Blog



පරිසරය,ජීවිතය,ප්‍රේමය වැනි තේමාවන් පාදක කොටගෙන හරි අපූරුවට සිය පන්හිඳෙන් සහෘද හදවතට ආමන්ත්‍රණය කරන සයිබර් අවකාශයේ නැගී එන කවියෙකු වන ඔහු නමින් එම්.කේ.සී.පී ශෂින්.කවියෙන් කියවන උඩු අර්ථයට වඩා එයින් හාත්පසින් ම වෙනස් , සැඟවුණු අර්ථයක් කවියෙන් ඉදිරිපත් කිරීම ඔහුගේ සුවිශේෂතාවයකි.මාතර තෙලිජ්ජවිල විද්‍යාලයෙන් නිර්මාණකරන දිවිය ඇරඹූ ඔහු අද වන විට මුහුණු පොත ඔස්සේ සියුම්ව ජීවිතයේ යථාර්ථයන් පාඨකයාගේ හදවතට කාවෑද්දීමට යුහුසුළු වෙයි.සිය පන්හිඳෙන් ගෙත්තම් කරන ලද ඔහුගේ තුන්සියයක් පමණ වූ නිර්මාණ අතරින් "සන්තෝෂ විල " කවි පන්තිය අද සංවාදයට පාදක වේ. ඔබ ඕනෑම වෙලාවක එන්න මා සිටින්නේ සංතෝෂ විල අසල උසම උස ගසකයි ! මා මේ කවිය ලියන්නේ කිසිදු වේදනාවකින් තොරවයි ! මා මෙහි වෙසෙන බව ඔබට ලියූ තුරුපත් හොටෙන් ඇන, දෙපයින් ඉරා අන්න මේ ගස යට ඔහේ දිරායයි, පොළොවට පොහොරවෙයි ! හීතල හීගඩු පිපෙන උතුරු දූපතෙන් එන සුලඟ ඔබෙ සුවඳ ගෙන එයි ! හීගඩු පිපුනහම පිහාට්ටක් දෙකක් හලන එක ගානක් නැහැ දැන් මට පුරුදුයි ! ඔබ ඕනෑම වෙලාවක එන්න මා සිටින්නේ සංතෝෂ විල අසල උසම උස ගසකයි ! මා මේ කවිය ලියන්නේ කිසිදු වේදනාවකින් තොරවයි ! චන්ද්‍රයා චන්ද්‍රාලෝක එවුවහම දිග හැරෙන කණාමැදිරි පියාපත් මේ දුර්ග ගස නැග එයි. ඇවිත් ඔබ මොබ ඇවිද ඔබේ වග විමසයි, වද වෙයි ! එකෙක් දෙකෙක් අල්ලා ගස්කඳේ ගසා මැරුවාම, ඒ වදෙත් ඉවරයි ! ගම් දනවු වලින් ඈතට උසගසක වෙසෙන රෞද්‍ර ගිජු ලිහිණියකු ගැන පුවතක් නුදුරේදීම ඔබට සැලවෙයි නමුත් විස්වාස කරන්න ! මා සිටින්නේ සංතෝෂ විල අසල උසම උස ගසකයි ! මා මේ කවිය ලියන්නේ කිසිදු වේදනාවකින් තොරවයි ! "මම සාමාන්‍යයෙන් පරිසරය එක්ක සමීප කෙනෙක්.මම නිතර ම හැමෝට ම කියන දෙයක් තමා පරිසරයට මගෙන් වෙන්න ඕන යුතුකම ඉටු කරන ගමන් මගෙන් පරිසරයට වෙන හානිය අවම කරගෙන ජීවත් වෙන එක මගේ බලාපොරොත්තුව.