Blog



මම සාමාන්‍යයෙන් දකින දෙයක් තමයි, අපේ ජීවිතයේ තියෙන හිඩැස් සහ අපිට නොලැබෙන දේවල් අපි ජීවත්වෙද්දී හොයනවා. ඒ හිඩැස් පුරවගන්න අපි උත්සාහ කරනවා; වෙහෙසෙනවා. සමහර අවස්ථාවලදි ඔය කියන හිඩැස් පුරවගන්න අපට පුළුවන් වෙනවා‌; සමහරවිට බැරි වෙනවා. අපට ජීවිතයේ ඉදිරියට යන්න අවශ්‍ය පිපාසාව සහ වුවමනාව ඇතිකරන්නේ ඔය කියන පුරවගන්න බැරිවෙච්ච හිඩැස් කියලා මට දැනිලා තියෙනවා. පුරවාගන්න පුළුවන්වෙච්ච හිඩැස් ගැන හිතලා සතුටුවෙන්න පුළුවන් නමුත් ඇත්තටම ජීවිතයේ ඉදිරිගමනට අවශ්‍ය ගාමක බලය තියෙන්නෙ, ලැබිච්ච දේට වඩා නොලැබිච්ච දේ තුළ යි. ලැබිච්ච දේ ගැන හිතන එක නම් බොහෝවිට අපි හිතල කරන දෙයක් මිසක් අපට ඉබේ වෙන දෙයක් නෙවෙයි. නමුත් නොලැබුණු දේ ගැන මතකයේ දේවතා එළි, අපේ හිතේ විටින්විට පෙන්න පටන්ගන්නවා. ඒක අපේ ආරාධනාවකින් සිදුවෙන දෙයක් නෙවෙයි. ඇත්තටම මේ පුරවාගන්න බැරිවෙච්ච හිඩැස්වලින් අපව අපේ ජීවිතවල තියෙන ගැඹුර සහ බරපතලකම ගැන වඩාත් සංවේදී කරනවා කියලයි මගේ අදහස. මං මේකට මගේ ජීවිතයෙන් ම උදාහරණයක් සපයාගන්නම්… මම පවුලේ එකම ළමයා. නෑදෑ ළමුන්ගේ ඇසුර මට ලැබුණත්, මගේ ම පවුලේ සොයුරෙකුගේ හෝ සොයුරියකගේ ඇසුර මට ලැබුණේ නැහැ. ඒ නිසා මගේ පාසල තුළ සහ ඉන් අනතුරුව විශ්වවිද්‍යාලයට ආවට පසුව එහි තිබෙන සංගම්වලත්, මගේ පීඨය තුළත්, සමාජ මාධ්‍යවලින් දැනහඳුනාගත් මිත්‍ර පර්ෂද තුළත් මට නොලැබුණු සහෝදර උණුසුම මම හොයාගෙන ගියා. එකට වැඩකරද්දී අදහස් හුවමාරු කරගනිද්දි ළෙන්ගතු වුණ අයට මම ගොඩක් සමීප වුණා; ළඟින් ඇසුරු කළා. ඒකෙන් තමයි මම මිනිස්සුන්ට ආදරය කරන්න වැඩියෙන්ම පුරුදු වුණේ. සමහරවිට මම පවුලේ එකම ළමයා නොවී, මගේ ම සහෝදරයෙක් හෝ සහෝදරියක් මට හිටියා නම් ඔය තත්ත්වයට මං පත් නොවෙන්න ඉඩ තිබුණා. මගේ කාව්‍යකරණය තුළටත් මේ සහකම්පිත ගුණයේ ආභාසය කාන්දු වුණා කියලා මට දැනිලා තිබෙනවා. එක්කෙනෙක්ට දෙන්නෙක්ට ජීවිතය සීමා නොවෙද්දි මුළු ලෝකයට‌ ම ආදරේ කරන්න අපි පුරුදු වේවි. එහෙම වුණාම මුළු ලෝකයම අපටත් ආදරය කරාවි. “…ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතු යි ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි…” ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගී පද කොච්චර ගැළපෙනවා ද අපේ මාතෘකාවට… නේද? ඒ නිසා මට හිතෙන දේ නම්, මේ හිඩැස් තමයි