Blog



"ආදරණීය මේඝ," වේලාව මැදියම් රැයට ආසන්නව තිබිණි. වෙනදා ඇසෙන මැඩියන්ගේ හා රැහැයියන්ගේ කෑ කෝ හඬ අද ඇසුණේ නැත. ගිනි ගෙන දැවෙනා හදවතක වේදනාත්මක ස්වරයක මුහුණුවරක් ගත් මොර සූරන වර්ෂාව පමණක් මගේ දෙසවන් වැකුණි. හිරිගඩු පිපෙන සිසිල ද නොතකමින්, මා අවදිව සිටියේ අතීත මනෝ ලෝකයේ සිතුවිලි සමඟ පොර බදිමින් සිටි බැවිනි. ලා රෝස පැහැයක් ගත් කඩදාසියක් මත මගේ නෙත් රැඳී තිබිණි. නීල වර්ණ අකුරු සරඹය නැවතත් අත්දැකීමට ප්‍රථම, ආමන්ත්‍රණය මත මම නැවතුනෙමි. "අයියේ," යනුවෙන් නිතරම මා හට ඇමතීමට පුරුදුව සිටි ඇගේ සමාරම්භය මගේ හිතට පැනයක් මතු කළේය. ලිපිය රස විඳීම මදකට පමා කළ මම, ඇගේ සේයාව මතකයට නගා ගතිමි. චිත්තාකර්ෂණීය සිනාවකට හිමිකම් කී ඇය, කෙළිලොල් දඟකාරියක නොවූවද හදවතට ආමන්ත්‍රණය කිරීමට සමත් වාග් මාලාවකට හිමිකම් ඇත්තියක් වූවාය. හමුවන සෑම දෙනාටම සිනහවකින් සංග්‍රහ කිරීමට තරම් පරිත්‍යාගශීලී වූ ඇය, ඇගේ මිතුරියන් හා නෑදෑ හිතවතුන්ට අමතර වශයෙන් සමීපව ඇසුරු කළ එකම පුද්ගලයා මා පමණක් බව මතකයට නැගෙන විට ආඩම්බරකාරී සතුටකින් මගේ සිත වෙලා ගත්තේය. කෙදින කෙසේ ඈ හඳුනාගත්තාද යන වග මා හට මතක නැත. නමුත් මා හට මතක ඇති දින සිට ඇය ද මම ද, වැස්සට සුළඟ මෙන්, සුළඟට සිසිල මෙන් බැඳී සිටියෙමු. ලිපිය පසෙකින් තැබූ මා, ජංගම දුරකථනය අතට ගත්තේ හිතේ මැවුණු රුව ඡායාරූපයකින් දැනගැනීමට හිතේ උපන් බලවත් රුචිය හේතුකොට ගෙනය. ඡායාරූප ගැලරියේ උඩට පහළට ගමන් කළ මා හට ඇගේ ඡායාරූපයක් සොයාගැනීමට නොහැකි වීම පිළිබද මම මටම ශාප කළෙමි. " මට කොහොමද එයාව delete කරන්න පුළුවන් වුණේ??" එකෙනෙහිම සියුම් කදුළු බිංදු දෙකක් ගලාවිත් ස්ක්‍රීනය මත පතිත විය. දෑස් පියාගත් මම මනෝ ලෝකයේ සැරිසරන්නට වීමි. මා අවසන් වසර විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස ඉගෙනුම ලබන කාලයේ, ඇය පළමු වසර විශ්ව විද්‍යාල සිසුවියක වූවාය. නමුත් අපි එකම පීඨයන්ට හෝ අවම තරමින් එකම විශ්ව විද්‍යාලයකට අයත් නොවීමු. විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවලින් හෙම්බත් වී සිටි මා හට ඈ සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන එක් තත්පරයත් ඉමහත් අස්වැසිල්ලක් විය. ඈ මගෙන් කෙටි පණිවිඩයක් ලැබෙන තුරු බලා සිටි පමණින්ම මා ද ඇගේ කෙටි පණිවිඩ අපේක්ෂාවෙන් පසුවුනෙමි. අකුරු හතරක සම්බන්ධයකට කොටුකර දැක්වීමට නොහැකි වූ නමුත්, අප අතර පැවති බැඳීම සාමාන්‍ය මිත්‍රත්වයක් පමණක් නොවන බව වටහා ගැනීමට අප හට නොහැකියාවක් නොතිබුණි. අප අතර වූ ගිවිසා ගැනීම්, ආදරබර වදන් හුවමාරු වීම් ඊට කදිම