මගේ ව්‍යාපාරය පවා පරිසර හිතකාමී. මම එක කාලයක හොයන්න ගත්ත මගේ ෆැෂන් එක,මම ආස දේ . එතකොට එක තැනකදී මට හමුවෙනවා මම ආස දේ . මම ජීවත්වෙන්න ආස කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ව ." * මෙම කවියට පසුබිම සැකසෙන්නේ කොහොමද ? "මම මේ කවිය ලියන්නේ සූරියවැව මගේ ගොවිපළේ ඉඳන් . සූරියවැව කියන්නේ වියළි කලාපීය ප්‍රදේශයක් . එහේ අලි ඉන්නවා,වැව් තියෙනවා,ඒ වගේ ම කටුපඳුරු තියෙනවා. කර්කශ කැලෑ, ගමන් කරන්න අපහසු , වැස්ස ම ලිස්සන ගුරු පාරවල් ,කට්ට කරවෙන්න පායලා, වහිනකොට පස්වලින් එන දුවිලි සුවඳ . ඒව තමයි ඒ පැත්තේ පාරිසරික ස්වභාවය.මම හිතන්නේ කවියෙක්ට තියෙන්න ඕන හොඳ ම උත්ප්‍රේරක වියළි කලාපයේ තියෙනවා." *ඒ වගේ ම ඔබ මෙච්චර ලස්සනට ලියන්නේ කොහොමද ? "මම ගොඩක් ම කවි ලියන්නේ පරිසර ගුණය පදනම් කරගෙන. විශේෂයෙන් ම හිතල දෙයක් ලියනවට වඩා මම පරිසරය විඳිනකොට ඒ මොහොතේ හිතට දැනෙන හැඟීම අදහස ලියනවා මිසක් මම කවදාවත් ම මාතෘකාවට කවියක් ලියන්නේ නෑ , ලියපු කවියකට මාතෘකාවක් දානවා ඇරෙන්න. කවිය කියන්නේ ඇඟෙන්ම එන්න ඕන දෙයක් . එතකොට ඉර ,හඳ, තාරුකා , මේ වගේ පරිසරය සම්බන්ද දේවල් දකින විදිහ අනුව එය දකින ආකාරය වෙනස් කරා ම , වෙනස් විදිහකින් දැක්කා ම , ඇත්තට ම ඒක දකින්නේ කාව්‍යාලංකාරව. කවියක් විදිහට ඉතින් එහෙම තමා ලස්සන නිර්මාණ බිහිවෙන්නේ. "සන්තෝෂ විල" කවිය ගත්තම මම මගේ අනෙක් කවිවලට වඩා සරලව ම ඉඟියක් ලබාදීමට උත්සාහ ගත්තේ. " ඔබ ඕනෑම වෙලාවක එන්න මා සිටින්නේ සන්තෝෂවිල අසළ උසම උස ගසක යි මා මේ කවිය ලියන්නේ කිසිදු වේදනාවකින් තොරවයි " මම මේ කවිය ලියන්නේ ගොවිපළේ ගහක උඩ පැලක ඉඳල . එතකොට මම මෙයින් අදහස් කරන්නේ , මම සන්තෝෂයේ ඉහලින් ම නැතිනම් සතුටේ උඩම ඉන්නවා කියල. "මම මේ කවිය ලියන්නේ කිසිම වේදනාවකින් තොරවයි "කියන එකෙන් අදහස් කරන්නේ මම ඉන්නේ සතුටෙන් කියල . ඒඒත් ඇත්තට ම මම ඉන්නේ දුකෙන් කියන එක මම ප්‍රකාශ කරනවා, "මා මේ කවිය ලියන්නේ කිසි ම වේදනාවකින් තොරවයි" කියන එක කවි පන්තියේ තවත් ස්ථානයකත් යොදාගෙන එක ම දේ නැවත නැවත කීමෙන්. "මා මෙහි වෙසෙන බව ඔබට ලියු තුරුපත් හොටෙන් ඇන- දෙපයින් ඉරා අන්න මේ ගසයට ඔහේ දිරා යයි පොළොවට පොහොර වෙයි මම මෙහි ඉන්නව,මම හොඳින් ,ඔයාට කොහොමද? ඔයා හොඳින් ඉන්නව ද? කියල මෙහිදි අහන්න උත්සාහ ගන්නවා. නමුත් මට එය දැනගන්න ඕන නෑ , දැනගන මොකට ද වගේ දෙයක් හඟවන්න උත්සාහ කරනවා.