අපේ ජීවිතය “සම්පූර්ණ කරන්නේ.” ලැබුණු දේ වගේ ම නොලැබුණු සහ කිසිවිටක නොලැබෙන දේවලුත් තියෙනවා. මෙතැනදී නොලැබුණ දේවල් වෙනුවෙන් වීරිය නොකර කරබාගෙන ඉන්න කියන පණිවිඩය නෙවෙයි මට ඔබට දෙන්න ඕන; නොලැබුණු දේවල් ගැන අපි නොහිතන නමුත් හිතිය යුතු, අපි මගහැරගත් දෙයක් තිබෙන බව යි. අපි අපට නොලැබුණු දේවල්වලට වැඩියෙන් ආදරය කරනවා කියලා ඔබත් අවිවාදයෙන් ම පිළිගන්නවා ඇති. අපට ලැබුණ දේවල්වලට අපි ආදරය නොකරනවා නෙවෙයි… නමුත් ඒක අපට “අහිමි දෙයක් නෙවෙයි” හෝ එය අපට “ලැබුණ දෙයක් නේද” කියන හැඟීම විසින් තවදුරටත් ඒ පසුපස හඹායාම, අපි ඒකට ලබාදෙන වටිනාකමෙහි තරම, ඒ දේ ලබාගන්න අපට තියෙන පිපාසාව, වුවමනාව හෝ ඒ දේ නැතිකමින් අපට දැනෙන අභ්‍යන්තරික ආත්මීය දාහය නැතිකර දමනවා කියලා මට හිතෙනවා. හොඳම උදාහරණය තමයි මම කලින් කිව්ව විදියට මම පවුලේ එකම ළමයා වුණ නිසා මම කොතැන ගියත් මගේ ඇස හොයන්නේ මට නොලැබුණ සහෝදර සෙනෙහස, ඒ ඇසුර, සහෝදර සේවනය. එය ලැබෙනවා කියලා මට හැඟුණ තැනට මම ළං වෙනවා. අපට නොලැබුණ දේවල් අපේ “ඇසට” බලපෑම් කරනවා. අපේ ඇස හොයන්නෙ අපිට ඔින දේ. අපට යමක් ලැබිලා අපි ඒ දෙයට ආස වුණහම අපි ඒ දේ හොයනවා. ඒ වගේ ම අපට ඒ දේ මින් පෙර නොලැබුණා නම් අපි ඊටත් වඩා වුවමනාවකින් ඒ දේ හොයනවා. එහෙම හොයාගෙන හොයාගෙන මේ ජීවන චාරිකාවේ ගමන් කරනවා. මට මගේ ළමා කාලයේදී ස්පර්ශ කරන්න බැරි වුණ ජීවිතයේ සමහර ඉසව් තිබෙනවා. අදටත් මම ගතින් යෞවනයෙකු වුණත් ළමා ඇසුරක් ලැබෙන තැනකදී මමත් මොහොතකට හිතින් පොඩිත්තෙකු බවට පත්වෙලා ඒ අත්දැකීමට සමවැදෙනවා. අර කියන පය නොගසපු ඉසව්වල මනසින් ඇවිදිනවා… මනෝමය සක්මනක්! වැඩිහිටි ලෝකය සෑහෙන්න සංකීර්ණයි කියලා මට හිතෙනවා. ළමා ලෝකය සංකීර්ණ නැහැ කියල මම කියන්නෙ නෑ නමුත් ඒ සංකීර්ණත්වය එන්නෙ යම්කිසි සරල බවකුත් සමඟ. ඒක බොහොම විසිතුරු, වින්දනීය, හිත සතුටුකරන සංකීර්ණත්වයක්; වැඩිහිටි අපට වුණත් හැල්මේ දුවන ජීවිතයෙන් මඳකට මිදිලා විඳින්න වටින ලස්සන අරුමැසි සංකීර්ණත්වයක්. ඉතින් ඔය කියන අපට නොලැබුණ දේ අපට ලැබෙනවා යැයි දැනිච්ච අවස්ථාවලදී මං හිතන්නේ අපි ලෝකෙ ඉන්න වඩාත්ම සංවේදීම සහ වඩාත්ම බලාපොරොත්තු සහගත පුද්ගලයා බවට ඒ මොහොතේ පත් වෙනවා. මොකද අපව මේ තාක් ජීවිතයේ යම් සිතීමේ රටාවකට අනුගත කරවපු, ජීවත්වෙන්න අපට හේතුවක් සපයපු ඒ පිපාසාව