Blog



මවගේ විලාපයත්, පියා ඇතුළු බොහෝ දෙනෙකුගේ සුසුම් හඬත් මගේ හිස තුළ දෝංකාර දෙන්නාක් මෙන් දැනිණ. සිහිනයකින් ඇවිද යන්නෙකු ලෙස සෙමින් සෙමින් දොරකඩින් මම පා නඟා සාලය මැද වූ දේහය පසුකරගෙන ගියේ ඒ දෙස මොහොතකටවත් දෙනෙත් යොමු නොකරමිනි. මා දුටු පසු එතැන සිටියවුන්ගේ හැඬුම් සියල්ල උච්ච වූ නමුදු මට ඒවා දැනුණේ හෝ ඇසුණේ නැත. කාමරයට වැදී දොර වසා ගත් මම පාසල් බෑගය ගලවා එයට හිමි නිවහන ලබා දුනිමි. එවිට එහි වෙනදා නොවූ හිඩැසක් මම දුටුවෙමි. එනම් මගේ බෑගය අසලින් ම හිඳින අනෙක් බෑගය අද එතැන නොමැති බවයි. විනාඩි කිහිපයකින් මට වඩා වැඩිමහල් වූ, මගේ සිරුරේ එක් අඩක් වන් වූ මගේ නිවුන් සොයුරිය සාලය මැද අලුත් යහනක අවදි නොවන නින්දකට වැටී සිටියාය. මගේ සිරුර අමුඅමුවේ පුළුස්සා දමන්නාක් වන් වූ වේදනාවක් මට දැනුණි. ඇඳ මත වාඩි වී හිසකේ අතර දෑත් රඳවා ගත් මම අද උදෑසන සිට සිදු වූ සිදුවීම් එකිනෙක අමුණන්නට වුයෙමී. ********************* පාසල නිමා වී දෑත් වෙලාගෙන ගේට්ටුවෙන් පිටතට ඇයත්, මමත් පැමිණි අතර අප බාලිකාවේ සොයුරියනුත්, අසල්වැසි බාලක පාසලේ සොයුරනුත් නිසා ඇති වූ තදබදය මැදින් සුපුරුදු කටහඬක් අපට ඇසුණි. "නංගී...නංගී... ඒ තරූ..." මාත් සොයුරියත් හැරී බලන විට දුටුවේ අපගේ ඥාති සොයුරාය. නමින් ධනුක වූ ඔහු අප පියාගේ සොයුරාගේ පුත්‍රයාය. උසස් පෙළ අංශයේ ඉගෙනගත් ඔහු අපට වඩා වසර කිහිපයකින් වැඩිමහල් ය. මගේ සොයුරිය මා ද කැටුව ඔහු දෙසට දුවන්නට විය. අපි දෙදෙනා ඔහුගේ අත් දෙක සම සේ බෙදාගෙන එහි එල්ලුණෙමු. "අයියා කවද්ද ආවේ?" සොයුරිය ඇසුවාය. "ඒකනේ... කිව්වෙවත් නෑ.." මම කීවේමි. "ඊයේ රෑ ආවේ. එයාර්පෝට් එකේ ඉඳලා එද්දී ඔයාලගේ ගෙදර ලයිට් නිවලා තිබ්බා. ඒ නිසා ඉස්කෝලෙට ඇවිත් කතා කරනවා කියලා හිතාගෙන අද ම ඉස්කෝලේ ආවා." අයියා කීවේය. "දකුණු ආසියානු කරාතේ තරඟාවලියට සහභාගී වී, රන් පදක්කමක් දිනාගෙන රටට අතිවිශාල කීර්තියක් අත් කර දුන් ධනුක වීරයා අපිට මොනාද රැගෙන ආවේ කියලා පවසනවාද?" මම ගැඹුරු කටහඬකින් මාධ්‍යවේදිනියක විලාසයෙන් ඔහුගෙන් ඇසුවෙමි. තිදෙනාම ඊට සිනහවෙමින් සෙමින් සෙමින් ගමන් ආරම්භ කරන්නට වීමු. "ගෙනාපුවා නේද... ඒවා ඔයාට දෙන්නෑ...ඒවා දෙන්නේ මේ තරූට විතරයි." ඔහු සොයුරියගේ නාසය අල්ලා සොලවමින් කීවේය. "ආ... ඒකත් එහෙමද...දීලා බලනවකෝ එයාට විතරක්... මං මොකද කරන්නේ කියලා බලන්න..." ඊර්ෂ්‍යාව මුසු වූ සියුම් කෝපයකින් මම ඔහුගේ අත ගසා දමා පසෙකට වෙමින් කීවේමි. ඔවුන් දෙදෙනා මගේ ක්‍රියාවට මහ හඬින් සිනාසුණහ. " සඳූ... පොඩ්ඩක් ඉස්සර වෙලා යනවකෝ... මට අක්කත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනා...එයාට කියන්න පොඩි කතාවක් තියෙනවා...අනික... ගෙනාපුවා දෙන්නත් එපැයි" අයියා මා දෙස හොරැහින් බලමින් කීවේය. "හරි...හරි... මං යන්නම්... ඔයාලා මුකුළු කර කර එන්නකෝ..."යි කියූ මම දෙපා වේගවත් කර ඔවුන්ට වඩා අඩි කිහිපයක් දුරින් ඉදිරියට ගියෙමි. ඔවුන්ගේ සිනා හඬ ඇසෙන වාරයක් පාසා මගේ හදවතට සියුම් වේදනාවක් දැනිණි. ඊට හේතුව කුමක්දැයි හරිහැටි තේරුම් ගැනීමට නොහැකි වීම නිසාදෝ එය කෝපයක් බවට හැරෙමින් මගේ සිතුවිලි දවමින් සිටියේය. "සඳූ... මං යනවා...