ඒඒක අහන්න ඕන, ඒඒත් මේක ආය කියන්නේ ඇයි කියල වගේ ඒ අහන්න ගියපු දේ ගිලගන්න උත්සාහ කරනවා. "හිරිගඩු පිපෙන උතුරු දූපතේ සිට එන සුළඟ ඔබේ සුවඳ ගෙන එයි හිරිගඩු පිපුණම පිහාටුවක් දෙකක් හලන එක ගානක් නෑ දැන් මට පුරුදුයි" මෙහි උතුරු දූපතේ සිට එන සුළඟෙන් අදහස් වෙන්නේ අතීතයේ සිදුවීම් නැවත නැවත මතක් වෙනකොට ලොකු දුකක් වේදනාවක් දැනෙනවා කියන එක. එතකොට කුරුල්ලෙක් අමතර පිහාටුවක් නෙමෙයි, හොඳින් සවිමත්ව ශරීරයට සම්බන්ධ වුණු නිරෝගිමත් පිහාටුවක් ගැලවෙනකොට ඔහුට දැනෙන වේදනාව ඉතාමත්ම දැඩි වේදනාවක්. අන්න ඒ වගේ ම අර අතීත මතක නිසා දැනෙන වේදනාව නසන්න , විසෙන් විස නසනව වගේ වේදනාවෙන් වේදනාව නසන්න, ඊටත් වඩා වේදනාවක් දෙනව කියන එක . "චන්ද්‍රා චන්ද්‍රාලෝකේ එව්වාම දිගහැරෙන කණාමැදිරි පියාපත් මේ දුර්ග ගස නැග එයි ඇවිත් ඔබමොබ ඇවිද ඔබේ වග විමසයි,වද වෙයි එකෙක් දෙකෙක් අල්ලා ගස් කඳේ ගැහුවාම ඒ වදෙත් ඉවරයි" මෙම කවියේ මම මට දැනෙන මම වැඩියෙන් ම ආසම කොටස මේක .මේකෙන් අදහස් වෙන්නේ කණාමැදිරියෝ ඉන්නේ රෑට . උන් දවල්ට ආවත් උන්ගේ එළිය පෙන්නේ නෑ . එලෙස කණාමැදිරිය කියල අදහස් කරන්නේ අපි අවට ඉන්න අපි වේදනාවෙන් දුකෙන් ඉන්නේ කියල දැනගෙනත් ,යම් කිසි සම්බන්ධයක් තිබ්බනම් ඒඒක දැන් නෑ කියලත් දැනගෙන , හිත රිද්දන්න ඕන නිසා අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් අනිනවා වගේ ඕපදූප හොයන මිත්‍රයන්ව.එතකොට වටේ ඉන්න අය "කොහොමද දැන් එයා?"," එයා හොඳින් ද?","සම්බන්ධය කොහොමද ?" කියල අහනකොට, "ඇත්තටම එය වදයක්", "එ්ක මට වේදනාවක්", "ඒකට මම කැමති නෑ" කියල හඟවන්න, එ් ගැන කතා කරන්න අකමැති කියල කියන්න මෙයින් අදහස් කරනව "ගම්දනව් වලින් ඈතට උස ගසක වෙසෙන රෞද්‍ර ගිජුලිහිණියෙකු ගැන පුවත නුදුරේදී ම ඔබට සැලවෙයි නමුත් විශ්වාස කරන්න මා සිටින්නේ සංතෝෂවිල අසළ උසම උස ගසකය" මේ කව්පදවලින් මම පවසන්නේ , මිනිස්සු අවට ඉන්න අය මේ ගැන අහනකොට මුහුණ දෙන්න අමාරුයි. එයට ප්‍රතිචාරයක් විදිහට කලින් හිටිය සෞම්‍ය පුද්ගලයා වෙනුවට රළු පුද්ගලයෙක් බවට පත්වීම සහ ඒ ගැන කවදම හරි දවසක ආරංචි වෙයි. ඔබ දැනගනියි. ඒඒත් මාව විශ්වාස කරන්න.