මුදුන්පත් කරගන්න ලැබෙනවා කියන හැඟීම හරිම විශේෂ දෙයක්. ජීවිතයේ කූටප්‍රාප්තියක් වගෙයි ඒ මොහොත දැනෙන්නෙ. ඔබට පෙම් කරන හදවතක් මේ ලෝකෙ කොහෙවත් නැතැයි කියලා තැවි තැවී හිටිය කෙනෙක් නම් එහෙම හදවතක් මුණගැහුණ මොහොතකදී ඔබට එය කොහොම දැනෙයි ද? ලිපිය අවසන් කරන්නට මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය වන “හතිහලන වැලිකැට” කෘතියේ එන “හිමි - අහිමි” නමැති 24වැනි කවිය තෝරාගන්නට මම හිතුවා. එහි එන අර්ථය මේ මාතෘකාවට ගොඩක් සමීප නිසා: හතර මහ ගංගා ගලන්නේ උඩට නම් අහලා නැතී කඩාවැටෙනා තරුව දුටු දන කඩිමුඩියෙ පැතුමන් පැතී වටපිටේ හැඩකරන ඇල්ලක් වැටෙන්නේ පහළට සකී පිනට පල නම් “ලැබීමක් ම යි” හැම කලට සිතනට බැරී අහිමි වීමත් පිනක් ම යි පෙර දිනක දෑහින් දැක ඇතී [40වැනි පිටුව - “හතිහලන වැලිකැට” කාව්‍ය සංග්‍රහය (2022)] අපි යමක් ලැබුණම ඒක අපේ පිනට බැර කරනවා. පූරුවේ පිනක් හෝ වේවා මේ භවයේදී කරගත්ත පිනක් හෝ අඩුමතරමින් අපේ නෑහිතමිතුරෙක්ගෙ පිනට හෝ ඒක බැරවෙනවා. නමුත් නොලැබීම්? අහිමි වීම්? ඒවා අවාසනාව නිසා වෙන දේවල් ම ද? පෙර පව් නිසා වෙන දේවල් ද? සමහර දේවල් ජීවිතයේ නොලැබීමත් පිනකට ම වෙන දෙයක් වෙන්න බැරිද? මෙතැනදී “නොලැබීම” කියන වචනයෙන් මම දේවල් දෙකක් අදහස් කරනවා. ඒ තමයි අපි අකමැති දේවල් නොලැබීම සහ කැමති දේවල් නොලැබීම. අන්න ඒකත් අපි දැනගන්න ඕන දෙයක්. ඉතින් “හිඩැස්” ගැන මගේ අදහස් තමයි මේ අකුරු කළේ. “ඔබට ලැබුණු දේ වෙනුවෙන් ඔබ විශ්වයට ස්තූතිවන්ත විය යුතු ය” කියලා කියමනක් ඔබ අහලා ඇති. මම අහලා තියෙනවා ලෝක ප්‍රසිද්ධ දේශක ප්‍රේම් රාවට් මහත්මා (Prem Ravat) සඳහන් කරනවා: ‘ඔබ ගන්නා සෑම හුස්මක් වෙනුවෙන් ම විශ්වයට ඔබ ස්තූතිවන්ත විය යුතු යි,’ කියලා. ‘හිරුඑළිය, සුළඟ මේ හැමදේටම ස්තූතිවන්ත විය යුතු යි,’ කියලා. නමුත් අපට ජීවිතයේ නොලැබෙන දේ ගැන කර්මයට දොස් නගන, තමන්ගේ අවාසනාව ගැන දෝස්මුර තියන අතොරක් නැති ජනසන්නිපාතයක් අතරේ ඔබ මොහොතක් හෝ අරන් ඔබට නොලැබුණු දේ වෙනුවෙනුත් ජීවිතය වෙත ඔබේ ස්තූතිය පුද කරන්න පුරුදු වෙන්න. නොලැබුණු දේ ගැන හිතේ තියෙන පිපාසාව නිසා හතිනොවැටී මේ ජීවිත චාරිකාවේ ඔබ තබන පියවරක් පාසා ඊට ස්තූතිවන්ත වෙන්න. ඉතින්, ජීවිතය! නොලැබුණු දේට ස්තූතියි!!

NEWS

හිතට දැනෙන දේ | නොලැබුණ දේට ස්තූතියි

  • Date: 2022-10-12