නිදසුන් විය. නමුත් දෛවයේ සරදමට මෙන්, විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර වෘත්තිය දිවියට පැමිණීමත් සමඟ අපේ මිතුදම් පළුදු වීමට පටන් ගත්තේ මගේ ඇතැම් සිත් පිත් නැති තීරණ නිසාවෙනි. ඒ වන විටත් මා දෛවයේ තුංමංසල අභිමුව නතරව සිටියේ, මගේ වංචාකාරී සිත වෙනත් සරණක් අපේක්ෂාවෙන් සිටි බැවිනි. නමුත් කිසිවක් නොදත් ඇගෙන් ලැබෙනා කෙටි පණිවිඩ හා සුවදුක් විමසන දුරකථන ඇමතුම්වලින් නම් අඩුවක් නොවීය. ඊට මවිසින් ලැබූ ප්‍රතිචාර ඇගේ සිත කම්පනයට ලක්කරන්නට ඇති බව නම් නොරහසකි. දිනක් සැන්දෑ යාමයේදී මා විවේකී සුවයෙන් කහට කෝප්පයක් රස විඳිමින් සිටියෙමි. ඇගෙන් ලත් හදිසි දුරකථන ඇමතුමක් මගේ නිදහසට බාධා ඇති කිරීම පිළිබඳ තරමක විස්සෝප වුණු මා ඈ හට ප්‍රතිචාර දැක්වූ අයුරු මතකයට නැගෙන විට සියුම් කම්පනයක් හිසේ සිට පාදාන්තය දක්වා ගමන් කරනවා සේ දැනුණි. " Hello අයියේ, කොහොමද ඔයාට?" " මම හොඳින් ඉන්නවා නංගි" " ඔයා අසනීප වෙලා හිටියා කියලා අරවින්ද අයියා රුචිට කියලා තිබුණා. දැන් හොඳයිද ඔයාට? අමාරුවක් නෑනේ නේද?" " නෑ නෑ... මං දැන් සැරයකුත් කිව්වනෙ මං හොඳින් කියලා නංගි.. " මගේ පිළිතුරින් මදක් තැති ගැනීමකට ලක් වූ නමුත් ඒ බව සඟවා ගත් ඈ, සුපුරුදු පරිදි මා හා දොඩමළු වීමට උත්සුක වූවාය. විශ්ව විද්‍යාල කටයුතු, ඇගේ සුරතලුන්, විවාහ යෝජනා පිළිබද ඇගේ කියවීම එදින මට මහත් හිසරදයක් විය. " අයියෝ නංගි, ඔයා මට ඕවා ගැන කලින් කියලා තියෙනවා නේ.. එකම දේ කියව කියව වද දෙන්න එපා අනේ. Exam ළගයි නම් ඇයි පාඩම් කරන්නෙ නැත්තෙ?" එවන් ප්‍රකාශයක් මා කලේ මොන යක්ෂයා ආවේස වෙලා දැයි මා අදටත් නොදනිමි. සිහින් ඉකි ගැසීමක් සමග ඇය අසා සිටියේ " ඔයාට මං කතා කරන එක වදයක් ද අයියේ??" කියාය. ඔව් කීමට හේතු කාරණා පෙළගස්වමින් සිටි මම, " නෑ නෑ.. මං පොඩි වැඩක ඉන්නෙ. වැඩේ ඉවර වුනාම මං ඔයාට call එකක් ගන්නම්" යැයි කියුවේ සංවාදය අවසන් කිරීමට සිතැතිව ය. එය අප අතර සිදුවූ අවසන් දුරකථන සංවාදය විය. හඬමින් මදක් රැදී සිටි ඇය දුරකථනය විසන්ධි කළාය. සිතුවිලි දැහැනින් මිදී පියවි ලොවට පිළිපන් මා හට තවමත් අවබෝධ කර ගත නොහැකි වූයේ අද කවරදාටත් වඩා මා හට ඈ මතක් වන්නේ කවර හේතුවක් නිසා ද යන වග යි. මිතුරෙකු මාර්ගයෙන් මා වෙත පිළිතුරු අපේක්ෂාවෙන් තොරව එවා තිබූ අවසාන මෙන්ම එකම හසුන් පත මම නැවත රැගෙන කියවා බැලීමි. " නොසලකා හැරීම හමුවේ, ප්‍රබල හැගීම් පවා කල් ඉකුත් වේ." ඊට වැඩි යමක් අවබෝධ කරගත නොහැකි වූ මම ඈ යයි සිතා හසුන් පත ළයට තුරුළු කර ගත්තෙමි.

NEWS

විභව කෙටිකතා | පමාව

  • Date: 2022-10-27