මොන දේ වුණත් "මම හොඳින්, සතුටෙන්, මම දුකින් නෙමෙයි" කියල අනෙකාට විශ්වාසය ඇතිකිරීමට උත්සුක වෙනවා. ඉතින් ඕක තමා සන්තෝෂවිල අසල කවි පන්තියේ සරල අදහස . එයින් ගම්‍යමාන කරන දෙය." ****************************************************************************************************** බාහිර විචාරය මේ මං ලියන පළවෙනි බාහිර විචාරය..මං කවිය අතට ගත්තෙ කියවද්දි අදහස්වලින් පිරිලා යන්න හිතාගෙන..ඒත් කවිය කියෙව්වට පස්සෙ මගෙ හිතේ කිසි දෙයක් ඉතුරු වුණේ නැහැ..ඒ කවිය තුළ කිසිදෙයක් නැති නිසා නෙවෙයි..ඒ කවිය තුළ දරාගන්න බැරි තරම් දේවල් තිබුණ හින්දා..ඒවා කියාගන්න වචන හොයාගන්න බැරි අසරණකම හින්දා හිත ගොළු වුණු තත්පර දෙක තුනක හිස්කමක් තමයි මං අත්වින්දෙ..සමහර හැඟීම් වචන කරන්න හරි අමාරුයි. මේ කවිය ලියන්නෙ එම්ග කේගසීගපීග ශෂිශෂින් කවියා. කවියකට තියෙනවා විවිධාර්ථ. එහෙම විවිධාර්ථ හිතාගන්න පුළුවන් කවියක් කියන්නෙත් හුඟක් සාර්ථක කවියක්.හරි තේරුම වැරදි තේරුම කියලා කවියක තේරුම වෙන්කරන්න බැහැ. කවියෙන් කවියා අදහස් කරපු තේරුම හරියටම දන්නෙ ඔහු විතරයි. ඒත් පාඨකයො කවිය දිහා බලන්නෙ ඔවුන් එකිනෙකාට අනන්‍ය වුණ දෘෂ්ටි කෝණවලින්.කවියා අදහස් කළ තේරුමම පාඨකයන් කවිය තුළ කිමිදිලා සොයාගන්න අවශ්‍ය නෑ.තමන්ගෙම චිත්‍රයක් මවාගන්න පාඨකයන් වන අප සියලුදෙනාට නිදහස තියෙනවා. ඉතින් මං මේ සුදානම් වෙන්නෙ මට මැවුණ චිත්‍රෙ ඔබ එක්ක බෙදාගන්න. "මා සිටින්නේ සංතෝෂ විල අසල උසම උස ගසකයි.. මා මේ කවිය ලියන්නේ කිසිඳු වේදනාවකින් තොරවයි.." කවියකට තියෙනවා උච්චතම පේළි කිහිපයක්..මං මේ කවියෙ උච්චතම පේළි විදියට දකින්නෙ මේ පද පේළි.. අපිට යම් දෙයක් කෙනෙක්ට ඒත්තු ගන්වන්න ඕනි වුණාම එය නැවත නැවත කියනවා.."විශ්වාස කරන්න මං මේ කියන්නෙ ඇත්තක්…"ඒ ආරෙන් තමයි අන්තිම පේළියේ "නමුත් විශ්වාස කරන්න" කියන පදය ලියවෙන්නෙ.."