හවසට එන්න... අද අපේ ගෙදර පාටී..." අයියා අතුරු පාරකින් හැරී ඔහුගේ මිත්‍රයෙකුගේ නිවස දෙසට යන්නට විය. සොයුරිය මා දෙසට දිව ආවාය. "මොකෝ බුම්මගෙන?" ඈ ඇසුවාය. "මුකුත් නෑ..." "ඇත්තද... ඒක නෙමේ... මේ අහනවකෝ... අයියා මරු කතාවක් කිව්වා..." "මොකද්ද?" මට දැනගැනීමට අත්‍යවශ්‍ය ම දෙය එය වුවත් එතරම් සැළකිල්ලක් නොදක්වන ආකාරයකින් මම එය විමසුවෙමි. "අපි දෙන්නා අයියට හැමදාම කියනවනේ ගෑණු ළමයෙක් සෙට් කරගන්න කියලා. ඔන්න එයා ඒක කරලා. මට කිව්වා ඒ කව්ද කියලා..." " ඉතිං මට මොකද?" "අපෝ මෙයාගේ ගෑස්... මේ... අයියා තෑග්ගක් දුන්නා..." " ඉතිං ඒක ඔයාටනේ දුන්නේ..." "හරි හරි .. ගෙදර ගිහින් බලමුකෝ මොනාද තියෙන්නේ කියලා... මං මේක ඔයාගේ බෑග් එකට දානවා..." කියමින් ඇය මගේ අවසරයකින් තොරවම එය මගේ බෑගයට දැම්මා ය. " නංගී... ඔයා දන්නවද අයියගේ හිත හොරකම් කරපු කෙල්ල කව්ද කියලා..." " මං දන්නේ කොහොමද... අනික මට දැනගන්න ඕනෙත් නෑ..." අයියගේ හිතගත් තැනැත්තිය මගේ සොයුරිය විය යුතුය. ඔහු ඇයට තනිවම පවසන්නට ඇත්තේ ඒ දෙය ය. ඇයට පමණක් තෑගි ගෙනෙන්නට ඇත්තේද ඒ නිසාය. මගේ කෝපය තව තවත් මහත් වනු මට දැනුණි. " නංගී, මොකද අනේ... මූණ නිකම් කෝච්චියට අහු උනු සතපහ වගේ. පොඩ්ඩක් හිනාවෙනවකෝ..." ඇය මා හිනැස්සවීමේ අරමුණින් ඇගේ උරහිසින් මගේ උරහිසට ඇන සෙමින් මා තල්ලු කළාය. මගෙන් ප්‍රතිචාරයක් නොවුණු කල ඇය එය ම නැවතත් කළා ය. මගේ කෝපය තවත් ඇවිස්සුණා මිස නිවුණේ නැත. " නංගී..." කියමින් ඇය යළිත් වරක් උරහිසින් මා සෙමින් තල්ලු කළාය. මගේ ඉවසීම නිමා විය. මම ද ඇය කළා සේම උරහිසින් ඇයව තල්ලු කළෙමි. නමුත් ඒ ඉතා වේගයෙනි. එහි වේගය කොතෙක් ද යත් සොයුරිය පදික වේදිකාවේ සිට පාර මැදට විසිවුණාය. ඒ සමඟම පිටුපසින් ආ කාරයක ගැටී ඇය බොහෝ දුරකට විසිව ගියා ය. මගේ මතකයේ ඇත්තේ එපමණකි. එය දරුණු සිහිනයක් වූවා නම් යැයි මට හැඟුණි. කල්පනාවෙන් ගිලිහුණු මම මාගේ බෑගයේ වූ තෑග්ග අතට ගෙන එය ලිහා බැලුවෙමි. ඒ තුළ වූයේ එකම පැහැයෙන්, එකම හැඩයෙන් යුතු වූ අලංකාර අත් ඔරලෝසු දෙකකි. ඊට පසෙකින් කොළ කැබැල්ලක් විය. එහි වූයේ නාඳුනන අත් අකුරු ය. තරූ සහ සඳූ වෙත, ඔයාලා දෙන්නා මම කව්ද කියලා දන්නේ නෑ. ඔයලගේ ධනුක අයියා මං ගැන හැමදේම ඔයලට කියයි. එයා ඔයාලා දෙන්නා ගැන ගොඩක් දේවල් මට කිව්වා. ධනුකයි, මායි මුණගැහුණේ කරාතේ කම්පිටිෂන් එකෙන්. එයා හොඳ යාළුවෙක්. හැබැයි අපි දෙන්නා දැන් යාළුකමට වඩා පොඩ්ඩක් දුර ගිහින් ඉන්නේ. මේ තෑග්ග මං ගත්තේ ඔයාලා දෙන්නට. ඉක්මනින්ම ඔයාලා දෙන්නව මුණගැහෙන්න මං ආසාවෙන් ඉන්නේ. මීට, පහන්දි අක්කා. මගේ සියොළඟ ම වෙව්ලන්නට විය. මුළු ලොවම මා වටා බමනය වන්නාක් මෙන් දැනුණි. මගේ සොයුරිය මා ඉදිරියේ මැවී පෙනුණාය. ඇය මා වෙත දෑත් දිගු කරගෙන සිටියාය. මම මගේ දෑතින්ම මගේ ටයි පටිය මගේ ගෙලට තදින් සිරකර ගත්තෙමි. ………………………………..... © විභව සාහිත්‍ය සංගමය පේරාදෙණිය විශ්ව විද්‍යාලය

NEWS

විභව කෙටිකතා 70 | තෑග්ග

  • Date: 2023-09-14