙකා කෙරෙහි ඇතිවන සැකය හා අන්‍යෝන්‍ය අවබෝධයක් නොමැති වීමයි. මෙලෙස බිඳහෙලන 'සංහිඳියාවේ පාලම' යළිත් නගාසිටුවිය හැක්කේ විශ්වාසය තුළින් නොවේ ද ? ඕනෑම දෙයක් පිළිබඳව තාර්කිකව සිතා බැලීම ද ජීවිතයේ අපි හුරුවිය යුතු වැදගත් ගුණාංගයකි. යමෙක් යමක් පැවසූ පමණින් ම එය හිස් මුදුන්ලා පිළිගන්නවාට වඩා තාර්කිකව ඒ පිළිබඳව සිතා අප විසින්ම තීරණයක් ගැනීම වඩා ඥානාන්විත වේ. එය කටුක කඨෝර පරිසරයකින් යුතු මරුකතරක් වැනි විෂම වූ සමාජය මැද ජීවය හා සිසිල සපයන දිය දෝතක් ලෙසින් ජීවත්වීමට උපකාරි වනු ඇත. " පසු නොබසින වීරිය පිරිපුන් බව ලෙසට දෑත විදහා සදා දියුණු වන සිතිවිලි උදෙසා කම් කටයුතු පුබුදා ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ එහෙව් නිදහසේ ස්වර්ණ රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ " ජීවිතයේ අප නිරත වන සියලුම කාර්‍යයන් 100% සෑම විටම සාර්ථක නොවේ. මක්නිසාදයත් ජීවිතය වූ කලී සමතැනිතලාවක් නොව කඳු හා පල්ලම් බෙහෙවින් ගහණ වූ කාලය සමඟ ගලායන ගංඟාවක් වැනි නිසාය. අපි සැවොම පුංචි සන්දියේදී මේ කවි පද කොටස අසා ඇති.... "සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි" මේ පුංචි කවි පදයෙන් අපේ මනසට එදා කාවැද්දූවේ ජීවිතයේ සැබෑ ස්වභාවය නොවේද ? 'තෝමස් අල්වා එඩිසන්' විදුලි බුබුල සොයා ගත්තේ ද 999 වාරයක් අසාර්ථක වීමෙන් පසුව ය. නමුත් උත්සාහය අත් නොහැරීමේ තිළිණය ලෙස දහස්වෙනි වාරයේ විදුලි බුබුල නිපදවූයේ මුළු ලොවම ආලෝක ගන්වමිනි!! නොපසුබස්නා උත්සාහයන් ආශ්චර්යන් ජනිත කරවන බව සැබෑවකි... මේ අයුරින් ම පටු අදහස් නම් වූ ගීතයේ රචකයා අපට පවසන්නේ ද දියුණුව උදෙසා ගත සිත මහන්සි කරවීමේ දී ද ඒ සදහා අපට අප්‍රමාණ පසු නොබසින ගුණයක් හා වීර්යයක් තිබිය යුතු බවයි. අප විසින් ආරම්භ කරන ලද යම් වැඩක් සාර්ථකව අවසන් කරන තෙක් අපගේ වීර්යය අත නොහැරිය යුතු බවයි. ජීවිතයේ ආර්ථික සමාජයීය හා ආධ්‍යාත්මික වශයෙන් ඉදිරිය කෙරෙහි සිත යොමු කළ යුතු බවයි. එවිට අපගේ මාතෘභූමිය මිහිමත ඇති ස්වර්ග රාජ්‍යයක් ලෙසින් දීප්තිමත්ව බැබළවීමට හැකිබව මින් ජනනය වන අර්ථයයි. එවැනි මාතෘ භූමියක් කරා යන ගමනට අත්වැල් බැඳ ගැනීම සඳහා ජනතාවගේ අවදි වීම හා ඒකරාශිවීම කවියාගේ අවසාන බලාපොරොත්තුව වන අතරම ඔබේත් මගේත් උරමත පැටවුණු වගකීමක් ද වන්නේය .

NEWS

හඬ මත පැටළුණු අකුරු | 96 වන දිගහැරුම

  • Date: 2022-10-08