නමුත්" කියල කියද්දි ඊට කලින් ඔහු සංතෝෂයෙන් බව විශ්වාස කරන්න බැරි සාධක හුඟක් අපිට දෙනවා. "ඒත් විශ්වාස කරන්න මං සතුටින්.." මෙහෙම නිතර නිතර කියමින් තමන් සතුටින් බව ගිජුලිහිණියා ඒත්තු ගන්වන්න යන්නෙ කාටද? ඇත්තටම කිව්වොත් රවට්ටන්න යන්නෙ කාවද?බාහිරින් සිටින කාටත් වඩා තමන්ගෙ හිතටම තමා සතුටින් කියලා ඔප්පු කරන්නයි ගිජුලිහිණියා මේ උත්සාහ කරන්නෙ..තමන් දුකින් බව හිත ඇතුළෙන්ම කියද්දි ඒ හිත රවට්ටගන්නයි මේ කවිය ලියන්නෙ. කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ වගේ චූටි දේකුත් මං දකිනවා.ගිජුලිහිණියා අතින් කියවෙන්නෙ නැහැ ඔහු ඉන්නෙ සංතෝෂ විලේ කියලා.ඔහු ඉන්නෙ සංතෝෂ විල අසල උසම උස ගහක..ඒක හරියට පිරිසිදු හුස්ම කොතරම් අවට තිබුණත් ඇඳුම රෝගියෙකුට ඒ හුස්ම ගන්න බෑ වගේ..ඔහුට පේනවා සංතෝෂ විලේ සතුටින් ඉන්න බොහෝ දෙනෙක්..එහෙත් ඔහුට බෑ ඒ සංතෝෂ විලට පනින්න..සතුට ඇස් දෙකට පෙනි පෙනී තියෙද්දි සතුටු වෙන්න බැරි අසීරු මානසික තත්ත්වයකින් ඔහු පෙළෙනවා. ඔහු සංතෝෂ විල අසල උසම උස ගහක ඉඳන් ඔහු අනිත් අය සතුටු වෙන දිහා හිස් හැඟීමකින් බලන් ඉන්නවා. ඇත්තටම බැලුවොත් ඒ විලට හුඟක් දුරයි ඔහුට. මොකද ගස තියෙන්නෙ විල අසලම වුණත් විලට බහින්න නම් ගිජුළිහිණියට සිද්ධ වෙනවා අර උසම උස ගසේ මුළු උසම පියාඹගෙන පහළට එන්න. "ඔබ ඕනෑම වෙලාවක එන්න..." ගිජුලිහිණියා කියන මේ වැකියෙන් මට අර්ථ තුනක් මැවෙනවා: එකක් “ඕනි වෙලාවක ඇවිත් ඔබම බලාගෙන යන්න මං ඉන්නෙ සතුටින්” කියලා. අනිත් එක “කමක් නැහැ ඔබ ඔබට ඕනි වෙලාවක එන්න,මං දැන් සතුටින් ඉන්නෙ”…ඒක හරියට ඉඩෝරෙට හුරු වුණාම වසන්තය ආවත් එකයි නාවත් එකයි වගේ අර්ථයක්..අවසන් අර්ථය තමයි, “ඔබ ඔබට හිතෙන ඕනිම වෙලාවක එන්න.ඔබ එනකල් මං මෙහි සතුටින් බලන් ඉන්නවා,”කියන එක "මා මෙහි වෙසෙන බව ඔබට ලියූ තුරුපත් හොටෙන් ඇන දෙපයින් ඉරා අන්න මේ ගස යට ඔහේ දිරා යයි..පොළොවට පොහොර වෙයි.." මේ එකම තුරුපතක්වත් ඔබ කියන පුද්ගලයාට ලැබෙන්නේ නැහැ. සමහර විට ගිජුලිහිණියාට හිතෙන්න ඇති එහෙම එන්න කියලා ආයාචනා කරලා යවන තුරුපත් "ඔබ" කියන පුද්ගලයාට හිරිහැරයක් වෙයි කියලා. ඒ තුරුපත්වල ඉරණම හොටෙන් ඇන දෙපයින් ඉරා බිම දැමීම...හරියටම කවි කොළ පොඩි කරලා විසිකරනවා වගේ. ඒකත් තව සාක්ෂියක් ගිජුලිහිණියා මේ කවිය ලියන්නෙ 'ඔබ' කියන පුද්ගලයට තමන් සතුටින් බව දැන්වීමට වඩා තමා සතුටින් බවට තමන්ගෙම හිත රවට්ටාගැනීමට කියලා. "හීතල හීගඩු පිපෙන උතුරු දූපතෙන් එන සුළඟ ඔබේ සුවඳ ගෙන එයි.." සුවඳත් හීගඩු පිපෙන සීතලත් එකට විඳින්නට වෙන එක මොනවගේද...ඔබේ සුවඳ අරන් එන සුළඟ දැන් මාව කුල්මත් කරන්නෙ නැහැ ඒ වෙනුවට හීගඩු පිපෙන සීතලකින් මාව වෙළනවා. මේක බාහිරින් එන සුළඟට වඩා ඇතුළාන්තයෙන්ම එන සුළඟක්...ඔබත් අත්විඳලා තියෙනවනම් දරාගන්න බැරි තනිකමක්,හිස්කමක් එකපාරට හිතට දැනෙනකොට ඇඟේ හීගඩු පිපෙනවා. "හීගඩු පිපුනහම පිහාට්ටක් දෙකක් හලන එක ගානක් නැහැ දැන් මට පුරුදුයි" කවිය එක්ක ඒකාත්මික වෙද්දි සුසුමක් පිටවෙන වාක්‍යයක්..හීගඩු පිපුණහම ගිජු ලිහිණියා කරන්නෙ පිහාට්ටක් දෙකක් හලන එක..මට මැවෙන්නෙ තමන්ගෙම පිහාටු හොටෙන් ඇදලා විසිකරන ගිජුලිහිණියාව..මේක හරියට මනුස්සයෙක්ට ලොකු වේදනාවක් දැනුණම බිත්තියේ හයියෙන් ඔළුව ගහගන්නවා වගේ දෙයක්…ගිජුලිහිණියා තමන්ටම රිද්දගන්නවා. "ගානක් නෑ දැන් මට පුරුදුයි..."ඒ වචන ටික හරි බරයි..කෙනෙක්ට වේදනාවක් දිගින් දිගටම දැනෙන්න ගද්දි ඒ කෙනා ඒ වේදනාවටත් හුරුවෙනවා… "චන්ද්‍රයා චන්ද්‍රාලෝක එවුවම දිගහැරෙන කණාමැදිරි පියාපත් මේ දුර්ග ගස නැග එයි ඇවිත් ඔබ මොබ ඇවිද ඔබේ වග විමසයි,වද වෙයි!" එකෙක් දෙකෙක් අල්ලා ගස්කඳේ ගසා මැරුවාම, ඒ වදෙත් ඉවරයි! සඳ එළිය, රාත්‍රිය කියන්නෙ මතකයන් එළියට ඇදෙන වෙලාවක් , හරියට කණාමැදිරියො වගේ..මුළු ලෝකයෙන්ම ගැලවිලා දුරස් වෙලා හිටියත් ගිජුලිහිණියාට මේ මතකයන්ගෙන් නම් ගැලවීමක් නෑ..දුර්ග ගස නැගගෙන මුදුනටම එන්න පුළුවන් ඒ මතකයන්වලට විතරයි. ගස මුදුනටම ඇවිත් ඒ කණාමැදිරියන් නවතින්නෙත් නෑ ඔබ මොබ ඇවිද යනවා.."ඔබ" කියන පුද්ගලයා පිළිබඳ මතකයන් සහ සිතුවිලි සිත පුරාම සක්මන් කරන්න පටන් ගන්නවා කියලා අපට හිතන්න පුළුවන්..එතනින් නවතින්නෙත් නෑ "ඔබ" පිළිබඳව විමසන්න වදවෙන්න ගන්නවා..ගිජුලිහිණියා මේ සිතුවිලිවලින් පෙළෙනවා..අන්තිමේදී ඒ සිතුවිලි එක්ක ගිජුලිහිණියාට ඇතිවෙන්නෙ ද්වේශයක්..ඔහු ඒ සිතුවිලි එක්ක ගැටෙනවා..ඒ සිතුවිලි ,"ඔබ" ගැන මතකයන් මරා දමන්න ගිජුලිහිණියා උත්සාහ කරනවා..පළමුවෙන් ආ සිතුවිලි, මතකයන් මරා ඊළඟට එන්න නියමිත සිතුවිලිවලට පෙන්වනවා මේ වගේ හැසිරුණොත් ඔබටත් වෙන්නෙ මෙන්න මේ දේ කියලා..ඒ මතකයන්ගෙන්,සිතුවිලිවලින් නිදහස් වෙන්න ගිජුලිහිණියා උත්සාහ කරන්නෙ එහෙම.."එකෙක් දෙකෙක් අල්ලා ගස්කඳේ ගසා මැරුවාම, ඒ වදෙත් ඉවරයි!" "ගම් දනව් වලින් ඈතට උස ගසක වෙසෙන රෞද්‍ර ගිජුලිහිණියකු ගැන පුවතක් නුදුරේදිම ඔබට සැලවෙයි" හිත බිඳුනම සමාජ ආශ්‍රයෙන් ඈත්වෙලා තනිවෙන්න තමයි හැමෝටම ඕනි වෙන්නෙ...සමාජෙන් , වටපිටාවෙන්, මතකයන්ගෙන් හැමදේකින්ම ඈත්වෙන්න හිතාගෙන ගම්දනව්වලින් ඈත තියෙන උස ගසක් ගිජුලිහිණියා වාස භවන කරගන්නවා. ඉතින් ඇයි ගිජුලිහිණියා මේ තරම් රෞද්‍ර වුණේ? රෞද්‍ර ගිජුලිහිණියෙක් සිටින බව "ඔබ" නම් පුද්ගලයා කොහෝ සිටියත් "ඔබටත්" සැලවෙන්න තරම්, රෞද්‍ර බවින් ඒ තරම් ප්‍රසිද්ධ වෙන්න තරම් බලපාපු හේතුව මොකද්ද? හුඟක් හිත් මල් පෙති වගේ සියුම්..ඒ වගේ හිත්වලට දරාගන්න බැරි වේදනාවන් ආවම ඒ හිත් ගල් වගේ දැඩි වෙන්න ගන්නවා..මොකද ආයෙමත් රිද්දගන්න බැරි නිසා..රෞද්‍ර විදියට හැසිරුණාම කිසි කෙනෙක්ට තමන්ට රිද්දන්න අමාරුයි කියලා ගිජුලිහිණියත් දන්නවා ඒ කවිය මට දැනුණෙ කවියක් විදියටත් වඩා හැ‍ඟීමක් විදියට; හැඟීම් ගොන්නක් විදියට. මොහොතකට මම ඒ ඈත ගසේ වෙසෙන රෞද්‍ර ගිජුලිහිණියා බවට පත්වුණා. ඒ ගිජුලිහිණියත් මාත් වෙන් කරගන්න බැරි තරමට ඒ හැඟීම්වල බර මට දැනෙන්න ගත්තා. මට කියවන්න ලැබුණු විශිෂ්ඨම කවියක්..කවියෙන් මට මැවුණු චිත්‍රය මං ඔබ එක්ක බෙදාගත්තා. මගේ චිත්‍රෙනුත් පාට අරන් ඔබට මැවෙන චිත්‍රය රසවිඳින්න කියලා මං ආරාධනා කරනවා.

NEWS

මං ආස ම මගේ කවිය | 21 වන දිගහැරුම | එම්.කේ.සී.පී. ශෂින් සමඟින්

  • Date: 2022-10-10